[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝක ප්‍රකට රීස් ඩේවිඩ්ස් පාලි පඬිතුමා

ලෝක ප්‍රකට රීස් ඩේවිඩ්ස් පාලි පඬිතුමා

එතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි පාලි ග්‍රන්ථ සමාගම අදටත් පාලි ත්‍රිපිටක හා අටුවා ඇතුලු බෞද්ධ පොතපත ප්‍රකාශයට පත් කරමින් හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරයි.

තෝමස් විලියම් රීස් ඩේවිඩ්ස් (1843 - 1922 ) පඬිතුමා යුරෝපයේ පාලි බුදු දහම පතළ කිරීමෙහි ලා විශිෂ්ට සේවයක් කළ ඓතිහාසික පුද්ගලයෙකි. 1864 වසරේ දී සිවිල් සේවකයෙකු වශයෙන් ලංකාවේ සේවයට පැමිණි එතුමා නීතිඥයකු ලෙස කටයුතු කරද්දී පාලි භාෂාව හදෑරීමට යොමු වී තිබේ.

බෙන්තොට වනවාස විහාරයේ වැඩසිටි යාත්‍රා මුල්ලේ ධම්මාරාම හිමියන්ගෙන් මෙන්ම හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් ද පාලි භාෂාවත්, බුදු දහමත්, සිංහල භාෂාවත් හැදැරූ මෙතුමා සිවිල් සේවයෙන් ඉවත්ව සිය මව්රටට ගොස් වර්ෂ 1881 දී ලන්ඩන් නගරයේ දී ‘පාලි ග්‍රන්ථ සමාගම’ පිහිටුවිය. එහි දී කලක් ලංකාවේ සිවිල් සේවයේ නියැළී සිටි රොබට් වයිල්ඩර්ස්, ජර්මන් ජාතික උගතකු වූ හර්මන් ඔල්ඩන් බර්ග්, ඩෙන්මාර්ක් ජාතික උගතකු වූ විගො පෞස් බෝල් යන මහත්වරු ද එතුමා සමග එක් වූහ. එතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි පාලි ග්‍රන්ථ සමාගම අදටත් පාලි ත්‍රිපිටක හා අටුවා ඇතුලු බෞද්ධ පොතපත ප්‍රකාශයට පත් කරමින් හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරයි.

එම සමාගම පිහිටුවීමේ දී එතුමාට ලංකාවාසී භික්‍ෂූන්ගේ මූල්‍යමය ආධාර සේ ම මාර්ගෝපදේශ ද ලැබිණ. ගාල්ලේ මිනුවන්ගොඩ පරමානන්ද විහාරාධිපති වූ බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්සාභිධාන මාහිමියන් විසින් එතුමාට යැවුණු පහත දැක්වෙන ලිපියෙන් අප රටෙහි තෙරවරු එතුමාට උපදෙස් දුන් ආකාරය ප්‍රකට වේ.

අන්නතාශීර්වාද ස්තුති පෙරටුව වරද හැර ලියා මතක් කර එවන වග හැටි නම්,

ටී. ඩබ්. රීස් ඩේවිඩ්ස් නම් ඇති පින්වත් මහත්මයාණනි,

තමුන්නාන්සේ ඇතුළත් වූ බස්නාහිර දිසාවාසී වූ යුරෝපීය ශාස්ත්‍රවන්ත මහතුන් සභාවක් විසින් අප ශුද්ධ වූ බුද්ධාගමේ බුද්ධදේශිත සූත්‍රාභි ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක පාලි පොත් ඉංග්‍රීසි අක්‍ෂරවලින් තිබෙනවා යයි යන වග ගාල්ලේ ඊ. ආර්. ගුණරත්න අතපත්තු මුදියන්සේ රාළහාමිගෙන් දැන කියාගත් ලංකාවාසී ගිහි පැවිදි අපි බොහෝ සමූහයක් එම තමන්නාන්සේලාගේ මාහැඟි උතුම් වැඩේ ගැන ඉතා ප්‍රීතියට පැමිණියා පමණක් නොව ඒ ගැන තමුන්නාන්සේලාට මුළු හෘදයෙන් අප්‍රමාණ ස්තුති ද කරනවා ය.

එසේ මහත් සන්තෝස වූ දැන උගත් ලංකාවාසී පණ්ඩිතවරුන්ගේ ඔය ගැන ඇති කල්පනා දැනගත් මවිසින් වැඩි වශයෙන් කරුණා සිතින් දන්වා සිටින්නට නම් පූර්වදිග උපන් තථාගත අප සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ පොත් සියම්, බුරුම රාමණ්‍ය රටවල පවතින්නේ වී නමුත් ඒ ත්‍රිපිටක දේශනා පොත් ඊට බුද්ධඝෝෂාදි අටුවාචාරීහු ද, සාරිපුත්තාදි ටීකාචාරීහු ද, ගණ්ඨිපද විවරණාදි ප්‍රකරණදැයි යන බුද්ධාගමේ සියලු ම පොත් කලින් ලිවුවේත් මේ අප ලංකාද්වීපයේ ය. එසේ ලිවූ සියලු ම පොත් දෙවනු සියම් බුරුම රාමණ්‍ය රටවලට ගෙන ගොස් ලියා ගැනීමෙන් දැන් දක්වාත් පවතින්නේ එම පොත් ම ය. ඒ ඇර පූර්වදිශාවේ පවත්නා සියලු භාෂා අතුරෙන් ප්‍රාකෘත, සංස්කෘත, සිංහල භාෂා තුන ම තත්සම භාෂාය හෙවත් බොහෝ සෙයින් සමාන ව පවතින භාෂා යි.

යම් බුරුම ආදී අනිකුදු භාෂා පාලි භාෂාවට සමහර සුවල්ප වචන සම නමුත් බොහෝ සෙයින් විසදෘශයි හෙවත් සම නොවෙයි. එබැවින් සියම් බුරුමාදි රටවල පාලි නූගත් ලිපිකරුවෝ ලියන පොත්වල තමතමන්ගේ භාෂි රීති පුරුදුවේ සැටියට අකුරු සහ වචනත් ලියවීමෙන් වරද ඇති බව අපි දැනගෙන තිබෙන්නේ ය. ඉන් නිසා තමුන්නාන්සේලාට බොහෝ ලෝකයට මහත් උපකාර සඳහා බොහෝ වෙහෙස මහන්සි දරමින් ද වියදමින් ද ඉංග්‍රීසි අකුරුවලින් අච්චුගස්වන ත්‍රිපිටක පොත්වලට වැඩි වසයෙන් ලංකාවේ සිංහල අකුරු පොත්වලින් එක එක වර්ගේ පොත් කීපයක් බැගින් සපයා ගෙන එකට සමාන න පොත් බලා එම පොත් ලංකාවේ පොත් ගුරු පොත්වලට ගෙන එයට සම නොවන සියම් බුරුම පොත්වල තිබෙන යම් යම් අක්‍ෂර වචනවල වෙනස් තිබුණොත් ඒ මේවාය කියා සටහන් කිරීමෙන් පොත් අච්චුගස්වන්ට ඉතා යුතු යයි සිතමි.

ඉතිරි කොටස ඇසළ අව අටවක පෝදා ( 12 වැනිදා) පත්‍රයේ පළවේ.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]