[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර බියකරුයි හොඳ නරක නුවණින් දකින්න

සසර බියකරුයි හොඳ නරක නුවණින් දකින්න

අද බොහෝ දෙනෙක් තමන් සෝවාන් වී ඇති බවට මිථ්‍යා අදහසක සිටිනවා. එහෙත්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින දවසක සෝවාන් වීමට අවශ්‍ය වන කරුණු හතරක් ගැන දේශනා කර වදාළහ. එය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ද සඳහන් වෙයි.

සෝවාන් වීම වැදගත්ම අවස්ථාවක් වන අතර ඒ සඳහා දාන, ශීල, භාවනා, පින්කම් උපරිම අන්දමින් සිදු කළ යුතු යි. අලෝභ, අදෝශ, අමෝහ චේතනාවන් මුල් කරගෙන පිරිසුදු සිතකින් නුවණ මෙහෙයවා පින්කමක් කර, නිවන් සුව පතන ඕනෑම කෙනෙකුට එය පසක් කර ගත හැකි යි. අවසාන ආත්ම භාවයේදී කවර තැනක උපන්නත් රහත් වීමේ වාසනාව ලැබෙනවා. සෝවාන් උතුමෝ කවම දවසකවත් සතර අපායකට යන්නේ ම නැහැ. අන්ධයෙක්, බිහිරෙක් , ගොළුවෙක් , මන්ද බුද්ධිකයෙක් වශයෙන් උපත ලබන්නේ නැහැ. පංචානන්තරීය පව්, මිසදිටුකම් කරන්නේ ම නැහැ. අපායට යන කිසිම දෙයක් කරන්නේ නැති බව විශේෂයෙන් මතක තබා ගත යුතු යි.

සෝවාන් ආර්යන් වහන්සේ තම ශරීරය පිළිබඳ ඇති ආත්ම සංඥාව, වැරැදි ශීල සමාදාන, සැක සාංකාවෝ සම්පූර්ණයෙන් ම දුරු කර වාසය කරනවා. ශ්‍රද්ධා, වීර්යය , සති, සමාධි , ඥාන ඇති උත්තමයෙක් වෙනවා. බුද්ධ පූජා , වන්දනා මාන පින්කම්, මව් පියන්ට සැලකීම, සත්පුරුෂයන් ආශ්‍රය කිරීම, බණ ඇසීම , යෝනිසෝමනසිකාරය එනම් නුවණින් වැඩ කිරීම, ශීල, සමාධි, ප්‍රඥා වැඩෙන සේ කටයුතු කිරීම, ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය එනම්, ශීල, සමාධි, ප්‍රඥා වැඩෙන සේ කටයුතු කිරීම ආදී කරුණු හතර දියුණු කරගෙන යාමෙන් සෝවාන් මාර්ග ඥානය ලැබිය හැකි යි. මේ බුද්ධ ශාසනයේ දී ම මඟ ඵල නිවන් සුව ලැබේවා’යි සිතන්න. මොකද? සසර බොහොම බියකරු යි.

මේ කාලවකවානුවේ බලන්න, ලෝකය ම මරණ භීතියෙන් වාසය කරනවා. මේ සුළු වයිරසයක්. තවත් මහා වයිරසයක් වුණොත් ලොව ම අවසන්. මේ ගැන සිතා කල්පනාවෙන් පාප මිත්‍ර ආශ්‍රය විසකුරු සතුන් මෙන් බැහැර කළ යුතු යි. අසත්පුරුෂයා නරක දේ ම යි කරන්නේ. සූදුව, සුරාව , දුරාචාරයට ඇබ්බැහි වෙනවා. පන්සලකට යන්නේ එන්නේ නැහැ. පිනක් දහමක් කරන්නේ නැහැ. මව් පියන්ට නොලසකා බණ දහම් නොඅසන උදවිය කිසිදිනක ආශ්‍රය කරන්න එපා. හොඳ මිත්‍රයෝ ආශ්‍රය කිරීමෙන් සුගති මඟ, නිවන් මඟ , දාන, ශීල, භාවනා , පින්කම් ආදිය කියා දෙයි.

ලොවේ පළමු කල්‍යාණ මිත්‍රයා, සත්පුරුෂ උතුමා බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ අපායට යන මඟ, දෙව්ලොවට යන මඟ, නිවනට යන මඟ පෙන්වා දුන්නා. අපායට යන දොරටු වසා ගැනීමට පංචශීලය ආරක්ෂා කරගන්න යනුවෙන් පහදා දුන්නා. එහෙමනම් සත් පුරුෂයන් ආශ්‍රය කළ යුතු යි. සත් පුරුෂයන් ම ලැබේවා යන පැතුමෙන් සත්පුරුෂ ගුණ ධර්ම පිහිටා ගෙන කටයුතු කළ යුතු යි. මහා මංගල සූත්‍රයේ ද කල්‍යාණ මිත්‍ර සේවනය, වැඩිහිටියන් පිදීම ගැන සඳහන් වෙනවා.

දෙවැන්න බණ ඇසීම යි. ඒ මඟින් හොඳ නරක පහදා දෙයි. බුදුන් වැඳීම, පිරිත් බණ දහම් ශ්‍රවණය, ධර්ම සාකච්ඡා , කල්‍යාණ මිත්‍ර සේවනය, මව් පිය නැමැදීම, දාන, ශීල, භාවනා පින්කම් සහ එහි අනුසස් ද, ශීල, සමාධි, ප්‍රඥා ගැන ද පහදා දෙයි. මේ ගැන ඇසීම, සිතීම, කියවීම, මෙනෙහි කිරීම කළ යුතු යි. ඒ නිසා බණ හොඳින් අසන්න. අද නොයෙක් මාධ්‍ය හරහා පැය විසි හතරේම බණ විකාශනය වෙයි. එසේම බුදුසරණ පත්‍රය පුරාම සඳහන් බණ දහම් කවුරුත් හොඳින් කියවිය යුතු යි. එවිට තමන්ට හොඳ නුවණක් , ධාරණ ශක්තිය , සිතේ සමාධිය ලැබෙනවා. බණ දහම් කියවීම අඩුවන තරමට නුවණ පිරිහී යයි. ඒ නිසා නුවණ වැඩෙන පින්කම් අතුරෙන් බුදු බණ කියවීම, ඇසීම, ලිවීම කළ යුතු යි. එවිට තමන්ගේ කරුණු කාරණාවෝ හොඳින් මතුකර ගත හැකි යි. ධර්ම දේශනාවන්ට අනුව සිත, ගත නිවා සනසා ගත හැකි යි. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම, පරලොව සුගතියක වාසය, නිවනට යන ආකාරය පැහැදිලි කරන්නේ ධර්ම දේශනා මඟින්.

තෙවැන්න යෝනිසෝ මනසිකාරය යි. යෝනිසෝ යනු නුවණට නාමයක්. මනසිකාරය යනු මෙනෙහි කිරීම යි. එසේනම් නුවණින් මෙනෙහි කළ යුතු යි. මෙය හොඳයි ද? නරකයි ද? යනුවෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් සති, සමාධි, ඥාන, ගුණ නුවණ, ධාරණ ශක්තිය, භාවනා ශක්තිය, ගුණ සම්පත්තිය ආදිය ලැබෙන අතර මේවා දියුණුවෙන් ඉදිරියට යා හැකි යි. බුදුන් වහන්සේ යෝනිසෝමනසිකාරයට සුවිශේෂී තැනක් දුන්නා. නුවණ නැතිනම් කුමන දෙයක් කළත් සාර්ථක නැහැ. නුවණ අප්‍රමාදය වෙයි. එහි සිහි නුවණ දෙකම ඇතුළත් නිසා ‘සති සම්පජඤ්ඤ’ යනුවෙන් සඳහන් කරනවා. බුදු දහම ඥානවන්තයාට පමණ යි , යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර වදාළා. බුදු දහමට අනුව වැඩ කරන සැවොම ඥානවන්තයන් විය යුතු යි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් බවට පත් වෙන්නේ ඥානවන්තයා පමණ යි. ඒ නිසා කවුරුත් යෝනිසෝමනසිකාරයෙන් වැඩ කිරීමට වෙහෙසගත යුතු යි.

සිව්වැන්න ධර්මයට අනුකූලව කටයුතු කිරීම යි. ශීල, සමාධි, ප්‍රඥා ගුණ , කරුණා, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, දියුණු කරමින් තමාගේ ගුණ සම්පත් දියුණු කර ගැනීම ඉතාමත් ම වැදගත්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුකූල ව යමෙක් කටයුතු කරනවානම්, සැනසුම ලැබෙන අතර නිවන් මඟ යා හැකි යි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ‘ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ධර්මය’ යනුවෙන් සඳහන් කරනවා. ආමිස පූජාව, ප්‍රතිපත්ති පූජාව, ගෞරවය කොට සලකා ගත යුතු යි. දන් දුන්නත් නිවන් සැප ලැබේවා යනුවෙන් සිතුවොත් එය ප්‍රතිපත්ති පූජාවක්. භාවනාවෙන් දෙව්ලොවට යා යුතු යි යනුවෙන් සිතුවොත් එය ආමිස පූජාවක්. ඒ නිසා ආමිස, ප්‍රතිපත්ති පූජා දෙකම කළ යුත්තේ අමා මහා නිවන් සම්පත් ලැබේවා යන පැතුමෙන් මේ කරුණු සතර සපුරන ඕනෑම කෙනෙකුට සෝවාන් මාර්ග ඥානය ලබන්න පුළුවන්.

සෝවාන් උතුමා උපත ලබන්නේ ආත්ම හතක් හෝ දෙක තුන යි. නැතිනම් එකවරම නිවන් සුව ලබනවා. සෝවාන් උතුමා අපාය ආදියකට යන්නේ ම නැහැ. සුගතියක වාසයෙන් නිවන් සුව ලබනවා. ඒ උත්තමයා සකෘදාගාමී මාර්ග ඥානයට පත් වෙනවා. කාම, රාග,ව්‍යාපාද සංයෝජන දෙක සම්පූර්ණයෙන් තුනීව ගොස් අනාගාමී ව කාම රාග , ව්‍යාපාද සම්පූර්ණයෙන් ම නැතිකර දමනවා. රහත්ව, රූප රාග, අරූප රාග , මාන, උද්දච්ඡ, අවිද්‍යා, ආදී සංයෝජන පහම සම්පූර්ණයෙන් ම විනාශ කර දමනවා. එවිට සංයෝජන දහයම සෝවාන්, සකෘදාමී, අනාගාමී, අර්හත්වයෙන් සම්පූර්ණයෙන් නැතිවී ගොස් නැවත උපත නොලබා අනාශ්‍රව වෙයි. එනම් ආශ්‍රවයෝ නැති බව යි. ඒ සඳහා සියලුම දෙනා මේ මහා පුණ්‍ය කර්මයෝ සිදු කළ යුතු යි. සෑම දෙනාම සම්මා සම්බුද්ධ ශාසනයට ලැදිව ශීලාදී ගුණ සම්පත් දියුණුවෙන් මාර්ග ඵල අවස්ථාවට පත්වීම සඳහා තණ්හාව, තරහව, මාන්නය , මෝහය අඩුකරගන්නට බුදු දහමට අනුව කටයුතු කළ යුතු යි. එවිට නුවණ හොඳින් වැඩී සෝවාන් වීමට අවශ්‍ය කරුණු ද හොඳින් වැඩී නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ කරගන්නට වාසනාව ලැබෙනවා.

   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]