[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නලපාන ජාතකය : විපත් මඟ හරවන තැනට සුදුසු නුවණ

නලපාන ජාතකය

විපත් මඟ හරවන තැනට සුදුසු නුවණ

අපගේ භාග්‍යවත් තථාගතයන් වහන්සේ පෙරුම් පුරන බෝසත් අවදියේ කරන ලද අධිෂ්ඨාන පාරමිතාවේ හාස්කම්වලින් සමහර ඒවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය වන විටත් ඉතිරි ව තිබුණා. ඒ අතරින් ඉතාම ප්‍රසිද්ධ අවස්ථාවක් කොසොල් ජනපදයේ පිහිටි නළපාන ග්‍රාමයේ දී සිදු වුණා.

එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ කොසොල් ජනපදයේ චාරිකා කරමින් සිටියා. ඒ දුටු නලපාන ගමේ මිනිසුන් බුදුරජාණන් වහන්සේ ඇතුඵ මහා සංඝ රත්නයට ආරාධනා කරලා, නලපාන ගමේ නළපාන නම් සිත්කලු පොකුණ අසබඩ වැඩ හිඳීම සඳහා කුටි සේනාසන පිළියෙළ කර දුන්නා. මෙම පොකුණ අසලම තමයි 'කෙතක' කියන වන ලැහැබ තිබුණෙත්. ඉතින් එදා වැඩිහිටි භික්ෂූන් වහන්සේලා කල්පනා කළා කෙතක නම් වන ලැහැබේ තිබෙන බට පඳුරුවලින් බට ගෙනත් ඒවායෙන් සිවුරු මහන ඉදිකටු දැමීම සඳහා පුංචි ගුලාවන් (කොපුවක්) සකස් කර ගැනීමට. ඒ අනුව සාමණේර භික්ෂූන් වහන්සේලවා බට ගස් කපා ඉදිකටු දාන ගුලාවන් සකසන්න වුණා. එහෙත් ඒ කිසිම බට දණ්ඩක තනි සිදුරක් හැර පුරුක් පිහිටා තිබුණේ නැහැ.

බට දඬු කිහිපයක් කපලා, සුද්ධ කරලා බැලුවත් සෑම බට දණ්ඩක ම තිබුණේ තනි සිදුරක් පමණයි. භික්ෂූන් වහන්සේලාට ලොකු කුතුහලයක් ඇති වුණා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතින් භික්ෂූන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා.

“ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, මේ වන ගොමුවෙන් කපන සෑම බට දණ්ඩක ම පුරුක් නැහැ. තියෙන්නේ බටයක් විදිහටයි. මෙහෙම වෙන්න කුමක් හෝ හේතුවක් තියෙනවද?”“මහණෙනි, මා පෙර බෝධි සත්ව ආත්මයක දී කළ අධිෂ්ඨානයකිනුයි මේ බටගස්වල මැදින් තිබුණු පුරුක් නැති වුණේ.”

එවිට එතනට රැස්ව සිටි භික්ෂූන්ගෙන් එක් ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා භාග්‍යවත් බුදුන් වහන්සේට එම අතීතයේ සිදු වූ අධිෂ්ඨානය ගැන කතා පුවත කියලා දෙන්න කියලා ආරාධනා කරමින් ඉල්ලා සිටියා.

'ඈත අතිතයේ දී මේ පොකුණු පිහිටා තිබෙන අවට මහා වනාන්තරයක් තිබුණා. ඒ කාලෙත් මෙම පොකුණ තිබුණා. ඒ විතරක් නෙවෙයි. භයානක දියරකුසෙකුත් මෙම පොකුණේ හිටියා. පොකුණට බහින සෑම සතෙක්ම අල්ලාගෙන ආහාරයට ගත්තා.”

ඒ දවස්වල මම ඉපදිලා හිටියේ වදුරු කුලයක. ඉතින් මගේ නායකත්වය යටතේ අසූ දහසක් පමණ වඳුරන් මහා වනාන්තරයේ වාසය කළා. වනාන්තරය කියන්නේ ලස්සන සුන්දර තැනක් මෙන්ම, හරිම භයානක තැනක්. ඒ නිසාම දවසක් මම මගේ අසූදහසක් වානර සේනාව කැඳවා අවවාද කළා.

“ දරුවෙනි, මේ වනාන්තරයේ විෂ ගස් හා පැළෑටි වර්ග තියෙනවා. ඒ වගේම නපුරු රාක්ෂයන් ඉන්න විල් පොකුණු තියෙනවා. ඒ නිසා ආහාරයට ගත යුතු සුදුසුම පලතුරු, ගෙඩි, කොළ ආදිය කෑමට පුරුදු වෙන්න. නොකෑ යුතු පලතුරක්, කොළයක් කෑමට පෙරත්, නොබිය යුතු ජලය බිඳක් හෝ බොන්නට පෙරත් මගෙන් අවසරයක් ලබා ඒවා ආහාර පාන ලෙස ගන්න ඕනෑ.”

මේ විදියට අවවාද ලැබූ වඳුරන් ඉතාම සතුටින් තම නායකයාගේ අනුශාසනා අනුව ම එම වනාන්තරයේ කාලයක් ජීවත් වුණා. කාලෙන් කාලයට සත්තු තම ප්‍රදේශයන් මාරු කරනවා. ඒ අනුව මේ වඳුරු සමූහයත් මෙම ප්‍රදේශයට ආහාර පාන සොයාගෙන ආවා. ආහාර හමුවුණත් බීමට ජලය තිබුණේ නැහැ. කොහොම හරි වඳුරු සමූහයේ පිරිසක් මෙම නලපාන පොකුණ සොයා ගත්තා. තිබහ කොපමණ තිබුණත් එහි ජලය බීමට පොකුණට කිසිවෙක් බැස්සේ නැහැ. තමන් නොදන්නා ප්‍රදේශවල පැන් පොකුණු තිබුනට ඒවා පරිභෝජනයට කලින් සොයා බලා ගැඹුර එහෙම දැනගෙන බහින එකනේ නුවණට හුරු. ඒ නිසා වඳුරු නායකතුමා එනකම් ම මඟ බල බලා සිටියා.

“ දරුවනි, මෙතරම් තිබහ තිබිලත් මෙවැනි පැහැදිලි දිය ඇති පොකුණෙන් පැන් නොබිව්වේ මන්ද?”

“නායක තුමනි, ඔබතුමන්ගේ අවවාදයේ පිහිටා කටයුතු කරන අපි එසේ නොකරමු. ”

“ඒක බොහොම හොඳයි.”

නායකතුමා පොකුණ වටේ සුපරික්ෂාකාරීව ඇවිද ඉවුර දෙස හොඳට විපරම් කර බැලුවා. දකින්නට ලැබුණු සලකුණු වලින් විශ්මයට පත්ව

“ දරුවනි, මෙහි සතුන් පැමිණි අඩි සළකුණු තිබුණත් ආපසු ගිය අඩි සළකුණු දකින්නට නැත. ඒ අනුව පෙනෙන්නේ මේ පොකුණේ භයානක දිය රකුසකු ඇති බවයි. නුඹලා මගේ අවවාදයේ පිහිටි නිසා සියලු දෙනාගේ ම ජීවිත බේරුණා. නැතිනම් නුඹලා මේ වන විටත් දියරකුසාට බිලිවෙලා.”

මේ අතර පොකුණේ දිය රකුසා වඳුරු පිරිස අල්ලා ගන්න ගොඩාක් ආසාවෙන් බලා හිටියේ දියට බහිනකල්. වඳුරු සමූහයෙන් කිසිවකු දියට බසින බවක් නොපෙනුණ නිසා දියරකුසා ජලයෙන් උඩට මතු වුණා.

“ වඳුරු යහළුවනේ , ඇයි නුඹලා දියට බැස ජලය නොබොන්නේ. එන්න මේ සුමිහිරි දිය දහරේ ගිලී , නා රිසි සේ පැන් බී පවස නිවා ගන්න.”

දිය රකුසා වඳුරන්ට කීවා. එවිට නායක බෝසත් වඳුරුතුමා කතා කළා.

“ ආ... ඔබ ද මේ පොකුණට අරක්ගත් දිය රකුසා”

“ ඔව් මම තමයි ”

“ මේ පොකුණට බැහැපු සියලු සතුන් ආපසු ගිය වගක් පෙනෙන නැහැ. ඒ කියන්නේ ඔබ ඒ සියලු සතුන් බිලි අරගෙන.”

“ ඔව්...... මෙහි බසින සතුන් මගේ ආහාරය වෙනවා. අඩුගානේ මේ පොකුණට බසින කුරුල්ලෙක්වත් මා ඉතුරු කරන්නේ නෑ. මා නුඹලා ඔක්කොමත් කනවා. ”

දියරකුසා සැරෙන් කිව්වා.

“ඔබ සිතන විදියට මගේ වඳුරු සමූහයෙන් කිසිවකු ඔබට ගොදුරු වන්නේ නැහැ. ”

“ඒ වුණත් ඔබේ පිපාසයට මෙහි බැස පැන් බොන්නම වෙනවා.”

“ඔව් ... අපි මේ පොකුණේ පැනුත් බීලයි යන්නේ. නුඹට බිලි වෙන්නෙත් නැහැ.” නායකතුමා කිවුවා.

නායක වඳුරුතුමා ගොඩාක් කල්පනා කළා . දියරකුසාට කිසිවෙක් බිලි නොවී පැන් බොන විදිහක් ගැන ඔහුගේ තියුණු නුවණට හොඳ උපායක් කල්පනා වුණා. පොකුණු ඉවුරේ තිබුණු බට දණ්ඩක් කඩාගෙන සියලු සත්වයන්ගේ යහපත පිණිස සත්‍යක්‍රියා කරමින් එහි එක් කොණකට මුව තබා අනෙක් පසට පිම්බා. එම අධිෂ්ඨාන බලය කොතෙක් ද කිවහොත් බටදණ්ඩේ මැද තැනින් තැන තිබූ පුරුක් ගැලවී තනි බටයක් බවට පත්වුණා. එය දියට දමා ජලය බිව්වා. වඳුරු නායකතුමාට හරි සතුටුයි. අනෙක් වඳුරන්ටත් එසේ බට දඩු සාදා දුන්නා. එහෙත් පිරිස විශාල බැවින් හැමෝටම බටදඩු සාදා දීම කාලය විනාශ වන කටයුත්තක් බව දැන, පොකුණ අවට ඇති බට පඳුරුවල බටගස් පුරුක් නැතිවී තනි සිදුරක් වේවා කියලා අධිෂ්ඨාන කළා. ඒ මොහොතේ බෝධිසත්වයන්ගේ පාරමිතානුභාවයෙන් ඒ හැම බට ගසකම පුරුක් නැති වෙලා ගියා.

එදා හැමෝම සතුටින් ජලය බී රකුසාට බිලි නොවී රිසි සේ එම වනාන්තරය ම ඇසුරු කරමින් ජීවත් වුණා.

“මහණෙනි, මේ බටගස් වල අදත් පුරුක් නැත්තේ එදා උපායශීලීව ජලය බොන්නට කළ අධිෂ්ඨානයේ බලයයි. කරන හැම දෙයක්ම සුපරික්ෂාකාරීව සොයා බලා තැනට සුදුසු නුවණකින් යුක්තව කටයුතු කරන්නට ඔබත් වගබලා ගත යුතුයි. අපගේ පහසුවට ඇති හැම දෙයක ම යම් භයානක තත්ත්වයක් ඇති බව අවබෝධ කළ යුතුයි. අවස්ථාවට ගැලපෙන තීරණ ගන්න හැමවිටම කල්පනාකාරීවීම වටිනවා.”

ඉතින් එදා මෙහෙම අවවාද දෙමින් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අතීත කතාව දේශනා කර වදාළා.

“මහණෙනි, එදා දියරකුසා ව පොකුණේ සිටියේ දේවදත්ත තෙරුණ් වහන්සේයි. වඳුරු පිරිස මේ මාගේ බුදු පිරිසයි. උපාය කුසලතාවයෙන් පිරිපුන් වඳුරු රාජයා තථාගත වූ මම් ම නොවේදැයි වදාළා.

   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]