[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නොකළ යුතු දෙතිස් කථා හා කළ යුතු දස කථා

නොකළ යුතු දෙතිස් කථා හා කළ යුතු දස කථා

බුදු මුවින් පිට වූ වචන ශී‍්‍ර සද්ධර්මය ලෙසින් යුගයෙන් යුගයට හදවත් සනසාලන්නේ ඒ සෑම ප්‍රකාශයක් ම අර්ථවත් හා සත්‍යවත් බවින් යුතු වන හෙයිනි. එවන් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගැනීම සදහා පිළිපන් ශ්‍රාවකයා ද අවශ්‍යයෙන් ම සත්‍යවාදී විය යුතු ය

කථා කළ සෑම වචනයකින් ම ඉමහත් කරුණා ශාන්ත මෙහෙවරක් සිදුකළ බුදුරජාණන් වහන්සේ, රසයන් අතර උසස් ම රසය වන සත්‍ය රසයෙන් ලෝ සතුන්ගේ මනෝ මන්දිර පුරවාලූහ. ජීවිතාවබෝධය ඇති කරවන එකම බණ පදයකින් පවා සසර ගිමන් නිවා ගත් අපමණ සත් වගක් සම්බුදු අනුහසින් සුවපත් ව මොහදුරින් මිදී ගියේ ය.

හෘදයංගම වූ , කනට සුව එලවන, ‌ප්‍රේමණීය වූ බුදුවදන් ධර්ම රසයෙන් පිරී ඇති නිසා එවන් මධුර වදන් පිටවන මුඛය ‘ශී‍්‍රව මුඛ පද්මය’ නමින් හඳුන්වනු ලැබේ. ස්වභාවිකව ම මහනෙල් මල් සුවඳ වහනය වන නිසා සම්බුදු සිරි මුව මඩල අභියස වැඳ වැතිරෙන දෙවි මිනිසුන් පෙර කිසි දිනෙක නොවිදි අස්වැසිල්ලක් ලබන ලද්දේ මල් මකරන්දයෙන් සුහිත බමර සමූහයක් ලෙසිනි.

බුදු මුවින් පිට වූ වචන ශී‍්‍ර සද්ධර්මය ලෙසින් යුගයෙන් යුගයට හදවත් සනසාලන්නේ ඒ සෑම ප්‍රකාශයක්ම අර්ථවත් හා සත්‍යවත් බවින් යුතු වන හෙයිනි. එවන් සත්‍ය ධර්මයක් අවබෝධ කර ගැනීම සදහා පිළිපන් ශ්‍රාවකයා ද අවශ්‍යයෙන් ම සත්‍යවාදී විය යුතු ය. හිස් කථා ඇත්තෙකු නොවිය යුතු ය. වරදවා භාවිතයට ගත් වචනය සතර අපා දුකට පමුණුවන බව බුදුරදුන් විසින් නොයෙක් වර වදාරා ඇත.

සත්‍ය වචන කථා කිරීමෙන් මුසාවාදය දුරු කළ යුතු අතර දස කථාවෙහි යෙදීමෙන් තිර්ච්ඡාන කථා දුරු කළ යුතු ය. සුගතියට හා නිවනට බාධා පමුණුවන කථාවන් තිර්ච්ඡාන කථා නමින් හැඳින්වේ. විනෝදාස්වාදය වෙනුවෙන් හෝ එවන් කථා කිරීම හා ඇසීම සත්‍යාවබෝධයට ඍජුවම බාධා පමුණුවන බව වදාරා ඇත.

දෙතිස් කථා නමින් දක්වා ඇති එකී කථා සල්ලාපයන් නැතුවම බැරි තත්වයට වත්මන් ජන සමාජය පත්ව ඇත. නොකළ යුතු කථා ලෙස බුදුන් වදාළ දෙතිස් කථා හා කළ යුතු යැයි වදාළ දස කථා පිළිබද කෙටි සටහනක් මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරේ.

තිර්ච්ඡානකථා සූත්‍රයේ දක්වා ඇති පරිදි ලෝභ ද්වේෂාදී කෙලෙස් හට ගැනීමට හේතුවන පරිදි රජවරු ගැන කථා කිරීම නොකළ යුතු ය. රාජ්‍ය නායකයින්ගේ ගුණ දොස් විවේචනයට යාම තුළින් ඇලීම හෝ ගැටීම ඇතිවන බව ප්‍රකට කරුණකි.

චොරකථා යනු සොරුන් සහ මංකොල්ල කණ්ඩායම් ගැන කථා කිරීම යි. ඔවුන්ගේ වීරකම් ගැන කථා කිරීම මඟින් අකුසල් සිත් පහළ වේ. ආරක්ෂා වීම සදහා කථා කරයි නම් වරදක් නොවේ.

මහාමත්ත කථා යනු මැති ඇමතිවරු ගැන කථා කිරීම යි. එමඟින් ද වාචසික අසංවරය ඇති වේ නම්, ධර්ම මාර්ගයට බාධාවකි. භික්ෂුවකගේ පැත්තෙන් ගත් විට සේනාසන ආරාම ගැන කථා කරමින් විනෝද වීම වැරැද්දකි.

භයකථා යනුවෙන් දක්වා ඇත්තේ හොල්මන්, අවතාර වැනි දේ ගැන සාකච්ඡා කිරීම යි.

යුද්ධකථා යනුවෙන් දක්වා ඇත්තේ රජවරුන් අතර හෝ යුධ භටයන් අතර ඇතිවන සටන් ගැන කථා කිරීම යි. ආස්වාදය බලාපොරොත්තුවෙන් එබඳු කථාවල යෙදීම තුළින් සමාධිය බිඳ වැටේ. බාහිර විතර්කයන් සමාධියට පරිපන්ථ ධර්මයන් ය.

අන්නකථා යනු කෑම වර්ග ගැන කථා කිරීම යි. වත්මන් සමාජය තුළ මෙබඳු කථා දවස පුරාවට අසන්නට ලැබේ. ලෝභය හා රස රාගය වැඩි වීමට හේතුවන එබඳු කථා ධර්ම මාර්ගයට ආවරණයකි. පානකථා යනු පාන වර්ග, බීම වර්ග ගැන කථා කිරීම යි. ඇඳුම් පැළඳුම් ගැන කථා කිරීම වත්ථකථා නමින් දක්වා ඇත. මෙය ගිහි පාර්ශවයට තදින්ම බලපාන කරුණකි. ඇඳුම නිසා ඇලීම ඇති වේ නම් එය නීවරණ ධර්මකයකි. සිත කෙලෙසී යන එබදු කල්පනා දුරු කළ යුතු ය. සයන කථා යනු ඇඳ,පුටු,මේස,ගෘහභාණ්ඩ ගැන කථා කිරීම යි. එමගින් ලෝභය ඇතිවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මාලාකථා යනුවෙන් අදහස් කරන්නේ මල්මාලා සැරසිලි ගැන කෙරෙන සල්ලාපයන් ය. සුවඳ විලවුන් ගැන කථා කිරීම ගන්ධකථා නම් වේ. ධර්මය පුරුදු කරන බුද්ධ ශ්‍රද්ධාවන්තයෙකුට එවැනි මන්ත්‍රණයන් මුලුමනින් ම අයෝග්‍ය වේ. නොකර සිටීමට වගබලා ගත යුතු ය.

ඤාතිකථා ලෙස පෙන්වා ඇත්තේ ‘අපගේ ඤාතීහු වීරයෝ ය. විසිතුරු යාන-වාහන ආදියෙන් ගමන් කළෝ ය’ ආදී වශයෙන් තම නෑ පරපුර ගැන උදම් ඇනීම යි. සිවිකා, දෝලා, ගැල් කණ්ඩායම් ගැන කථා කිරීම ද ලෝභාදී කෙලෙස් ඇතිවීමට හේතුවේ නම් සුදුසු නොවේ.

ගම්, නියම් ගම්, නගර හා ජනපද ගැන කතාවන් ද භාවනා මාර්ගයට අන්තරායකර වන්නේ එමඟින් මනස අවුල් වන නිසා ය. විවිධ විසම අදහස් ජනිත වීමට තුඩු දෙන පරිදි රාජ්‍යයන් ගැන කථා මීටම ඇතුළත් වේ. පොළොව, ඉර, හඳ, ග්‍රහ, තාරකා, සාගර, මුහුදු, පර්වත වැනි වස්තූන් ගැන හෝ කථා කරන විට සතිය ගිලිහී ගොස් සිත භාවනා අරමුණෙන් පිට පනී නම් නොකළ යුතු ය. අනිත්‍යයේ ලක්ෂණය හඳුනා ගැනීම ආදී කරුණක් සදහා එවැනි කථා කිරීම වරදක් නොවේ.

ගැහැනු, පිරිමින්, නළු-නිළියන්, ගායක-ගායිකාවන්, නර්තන,ගායන,වාදනයන් ගැන කථා කිරීම තථාගත ධර්ම‍ය පුරුදු කරන්නෙකු විසින් නොකළ යුතු ය. නූපන් ලෝභය දෝෂය ඇති වී උපාදානයන් බවට පත් වී බෞද්ධයෙකුගේ මූලික අරමුණ වන නිවන සාක්ෂාත් කිරීම සඳහා බාධකයන් වන එකී කථා සාමාන්‍ය ජීවිතයට පවා කරදරකාරී වේ.

කී‍්‍රඩකයන්, යෝධයන් ගැන කෙරෙන කථාවන් නිසා ද සිතක් සංවර වන්නේ නොවේ. මං මාවත්, පදික වේදිකා, කඩපිල්, සාප්පු සංකීර්ණ හා තොටුපොල ගැන කථා කරන විට ද මුලාව,ප්‍රමාදය ඇතිවේ. එවැනි ස්ථාන සිහිකොට මතකයට ගැනීම හේතුවෙන් අකුසල විතර්කයන් ඇතිවිය හැකි ය.

පුබ්බපෙතකථා යනුවෙන් දක්වා ඇත්තේ ද අතීත ඤාතීන් ගැන කෙරෙන කථා සල්ලාපයන් ය.

ආදීනවය, සංවේගය, විරාගය, ඇතිවීමට හේතුවේ නම් ඉහත “ඕනෑම කථාවක් කිරීම වරදක් නොවේ. එහෙත් පුහුදුන් පුද්ගලයෙකුගේ සිතක් බොහෝ සෙයින් කෙලෙස් ඉපදීමට භූමිය වන නිසා ඉහත දක්වා ඇති කථාවන් නොකර සිටීමට වෑයම් කළ යුතු ය.

“මේ ලෝකය කවරෙකු විසින් මවන ලද්දේ ද? අසවලා විසින් මවන ලද්දකි” ආදී වශයෙන් ඉස්සර නිම්මාණ කථාවන් ද ධර්ම මාර්ගයට බාධා කරයි.

විනෝද චාරිකා, මුහුදු ගමන්, ආකාස ගමන් වැනි දෑ පිළිබඳව කෙරෙන කථාවන් මගින්ද අනවශ්‍ය විතර්කයන් ඇතිවන බව පැහැදිලි වේ. ධර්මාවබෝධයට හේතු නොවන පරිදි කෙරෙන මොනයම් හෝ කථාවක් වේ නම් උච්ඡේද වාද, සස්සත වාද ආදියද ඇතුළත්ව ඉහත සදහන් කළ සියලුම කථාපථයන් නොකළ යුතු බව බුදුරදුන් විසින් වදාරා ඇත.

වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන විවිධ තාක්ෂණික මෙවලම් උපකරණ හා ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍ය යනාදිය පිළිබඳ ව කථාවට යාම නිසා දහම් මග වඩන්නෙකුට යහපතක් වේ යැයි කිව හැකි නොවේ. එවැනි කථාවලින් වෙන් විය හැකි නම් යහපත් වේ. ශ්‍රද්ධා විරිය ආදී යහගුණ දියුණු වීමට ඍජුව හෝ වක්‍රාකාරයෙන් හේතුවන පරිදි ඉහත කී කථාවන් සිදු වේ නම් එමගින් අනර්ථයක් නොවේ. උදාරණයක් ලෙස අතීතයේ විසූ ඤාතීන් ගැන කථා කරන විට ඔවුන්ගේ අභාවය මුල්කරගෙන අනිත්‍ය සංඥාව මරණ සංඥාව වැඩේ නම් එය යහපත් කථාවකි.

ඉතිරි කොටස ඇසළ අව අටවක පෝදා (ජූලි 12 ) පත්‍රයේ පළවේ

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]