[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළ දන මන සවිමත් කළ නැළවිලි ගීයක අභිමන

හෙළ දන මන සවිමත් කළ නැළවිලි ගීයක අභිමන

බුදුන් වහන්සේ තුළ පැවති අසීමිත කරුණාවේ සීතල ජලයෙන් තෙමා ලන සිය දරුවාගේ මනස 'න පාපකානං සුපිනං පස්සති ' නපුරු සිහිනවලින් තොර පැහැපත් නින්දකට පත් කරවයි. එහෙයින් ම ඔහු සුවපත් නින්දකින් අවදි වෙයි.

මිහිදු මාහිමියන් විසින් බුදු දහම ලක්දිවට හඳුන්වා දීමෙන් අනතුරු ව ලක්වැසියෝ තෙරුවන් ගුණ බලයෙන් ස්වකීය ජීවිත සුවපත් කර ගැනීමට පෙළඹී ඇති අයුරු බෞද්ධ ජීවිතයක ආරම්භයේ සිට ම අවසානය දක්වා විමර්ශනය කිරීමේ දී පැහැදිලි ව පෙනී යයි. දරුවෙකු මව්කුසට පැමිණීමෙන් පසු අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද ලබා ගත් හෙළයේ බොදුනුවන් මරණ මඤ්චකයේ පිරිත් ධර්මය ශ්‍ර‍වණයෙන් ආශිර්වාද ලබා ගැනීම තෙක් ගත කළ ජීවිතයේ සෑම වැදගත් සන්ධිස්ථානයක දී ම තුනුරුවන් තම සමීපතම ඤාතීන් ලෙස ඇසුරු කිරීම අතිශයින්ම ප‍‍්‍රසාදජනක ය.

විශේෂයෙන් ම ජන කවියා ද දරු නැළවිලි ගීතවල දී පවා බෞද්ධ දර්ශනයේ සමුදයාර්ථයන් ඒ තුළ තැන්පත් කර ඇති අයුරු අතිශයින් ම සුන්දර හැඟීම් ජනිත කරවයි. දරු නැළවිලි ගී අතර කාගේත් සිත් ගත් පහත සඳහන් ජන කවිය සුවබර නින්දක් කරා තම දරුවා රැගෙන යාමට මව සමත් වන්නීය.

ලොව ජීවත් වන සෑම සත්වයෙකුට නින්දකට අවශ්‍ය වන ප‍‍්‍රධානතම ලක්ෂණය වන්නේ ආරක්ෂාව යි. මොනරා රැය පහන් කිරීමට ගසක උඩ ම අත්තට පියාසර කරයි. එහි අරමුණ නිදිබර යාමයේ දී සිය ජීවිතය ආරක්ෂා කර ගැනීම යි. අනිකුත් සත්වයෝ ද සිය ජීවිතයට ආරක්ෂාව සැපයෙන වන වදුලක, තුරුසිකර ගස් බෙනයක මහපොළොවෙහි වෙනත් ආරක්ෂාව ඇති තැනක් ම සොයා ගත්හ. එය තෝරා ගැනීමට අවශ්‍ය ඤාණය සොබාදහමින් ඔවුන් වෙත ලබා දී ඇත.

“ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා”

ඉහත සඳහන් ජන කවිය සිය මව දරුවා තම දෙපා මත තබා නිදි කරවීමේ දී කර්ණ රසායන, ශ‍‍්‍රව්‍යගෝචර, මධුර ස්වරයෙන් ගායනා කළ දරු නැළවිලි කවියක් බව අපි කවුරුත් හොඳට අසා ඇත්තෙමු. මෙහි මුල් පද තුනෙන් ම දරුවාගේ සිත තුළ සිතුවම් පෙළක් රූපණය වෙයි. ඔන්න බබෝ ඇතින්නියා යන පළමු පදයෙන් ද අප සිතට හැඟෙන්නේ ලොව විශාලතම සත්වයාගේ රූප කාය යි.

එනම් කළු පැහැයෙන් යුත් විශාල හස්තියෙකි. වරෙක කළු පැහැය එතරම් චිත්තප‍‍්‍රසාදය ඇති කරවන්නක් නො වේ. කළු පැහැයෙන් ලොව ජීවත් වෙන විශාල ම සත්වයා වන හස්තියා අප කාගේත් සිත් තුළ බිය උපදවන්නෙකි. එම බිය මෙහි දී වඩාත් තීව‍‍්‍ර වන්නේ ගල් අරඹේ සිටින්නියා යන පදයෙනි.

විශාල කළු ගල් තලාවක විශාල හස්තියෙකු සිටිනු දැකීම එයට හේතුව යි. එහි උච්චතම අවස්ථාව ගලින් ගලට පනින්නියා යන තුන් වන පදයෙන් ධ්වනිත වෙයි. එනම් මෙය නිශ්චල සිතුවමක් නොව ඇත්තට ම සජීවි චංචල සිදුවීමක් බව මව සිය දරුවා තුළ චිත්ත රූප මතු කරවයි. එවිට දරුවාගේ සිත තුළ බියජනක සිතුවිලිවලින් වෙළී යයි. එම ඇතු මා දෙසට පැමිණෙන්නේ ද නැතහොත් වනයට පලා යන්නේ ද යන සිතුවිලිවලින් දෝලනය වන ළමා මනස සිය මව ඊළඟට කුමක් පවසන්නේ ද පිළිබඳ අවධානයෙන් පසුවෙයි. අන්තිමට 'බබුට බයේ දුවන්නියා' යන පදයෙන් සිය දරුවාගේ සිත තුළ මහත් අභිමානයක් ඇති කරවයි.

අන්න පුතේ ලොව ජීවත් වන විශාල ම සත්වයා නුඹට බියේ පලා යන බව පැවසීමෙන් එය වඩාත් තහවුරු වෙයි.

එනම් සුවපත් නින්දකට අවශ්‍ය රැකවරණය සහිත පරිසරයක් නිදියහන අභියස නිර්මාණය වී ඇති බව මව සිය දරුවාට අවබෝධ කරවයි. එසේ ම නින්දට පෙර දැඩි ආත්ම ශක්තියක් දරුවාගේ මනස තුළ ඇති කරලීමට සිය මව සමත් වෙයි. බිය ජනක ස්වභාවයෙන් මිදුණ, ආත්ම විශ්වාසයෙන් යුතු ශක්තිමත් මනසක් සිය දරුවා තුළ ජනිත කරවන මව අනතුරු ව නින්දකට අවශ්‍ය සුන්දර මානසික පරිසරයක් නිර්මාණය කිරීමට මෙසේ පවසයි.

“මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිදියන්නේ”

බුදුන් වහන්සේගේ ශ‍ී‍්‍රපාද පද්මය සටහන් වී ඇති සමන්තකූට පර්වතය සිපගෙන එන මන්ද මාරුතය දරුවාගේ කායික සරතැස නිවාලන බව දරුවාට දෙසවන් මගින් මනස තුළ මැනවින් තැන්පත් කරයි.

එයින් බුදුන් වහන්සේ තුළ පැවති කරුණා මෛත‍ී‍්‍ර ආදි උත්තරීතර මානව ගුණයන් කරා ළමා මනස කැන්දා ගෙන යාම නිවුන, සැණහුන සුවබර නින්දකට කෙතරම් නම් ඉවහල් නො වන්නේ ද? සුඛං සුඛති - සුඛං පටිබුඤ්ජති සැපසේ නිදයි, සැපසේ අවදි වෙයි යන මෙත්තානිසංසයේ සඳහන් වන ධර්ම කාරණාවට අනුව එයට හේතු වන්නේ ද සියලූ සත්වයා වෙත මෛත‍‍්‍රියෙන් කටයුතු කිරීම යි. බුදුන් වහන්සේ තුළ පැවති අසීමිත කරුණාවේ සීතල ජලයෙන් තෙමා ලන සිය දරුවාගේ මනස 'න පාපකානං සුපිනං පස්සති ' නපුරු සිහිනවලින් තොර පැහැපත් නින්දකට පත් කරවයි. එහෙයින් ම ඔහු සුවපත් නින්දකින් අවදි වෙයි.

නිදි යහනේ පවා සිය දරුවාගේ ජීවිතයට ළඟා කර දිය හැකි කායික හා මානසික සුවය උපරිමයෙන් ම ලබා දීමට හෙළයෝ සමත් වූහ. දරු නැළවිලි ගීත රචනා කළ හෙළ කවියෝ ජීවිතය නම් සරසවියෙන් එයට අවශ්‍ය ඥානය ඇති තරම් ලබා ගත්හ. ථෙරවාදී බුදුදහමින් අප වෙත ලබා දී ඇති මෙකී සාම්ප‍‍්‍රදායික ක‍ර්මවේදවලින් බැහැර වීම නිසා වර්තමානය වන විට ළමා මනස විකාරරූපී ස්වභාවයට පත් වී ඇත. එය අතිශයින්ම ඛේදජනක ය.

   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]