[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙන් කතා : ඇතුළත සතුරෝ

සෙන් කතා :

ඇතුළත සතුරෝ

ඔහු ජපන් ජාතිකයෙකි. තරුණ ය. දක්ෂ දුනු ශිල්පියෙකි. දුණු ඊතල ශිල්පය පිළිබඳ තමන්ට තිබුණ විශිෂ්ට කුරුමානම පිළිබඳ ව ඉමහත් වූ ආඩම්බරයෙන් පසු විය. සාරවත් වූ බොහෝ සෙන් කථාන්තර කියවීමෙන් සතිපට්ඨාන අභ්‍යාසය පිළිබඳ මූලික අවබෝධයක් ද ඔහු ලබා ගත්තේ ය.

නොබෝ කලකින් දුනු ශිල්පය පිළිබඳ හසල දැණුමක් තමන්ට ඇත්තේ යයි ඔහු තීරණය කළේ ය. ඈත කඳු ප්‍රදේශයක විහාරස්ථානයක වාසය කළ, එකල දුනු ශිල්පය පිළිබඳ උසස් කුසලතාවක් ඇතැයි ප්‍රසිද්ධියට පත්ව සිටි වෘද්ධ සෙන් ගුරුවරයෙකුට අභියෝග කිරීමට එහි යායුතු යයි ඔහු තීරණය කළේ ය.

එක් දිනෙක ඔහු මෙම විහාරස්ථානයට පැමිණ වයෝ වෘද්ධ සෙන් ගුරුවරයා හමුවිය. “මම ඉතා දුර සිට පැමිණියේ, ඔබ ගැන මම අහල තියෙනව, දක්ෂ දුනු ශිල්පියෙක් කියල. මට ආශාවක් ඇති වුණා කවුද ඒ මට වඩා දක්ෂයා කියල දැන ගන්න.”

“ඔව්, මම තමයි ඒ දුනු ශිල්පියා. නමුත් මම ඒව නතර කරල බොහෝ කාලයක් ගත වෙනව. මම දැන් දුනු ඊතල පාවිච්චි කරන්නේ නැහැ. මම දැන් මහලු සෙන් භික්ෂු වක්” යැයි සෙන් ගුරුවරයා පැවසී ය.

නමුත් තමාගේ දක්ෂාතාව පිළිබඳ ඉමහත් වූ ආඩම්බරයක් ඇති තරුණ දුනු ශිල්පියා, තමාට වඩා දක්ෂයෙකු නැතැයි විශ්වාස කරයි. මෙම තරුණ දුනු ශිල්පියා ද රටේ චිර ප්‍රසිද්ධ දුනු ශිල්පියා පරාජය කළහොත් තමාට එවැනි ම ප්‍රසිද්ධියක් සහ පිළිගැනීමක් ඇතිවනු ඇතැයි කල්පනා කරයි. එනිසා කෙසේ හෝ මෙම සෙන් ගුරුවරයා තරගයට පොළඹවා ගත යුතු යයි කල්පනා කළ ඔහු “මම හිතන්නෙ නැහැ දුනු ශිල්පය පිළිබඳ මා ඉගෙනගත් දේ තවත් කෙනෙකු දන්නව කියල, මම, ඔබට අභියෝග කරනව මට වඩා දන්න දෙයක් පෙන්වන්න කියල”

තමන්ගේ දැනුම ගැන උඩඟුකම හිතේ ඇති තරුණ දුනු ශිල්පියා ඔහු සමග තරගයකට සෙන් ගුරුවරයා පොළඹවා ගනු ලැබී ය. අකැමැත්තෙන් තරගයට එකඟ වූ සෙන් ගුරුවරයා අවුරුදු ගණනක් පාවිච්චි නොකිරීමෙන් දූවිලි වැදී, මලකඩ කා තිබූ දුනු ඊතලවල සුනම්යීතාව පළමුව පරීක්ෂා කිරීමට අවශ්‍යම විය. හියොවුරෙහි මකුළුදැල් කඩා, ඊතල ද මැද පිරිසුදු කරගන්නට අවශ්‍ය විය. මේ සියල්ල කලබලයකින් තොරව, කල්පනාකාරීව, සංයමයෙන් පිළිවෙලකට සිදුකර ගති.

පසුව තරුණ දුනු ශිල්පියා පියවර අසූවක් ඈතින් ඉලක්කය ලෙස ලෑල්ලේ හරි මැද පිදුරු ගසක් රැඳවී ය. තරුණයා තමන්ගේ මාරක පෙණුමැති දුන්නේ දුනුදිය ඇද ඊතලය මුදා හැරියේ ය. ඉලක්කයේ මැද ඇස පිදුරු ගස දෙපළු කරමින් ඊය ලෑල්ලෙහි ඇමිණින.

ඉන්පසු දෙවන ඊ තලයක් ගෙන මුදා හළේය. එම ඊය ලෑල්ලෙහි ඇමිණී තිබූ ඊ තලයෙහි වැදී මුල සිට අග දක්වා හරි මැදින් දෙපළු වී ගියේ ය. තමන්ගේ ශූරත්වය පිළිබඳ ඉමහත් ආඩම්බරයෙන් වයෝවෘද්ධ සෙන් ගුරුවරයා දෙස හැරී

“දැන් ඔබට කළ හැක්කේ කුමක්දැයි මට පෙන්වන්න” යයි කීය.

වයෝවෘද්ධසෙන් ගුරුවරයා තමා පසු පස එන ලෙස තරුණයාට සංඥා කළේ ය. ඉතා බෑවුම් දුෂ්කර පටු මාර්ගයක් ඔස්සේ සෘජු බිත්ති ඇති පටු දොරුවක් මුදුනට පැමිණියේ ය. එම කුහරය මුදුනේ ලිස්සන සුළු, එහාට මෙහාට වැනෙන දිග පයින් කඳෙන් හැදූ පාලමකි. එහි පහළට අඩි දෙසීයක් පමණ ලම්භාකාර ප්‍රපාතයයි. භයානක හඬක් නගමින් කන්දෙන් ඇද හැලෙන ගංඟාවේ දිය දහර පිටට නෙරා ඇති තියුණු ගල් කුළුවල වැදෙමින් සුදු පෙණ පිඬු නගමින් හඬ නගමින් පහළට වැටෙන පෙදෙස ඉදිරියෙන් ඇත.

වෘද්ධ සෙන් ගුරුවරයා සෙමෙන් අඩි තබමින් පටු පයින් කඳට නැග ඉක්මනින් එහි මැදට ගියේ ය. ඔහු සංසුන් ව දුන්න අතට ගත්තේ ය. උරහිසෙහි එල්ලා ඇති හියොවුරෙන් ඊතලයක් ගති. එය දුන්නෙහි යොදා දුනුදිය ඇද ඈත උස පයින් ගසකට විද්දේ ය.

පැද්දෙන පයින් කඳ උඩ සිට දුණුදිය ඇද ඊතලය පයින් ගස වෙත මුදා හරිනු දුටු තරුණ දුණු ශිල්පියාට තම හදවත හිරවුණාක් මෙන් දැනුණි. ඔහු තම ශරීරයෙහි ඇති වූ ගැස්ම සහ ක්ලාන්ත ගතිය බොහොම අමාරුවෙන් දරා ගැනීමට සමත් විය. ඇස් අඳුරුකරමින් හිස කැරකිල්ල ඇති විය. බියක් දැනිණි. වෘද්ධ සෙන් ගුරුවරයා පටු පයින් ඒ දඬු පාලමෙන් ආපසු පැමිණියේ ය.

“දැන් බලමු ද ඔබට කුමක් කළ හැකිද කියා, ඔබට පුළුවන් ද මේ පයින් පාලමේ සිට මා විද ඇති ඊතලය දෙකට පලන්න? නැත්නම් මම ඔබ වෙනුවෙන් එය කරන්න ද?”

යනුවෙන් සෙන් ගුරුතුමා ප්‍රශ්න කළේය.

මේ වන විට තරුණ දුනු ශිල්පියා තම ශරීරය සම්පූර්ණයෙන් ම පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව සිටියේ ය. තවමත් අනතුරුදායක ලෙස පැද්දෙමින් තිබුණ පයින් පාලම දෙසට එක අඩියක්වත් තැබීමට නොහැකි විය. වෙව්ලන දෑතින් මහලු සෙන් ගුරුවරයාගේ උරහිසින් අල්ලා ප්‍රපාතය අද්දරින් ආපසු ඇද්දේ ය. පසුව තරුණයා දුර්වල ව බිම ඇද වැටුණි. උඩඟුකම සිඳී ගියේ ය. තරුණ දුනුශිල්පියා නැවත ශරීර පාලනය ලබා සන්සුන් වූ විට මහලු සෙන් ගුරුවරයා ඔහුට මෙසේ කී ය.

“ඔබට දුනු ඊතල පිළිබඳ හැබෑම හැකියාවක් ඇත. නමුත් නුඹට මනස පාලනය කර ගැනිමේ ඇත්තේ සුළු හැකියාවක් පමණි.

මම බොහෝ තරුණ දුනු ශිල්පීන් පුහුණු කරල තියෙනව. ඔවුන් උඬගුකම නිසා විඳී පීඩාව මා මුල් කොට ගෙන අවසන් කර ගත්ත. ඊතලය සලකුණු කරපු තැන හරියටම ඉලක්කයට වැදුණම ඒක ඔවුන් තමන්ගේ දක්ෂතාව කියල වර්ණනා කර ගන්නව. ඉලක්කය වැරදුණහම හැමවිටම ඊතලය කෙළින් නැතැයි දොස් පවරනව” “සමාවෙන්න, ගුරුතුමනි, උඩඟුකම මා දෙ ඇස ඉදිරිපිට අඳුරු පටලක් විය, මනස ආවරණය කළ තිරයක් විය, එබැවින් බාහිර ලොව මට වඩා ශූරයින් ඇතැයි නොසිතීමි” යි කී ය.

තරුණයා ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය විහාරස්ථානයෙහි ම ගත කළේ ය. තවදුරටත් තමා දක්ෂි දුනු ශිල්පියෙකු වශයෙන් හෝ ගුරුවරයෙකු වශයෙන් නොසිතී ය. ටික කලකින් මහලු සෙන් ගුරුවරයා මිය ගිය පසු තරුණ දුනු ශිල්පියා ඔහුගේ අනුප්‍රප්තිකයා බවට පත්විය. දූවිලි සහ මකුළුදැල් බැඳුණු ලණු ඉවත් කළ දුණු දෙක සහ හියොවුරු විහාරස්ථානයේ ගබඩා කාමරයේ පිටුපස බිත්තියට හේත්තු කර ඇත.

කිසිවිටෙක කිසිවෙකු තම හැකියාවන්, ශක්තීන් පිළිබඳ අධි තක්සේරුවකින් උඩඟු නොවිය යුතු ය.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]