[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිණිපේ පුරවරයට මිණි පහනක් වූ මිණිපුර මහා සෑය

මිණිපේ පුරවරයට මිණි පහනක් වූ මිණිපුර මහා සෑය

සුන්දර පෙදෙසක පිහිටි පූර්වාරාම පරිසරය වටා ඇත්තේ සරුසාර කෙත්වතු ය. ඉන් එහා ඇත්තේ සුන්දර කඳු වළල්ලකි. පූර්වාරාම පරිශ්‍රයට යනෙන සෑම අයෙකුටම ගතට මෙන්ම සිතට ද පුදුමාකාර සිසිලසක් දැනෙනුයේ එහි තිබෙන්නා වු නිස්කලංක පරිසරය නිසා ය.

මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනයත් සමග මෙරට විහාර, දාගැබ් ඉදිවීම ඇරඹුණු අතර දේවානම් පියතිස්ස රජුගෙන් පසු දුටුගැමුණු ,මහසෙන් ,වළගම්බා, ආදි ශ්‍රේෂ්ඨ නරපතියන් කළ බොහෝ වෙහෙර විහාර සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා කරවූ මහා නිර්මාණයන් විය.වසර දහස් ගණනක ඈත අතීතයක සිට මෙරට රාජාවලියේ බොහෝ රජවරුන් කළ විශ්මිත වෙහෙර,විහාර දාගැබ් අදද ශේෂ ව ඇත්තේ බොදු ජනී ජනයාගේ සාධු නාදයට පාත්‍ර වෙමිනි.

ඒ ලක්දිව සම්බුද්ධ සසුනේ චිරස්තිථිය උදෙසා තවත් වසර දස දහස් ගණනින් අනාගතයට දිවෙන මෙන්ම හෙළ මහා සංස්කෘතිය ඔප් නැංවූ විශිෂ්ඨ නිර්මාණයන්ද වේ.එවනි සෑම නිර්මාණයක් තුළම ඇත්තේ අතීත රජවරුන්ගේ ප්‍රෞඩත්වය මෙන්ම බුදු සසුනට තිබුණා වූ අපරිමිත මහා ගෞරවය යි. අද ද ස්වර්ණමාලි සෑ රදුන් අභියසට ගියවිට මනසට දැනෙන සුවපත් බව මෙන් ම අතීත ප්‍රෞඩත්වය පිළිබඳ හැඟීම කිසි ලෙසකින් කිසිවෙකුට වචන වලට සීමා කළ නොහැක.

වර්තමානයේ බොහෝ විහාර, දාගැබ් ඉදිකරනුයේ මහ සඟරුවනේ අපරිමිත කැප කිරීම් මෙන්ම සැදැහැවත් දානපතීන්ගේ පරිත්‍යාගයන් මූලික කර ගනිමින් ය.එදා බුදුහිමි දවස සිටි අනේපිඬු ,මිගාර වැනි සිටුවරුන් සේ ම විශාකා. සුජාතා වැනි සැදැහැවතියන් ද මෙම පුණ්‍යවන්ත පිංකම් හි නිරත වූහ.

හසළක මීගොල්ල පුර්වාරාමය මිණිපේ දෙවන ව්‍යාපාරයේ ආරම්භක විහාරස්ථානය යි.මෙනිසා මිණිපේ දෙවන ව්‍යාපරය ආශ්‍රිත බොදු ජනයාට මෙම විහාරස්ථානය මහා පින්බිමක් විය.ඉතා සුන්දර පෙදෙසක පිහිටි පූර්වාරාම පරිසරය වටා ඇත්තේ සරුසාර කෙත්වතු ය. ඉන් එහා ඇත්තේ සුන්දර කඳු වළල්ලකි.පූර්වාරාම පරිශ්‍රයට යනෙන සෑම අයෙකුටම ගතට මෙන්ම සිතට ද පුදුමාකාර සිසිලසක් දැනෙනුයේ එහි තිබෙන්නා වු නිස්කලංක පරිසරය නිසා ය.

බොදු ජනී ජනයාට කොතරම් වටිනා පුණ්‍ය භූමියක් වුව ද පුර්වාරාමයට තිබුණු ප්‍රධානතම අඩුපාඩුව එහි චෛත්‍ය රාජයාණන් වහන්සේ ය. උඩුදුම්ර මිණිපේ ප්‍රධාන සංඝ නායක අපවත්වී වදාළ පූර්වාරාම විහාරාධිපති උඩවත්තේ සෝමරතන හිමියන් මිණිපේ ව්‍යපාරය තුළ මෙන් ම, දුම්බර ප්‍රදේශයට පහළ වූ මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.උන්වහන්සේ කොතරම් ශාසනික මෙහවෙරක නිරත වුවද, ප්‍රදේශයට මහා සේවාවක් කළ ද නාහිමියනට තම විහාරස්ථානයේ චෛත්‍යක් ඉදිකර ගැනීමට නොහැකිවීම පිළිබඳව උන්වහන්සේ ගිලන් ව සිටින අවස්ථාවේ දැඩි කනගාටුවට පත්ව සිටියහ. එවනි අවස්ථාවක එම විහාරස්ථනය වෙත ගිය කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා හා ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල මහත්මිය ඇතුඵ දූ දරුවන්ට මෙම ඉල්ලීම සෝමරතන හිමියන් විසින් සිදු කළහ. තම විහාරස්ථානයේ චෛත්‍යයක අඩුපාඩුව පිළිබඳ ව නාහිමියන් එසේ ප්‍රකාශ කිරීමත් සමග රඹුක්වැල්ල මහතාත්, එම මහත්මියගේ දැඩි උනන්දුවත් මත පුර්වාරාම චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩකටුයුතු ආරම්භ කෙරිණි.

2015 මෙම චෛත්‍යයයේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.මෙය මිණිපේ පුරවරයටත් විශේෂයෙන් මීගොල්ල ප්‍රදේශයටත් සාධු ජනක අවස්ථාවක් විය. ගොවිතැන බොහෝ ජනයාගේ ජීවනෝපාය වූ කර්කෂ, එහෙත් සෞම්‍ය ප්‍රදේශයක ඉදිවන මෙම චෛත්‍ය මිණිපුර මහා සෑය ලෙස නම් තැබී ය.

දායක පිරිස ලද සැම විටම උපරිම ශ්‍රම දායකත්වය ද ඒ වෙනුවෙන් දෙනු ලැබීය.ඔවුන්ගේ අතින් චෛත්‍ය මුදුනට වැලි,ගල්,ගඩොල් කැට සිමෙන්ති ආදිය බොහෝ ලෙස ඇදිණි.ඇතැම් විට නිවසින් ආහාර ගෙනවිත් ගමේ ජනතාව සමග එක්ව වැඩ කරමින් ඔවුන් සමග ආහාර ගනිමින් මිණිපුර සෑයට විශාල ලෙස මෙම පවුලේ අය ශ්‍රමදායකත්වය ද දුණි. දිනෙන් දින චෛත්‍යයේ වැඩ කෙරීගෙන යන විට ඒ සදහා ගම්වාසීන් ඇතුඵ ප්‍රදේශවාසීන් උපරිමයෙන් කැප වූහ. ඔවුහු ගඩොල් කැපූහ. වැලි ගොඩ දැමූහ.හැකි සෑම විටම ඉහළම ශ්‍රම දායකත්වය ද ලබා දුන් අතර, මේ සඳහා වත්මන් මීගොල්ල පුර්වාරාමාධිපති මීගොල්ලේ රාහුල හිමියන්ගේ ලබා දුන් අනුශාසකත්වය ඉතාම සුවිශේෂී ය.

අඩි 69 ක් උසැති මිණිපුර මහා සෑය මිණිපේ දෙවන ව්‍යාපාරයේ විශාලතම චෛත්‍ය ලෙස මේ වන විට සැලකේ.පසුගියදා එම සෑයේ කොත් පැළඳවීම සුබ මොහොතින් සිදු කෙරුණු අතර ඒ සඳහා වන කොත් වහන්සේ මහනුවර පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ සිට හසළක මිගොල්ල පුර්වාරාමය දක්වා වැඩම කිරීම සිදුවිණි.කිලෝ මිටර් හැටකට වඩා දුරක් වැඩම වූ කොත් වහන්සේ සාධු නාද මැද චෛත්‍යයයේ තැන්පත් කිරීම සිදුවූයේ මහා සංඝ රත්නයේ ආශිර්වාද මධ්‍යයේ හිටපු අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙනි.

රටෙහි පවතින තත්ත්වය මත සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් හා ක්‍රමවේද පිළිපදිමින් ඉතා චාම් ආගමික උත්සවයකින් කොත් වහන්සේ පැළඳවිම සිදුවුණු අතර තෛ‍්‍රයි නිකායික මහ සඟරුවනේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් මිණිපුර සෑයේ කොත් පැළඳවීම සිදුවිණි.

ටිකිරි බණ්ඩා දිසානායක රඹුක්වැල්ල මව්පිය දෙපළටත් කුසුම් රඹුක්වැල්ල මහත්මියගේ දෙමාපියන් වන ඩී.එස්.ඊ. වැයිහේන මව්පිය දෙපළටත් පින් පිණිස මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකෙරිණි.

මීගොල්ල පූර්වාරාමාධිපති මීගොල්ලේ රාහුල හිමියෝ මෙහිදී අදහස් මෙසේ පැවසූහ.මිණිපුර මහා සෑයේ ඉදිකිරීම් ආරම්භ වන්නේ මෙයට වසර පහකට පමණ පෙර ය.අනුරාධපුර පොළොන්නරු ඉපැරැණි තාක්ෂණය ඔස්සේ මෙහි ඉදිකිරීම් ඇරඹු අතර එවකට මීගොල්ල පූර්වාරාමය ඇතුඵ විහාරස්ථාන රැසක අධිපතිත්වය දරමින් සිටියදී අපවත් වී වදාළ උඩවත්තේ ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ බලාපොරොත්තුවක් ,ඉල්ලීමක් අනූවය මෙය ඉදිවනු ලබන්නේ.මෙය මිණිපේ දෙවන ව්‍යාපාරයේ මූලාරම්භකම විහාරස්ථානය ලෙසයි සැලකෙන්නේ නමුත් අදවන විට චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිවීමත් සමගයි විහාරස්ථානය අංග සම්පූර්ණ වන්නේ.සෝමරතන නාහිමියන් දැඩි ලෙස ගිලන් ව සිටින අවස්ථාවේ දී රඹුක්වැල්ල මහතා ,එම මහත්මිය හා පවුලේ දු දරුවන්ගෙන් කළ ඉල්ලීමකට අනූවයි මෙම සෑය ඉදිවනු ලබන්නේ.මෙය මිණිපේ විශාලතම චෛත්‍ය ලෙස සම්බුද්ධ සසුනට පූජාකර තිබේ.

ඈත අතීතය සිහි ගන්වමින් අතීත සම්ප්‍රදායන් ,තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් සුවහසක් බොදු ජනයාට මහා සෑයක් ලෙසින් ඉදි වූ මිණිපුර මහා සෑය මිනිපේ පුරවරයට සේ ම සමස්ත බොදු ජනතාවගේ ම පින්කෙතකි.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]