[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඡත්ත මානවක ගාථා

ඡත්ත මානවක ගාථා

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩසිටින කාලයේ ඡත්ත නම් දරුවෙක් සිටියා. මේ ඡත්ත ශිල්ප ශස්ත්‍ර හැදෑරීම සඳහා ඈත ප්‍රදේශයකට ගියා.

ඉගෙනීම අවසන් කළ ඡත්ත තම ගුරුවරයාට ගුරු පඬුරු ගෙන ඒම සඳහා නිවසට පැමිණියා. පඬුරුත් රැගෙන නැවතත් ගුරු ගෙදර බලා මහා වනයක් මැදින් ගමන් කළා.

එදින මහ කරුණාවෙන් ලොව දෙස බලන බුදුරජාණන් වහන්සේ ඡත්ත ව දිවැසින් දුටුවා. එදින ඔහුගේ මරණය සිදුවන බව බුදු ඇසට පෙනුණා. ඡත්ත මානවක කෙරෙහි උපන් අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ඔහු එන මාවතට වැඩිම කළා. ඔහු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා.

ඒ වනවිට ඡත්ත මානවක තෙරුවන් සරණ ගැන හෝ සිල්පද ගැන දැනගෙන සිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඡත්ත මානවකගෙන් මෙසේ විමසා සිටියා.

” ඡත්ත ඔබ බුද්ධ, ධම්ම, සංඝ රත්නය ගැන දන්නවා ද? ඒ වෙලාවේ ඔහු කිව්වේ ඒ ගැන කිසිවක් දන්නේ නැහැ කියලයි. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඡත්ත තෙරුවන් සරණයෙහි පිහිටවූවා. ඉන්පසුව පඤ්ච සීලයේ සමාදන් කරවූවා.

” ඡත්ත ඔබ අපිරිසුදු වූ නානාප්‍රකාර ප්‍රාණඝාත කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුවණැති අය වර්ණනා කරන්නේ නැහැ. ඡත්ත ඔබ, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියා පළමු සිල් පදය සමාදන් වෙන්න.”

” ඡත්ත අනුන් විසින් රකින දේ තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේ ගන්න එපා. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියා දෙවැනි සිල්පදය සමාදන් වෙන්න”.

” ඡත්ත අනුන් විසින් ආරක්ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. එය පහත් දෙයක්. එනිසා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන තුන්වැනි සිල්පදය සමාදන් වෙන්න.

“ඡත්ත ඔබ අසත්‍ය බව දැන දැනත් එය කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවේ. මුසාවාදා වේරමණී සික්ඛාපදසං සමාදියාමි කියන සිල්පදයේ සමාදන් වෙන්න.”

“ඡත්ත පුරුෂයෙකුගේ හොඳ සිහිය නැතිවෙන්නේ යම් බීමත් කමකින් නම් ඒ හැම මද්‍යපානයක් ම දුරින් ම දුරු කරන්න”. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි පස්වන සිල්පදයේ සමාදන් වෙන්න.

ඡත්ත මානවකට විශාල සතුටක් ඇතිවුණා. ඔහු බොහෝ ම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ වන්දනා කර මුළු හදවතින් ම තෙරුවන් සරණ ගියා. සිල්පද ආරක්ෂා කරන්න පොරොන්දු වුණා. ඉන් පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔහුට ගාථා තුනක් ඉගැන්වූවා.

යොවදතං පවරෝ මනුජේසු - සක්‍යමුනී භගවා තතකිච්චෝ
පාරගතෝ බලවිරිය සමංගී - තං සුගතං සරණත්ථමුපේමි

කතාබහ කරන මනුෂ්‍ය වර්ගයා අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මග සම්පූර්ණ කළ ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ.තමන් වහන්සේගේ ප්‍රඥා බලමහිමයත්, චතුරංග සමන්වාගත වීර්යයත් නිසා සංසාරයෙන් එතෙරට වැඩියා. ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.

රාග විරාග මනේජ මසෝකං- ධම්මමසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං - ධම්මමිමං සරණත්ථමුපේමි

ධර්මයක් තිබෙනවා. ඒ ධර්මයෙන් රාගය දුරු කරනවා. තෘෂ්ණාව නැති ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

යත්ථ ච දින්න මහප්ඵලමාහු - චතුසු සුචීසු පුරිසයුගේසු
අට්ඨ ච පුග්ගල ධම්මදසාතේ - සංඝමි මං සරණත්ථමුපේමි

යම් ආර්ය පිරිසකට දානයක් පූජා කළවිට මහත්ඵල ලැබෙනවා කියා කියනවා නම්, උන්වහන්සේලා පාරිශුද්ධ යුගල හතරකින් යුක්තයි. පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න

ඡත්ත බුදුරජාණන් වහන්සේට වන්දනා කර ගුරු ගෙදර බලා පිටත් වුණා. කැලයේ මැදින් ටික දුරක් යනවිට හොරු කණ්ඩායමක් මොහුට පහර දුන්නා. එහිදී ඡත්ත සිහි කළේ තිසරණය යි. තමන් සමාදන් වූ සිල්පද ගැනයි. ඔහු මිය යනවාත් සමගම තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙක් ව උපන්නා.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]