[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෝලීය යහපැවැත්මට බුදු දහම යොදා ගැනීමේ සම්මන්ත්‍රණය

ගෝලීය යහපැවැත්මට බුදු දහම යොදා ගැනීමේ සම්මන්ත්‍රණය

ඇසළ පුන් පොහොය සැමරීම සඳහා කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. “සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා” යන පණිවිඩය වෙත විශේෂ අවධානයක් යොමු කරමින්, “ගෝලීය යහපැවැත්ම සඳහා ධර්මය” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.


අන්තර්ජාල සම්මන්ත්‍රණයේ අවස්ථාවන්

මේ අන්තර්ජාල සම්මන්ත්‍රණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ප්‍රධානී ගල්කන්දේ ධම්මානන්ද හිමි, සම්මානිත විද්වතෙකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය කලාශූරී ප්‍රණීත් අබේසුන්දර, සම්මානිත විද්වතකු වන සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ පීඨාධිපති සහ සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන්ත ඉලංගකෝන් සහ සම්මානිත නවකතා සහ කාව්‍ය රචක දයා දිසානායක යන විද්වතුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූහ.

ඉන්දීය රජයේ, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශ්ව විද්‍යාලයක් සේ සැලකෙන නව් නාලන්දා මහ විහාරයේ උප කුලපති ආචාර්ය බෛද්‍යතාත් ලාභ්, බරණාසි හින්දු විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය බිමලේන්ද්‍ර කුමාර් කල්කටා විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය සාස්වතී මුට්සුඩ්ඩි සහ වියට්නාමයේ, හැනෝයි නුවර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධිත ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ සම්මානිත ලේඛකයකු, කාව්‍ය රචකයකු සහ සංස්කෘතික ඉතිහාසඥයකු වන ආචාර්ය ජී. බී. හර්සිහා යන විද්වතුන් ඉන්දියාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.

කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය ‍රේවන්ත් වික්‍රම් සිං මැතිතුමා පිළිගැනීමේ කථාව කළ අතර සම්මන්ත්‍රණය මෙහෙයවන ලද්දේ ද ඔහු විසිනි.

විශේෂයෙන් ම කොවිඩ්-19 වසංගතය විසින් මතු කර තිබෙන වර්තමාන අභියෝගයන් සැලකීමේ දී ගෝලීය යහපැවැත්ම සඳහා බුදුදහමේ වැදගත්කම මෙම විද්වතුන් විසින් සාකච්ඡාවට භාජනය කරන ලදී. ඇසළ පොහොය දින ඉන්දියාවේ සාරානාත්හි බුදුන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීමේ වැදගත්කම මතු කරමින්, එකිනෙකා වෙනුවෙන් කරුණාව දැක්වීමේ අවශ්‍යතාවය විද්වතුන් විසින් අවධාරණය කරන ලදී. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි නිවැරදි කායික, වාචික සහ මානසික ක්‍රියාවන්ගෙන් පමණක් ගෝලීය යහපැවැත්ම තහවුරු කළ හැකි බව මෙහිදී පෙන්වා දෙන ලදී.

වසර 2500කටත් වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගැඹුරු සමාජ-ආගමික, සංස්කෘතික සහ ඓතිහාසික සම්බන්ධතාවය විද්වතුන් අවධාරණය කළේ =ය. ඇසළ පොහෝ දිනය මෙම සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් කළ වැදගත් දිනයක් බව මෙහිදී ප්‍රකාශ කෙරිණ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වැදගත් ශිෂ්ටාචාරමය බැඳීමක් බුදු දහම නිසා ඇති වූ බව නව දිල්ලියේ පැවති ධර්ම චක්‍ර දින සැමරුම අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රකාශ කළේ ලෝකය අසාමාන්‍ය අභියෝගයන් හා සටන් කරමින් සිටින බවද පෙන්වා දෙමිනි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මෙම අභියෝගයන් සඳහා තිරසාර විසඳුම් ඉදිරිපත් කරන බව එතුමා පෙන්වා දුන්නේ මෙම විසඳුම් එදාට අදට මෙන්ම හෙටටත් වලංගු වන බවද ඔහු පැවසීය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා 2017 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති අන්තර්ජාතික වෙසක් දින සැමරුම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ද සහභාගී වූ අතර මේ පොදු බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පසුගිය මාසයේදී පොසොන් පොහොය දින නිමිත්තෙන් ද ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පීන්ගේ සිතුවමින් මහ කොමසාරිස් කාර්යාලය වටා අලංකාර කරමින් “පොසොන් පවුර” නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන ලදී.

   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]