[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සසුනේ අග්‍ර දායක : සුදත්ත සිටුතුමා

සම්බුදු සසුනේ අග්‍ර දායක

සුදත්ත සිටුතුමා

අනේපිඬු සිටුතුමා දිනකට දෙවතාවක් බුදුරදුන් හමුවට ගොස් බුද්ධෝපස්ථානය සිදු කොට ඇත. එහෙත් ඒ කිසිදු අවස්ථාවක එතුමා බුදුරදුන්ගෙන් ප්‍රශ්න විමසීමට උනන්දු නොවූ බව කිය වේ.

සුදත්ත සිටුතුමා බුදු සසුනේ අග්‍ර දායකයා ය. සැවැත් නුවර විසූ මහා ධනවතෙකු වූ එතුමා අනාථ වූ අසරණයන්ට ආහාරපානාදිය සපයා බොහෝ උදව් උපකාර කළේ ය. එම නිසා එතුමා අනාථ පිණ්ඩික යන අන්වර්ථ නාමයෙන් ජනතාව අතර වඩාත් ප්‍රකට විය.

එතුමාට මහා සුභද්‍රා, චුල්ල සුභද්‍රා හා සුමනා නමින් දියණිවරු තිදෙනෙක් හා කාල නමින් එක් පුතණු කෙනෙක් වූ හ. සුදත්ත සිටුතුමා බෞද්ධයෙකු බවට පත්වීම අසිරිමත් කතා පුවතකි.

දිනක් සුදත්ත සිටුවරයා කිසියම් කාර්යයක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. රජගහනුවර සිටු මාලිගය බලා ගිය ඔහුට එදින එහි කිසියම් කලබලකාරී ස්වභාවයක් පෙන්නුම් කෙරිණි. ඊට හේතුව කවරේදැයි හේ රජගහ නුවර සිටාණන්ගෙන් විමසී ය. එහි දී දැන ගැන්මට ලැබුණේ හෙට දිනයෙහි සිටු මැදුරේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ රත්නය විෂයෙහි දානයක් පිරිනැමීමට කටයුතු සූදානම් වන බවයි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වැඩ සිටින බවටත්, සුදත්ත සිටුතුමා ඒ වනතුරුම නො දැන සිටියේ ය. එහෙත් “බුද්ධ” යන වචනය ඇසීමෙන් ම විශ්මයට පත් වූයේ ය.

බුද්ධ යන වචනය ඇසීමත් දුර්ලභ බව පැවසූ හේ එම බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට දැන්ම ම යා හැකි දැයි විමසී ය. එවිට රජගහ නුවර සිටුවරයා ප්‍රකාශ කළේ දැන් රාත්‍රිය බැවින් හෙට දින උදෑසනින් ම බුදුරදුන් හමුවන ලෙස යි. එබැවින් හිමිදිරි පාන්දරම බුදු රදුන් දැකීමට යන්නෙමි යි, සිතා සිටුතුමා නින්දට ගියේ ය. රාත්‍රිය පහන් වී ඇතැයි සිතා තෙවරක් ම නින්දෙන් අවදි වූ සුදත්ත සිටුතුමා තෙවැනි වර බුදුරදුන් දැකීම පිණිස පිටත්ව ගියේ ය.

ඉතා අලුයම සිටුවරයා සීත වනයට පිවිසියේ ය. සක්මනෙහි යෙදී සිටි බුදුරජාණන් වහන්සේ සිටුවරයා සීත වනයට පිවිසෙනු දුරදීම දුටු සේක. දැක “සුදත්ත මෙහි එන්නැ” යි, ඇමතූ සේක. බුදුරදුන් මාගේ නමින්ම අඬ ගසති යි, සිටුවරයා වඩාත් සතුටට පත් විය. ඉක්බිතිව බුදුරදුන්ගේ සිරිපා පියුම මත හිස තබා වැඳ “ඔබ වහන්සේ පෙර දින සුවසේ සැතපුණු සේක් දැ” යි, විමසී ය.

එහි දී බුදුරදුන් දුන් පිළිතුර වූයේ “කෙලෙස් නැසූ සිතේ ගිනි නොමැති, සියලු දුක් දුරු කළ උතුමෝ සුවසේ සැතපෙති” යන්නයි. එම වචනය ඇසීමෙන් ම පෙර කළ පින් ඇති සිටුතුමා සෝවාන් විය. එසේ ම තමා දිවි ඇතිතාක් තෙරුවන් සරණගිය උපාසකයෙකු ලෙස පිළිගන්නා ලෙස ද ඉල්ලී ය.

ඉමහත් චිත්ත සන්තෝෂයට පැමිණි සිටුතුමා සැවැත්නුවර වස් වසන ලෙස ද බුදු රජාණන් වහන්සේට ආරාධනා කළේ ය.

ඉක්බිති සිටුවරයා පෙරළා සැවැත් නුවරට පැමිණියේ ය. එහි විසූ ජේත නම් කුමරු ගේ උයන කහවණු දහ අට කෝටියක් ගෙවා මිල දී ගත්තේ ය. තවත් දහඅට කෝටියක් වියදම් කොට විහාර, සෙනසුන්, උවටැන්හල්, වැසිකිළි කැසිකිළි, සක්මන් මළු යනාදිය ද ඉදි කරවීය. එය ජේතවනාරාමය ලෙස නම් කළ අතර, එම මහා විහාරය මහල් සතකින් යුක්ත වූ බව ද සඳහන් වේ. තවත් කහවණු දහඅට කෝටියක් වියදම් කොට විහාරය සඟසතු කොට පූජා කිරීමේ උත්සවය පැවැත් වී ය. මෙම ජේතවනාරාම පූජාව වෙනුවෙන් සිටුතුමා පනස් හතර කෝටියක් වියදම් කළේ ය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණය දක්වා ගත කළ වස් සතළිස් පහෙන් වස් දහ අටක් ම වැඩ වාසය කළේ අනේපිඬු සිටුතුමා කළ මෙම ජේතවනාරාමයේ ය. මේ නිසාම සැවැත් නුවර නිධාන කොට (සාවත්ථි නිධානං) ත්‍රිපිටකයේ එන සූත්‍ර දේශනා බොහොමයක් දේශනා කොට තිබේ.

අනේපි¼ඬු සිටුතුමා දිනකට දෙවතාවක් බුදුරදුන් හමුවට ගොස් බුද්ධෝපස්ථානය සිදු කොට ඇත. එහෙත් ඒ කිසිදු අවස්ථාවක එතුමා බුදුරදුන්ගෙන් ප්‍රශ්න විමසීමට උනන්දු නොවූ බව කිය වේ. සිටුතුමා එසේ කළේ උන්වහන්සේ වෙහෙස ගැන්වීමට ඇති නො කැමැත්ත නිසා ය. දන්දීම වෙනුවෙන් ම සේදූ අත් ඇතිව සිටි එතුමා දිනපතා දන්දීමට ස්වකීය නිවසෙහි ආසන පන්සියයක් සූදානම් කොට තැබූ බව කිය වේ. සැදැහැති බෞද්ධයෙකු වූ එතුමා ධනෝපායනය නො කරමින් ධන විසර්ජනය ම සිදු කළේ ය. එම නිසාම එතුමා පසුව දිළිඳු බවට පත් වී ය. එහෙත් ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන්දීම නො කඩවා සිදු කළේ ය. දන්දීම වැළැක්වීමට යම් ඉෂ්ටකාමී දේවතාවෙකු උත්සාහ කළ බවත්, එම දේවතාවා පසුව සිය මාලිගයෙන් ඉවත් කිරීමට සිටුවරයා ක්‍රියා කළ බවත්, බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය. එය සිටුතුමා තුළ පැවති දානය සඳහා වූ නැඹුරුතාව තහවුරු වන සාධකයකි.

ස්වකීය දරුවන් සිව්දෙනා අතුරෙන් කාල නම් වූ පුත්‍රයා පමණක් බුදුරදුන් ගේ ඇසුරට යොමු කරවීමට සිටුතුමා අසමත් විය. එයට සම්‍යක් උපායක් යෙදූ සිටුතුමා විහාරයට ගොස් එක් බණ පදයක් ඉගෙනගෙන පැමිණිය හොත් කහවණු සියයක් ඔහුට ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දුනි. ඒ අනුව කාල එක් බණ පදයක් අසා එය මතකයේ රැඳුණු විගස විහාරයෙන් වහා පිටත් වීමේ අරමුණින් පිරිස් කෙළවර සිට බණ ඇසී ය. දේශනාව අවසන් වනතුරු එක් බණ පදයක්වත් ඔහුගේ මතකයේ නොරැඳෙන අධිෂ්ඨානයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ.

එබැවින් දේශනාව අවසන් වනතෙක් එක බණ පදයක්වත් මතකයට ගැනීමට කාල සිටු පුතුට නොහැකි විය. ඉතා උනන්දුවෙන් බණ ඇසූ නිසා ඔහු දේශනාව අවසානයත් සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.

මේ අනුව මුලු සිටු පවුලම බුදු දහමෙන් ලද ආලෝකය ඔස්සේ තෙරුවන් සරණ ගිය සැදැහැතියන් වීමටත්, අධිගමයන්ට පත්වීමටත්, ප්‍රධාන හේතුව නම් අනේපිඬු සිටුතුමා තුළ පැවැති අචල සද්ධා ගුණය යි. ප්‍රථම බෝධිරෝපණ පින්කම ද මෙතුමා ගේ මූලිකත්වයෙන් ජේතවනාරාම භූමිය තුළ සිදු කෙරිණි. සිටුතුමා ස්වකීය ජීවිතාවසානයෙහි මියගොස් ඉපදුණේ අනාථ පිණ්ඩික නම් දිව්‍ය පුත්‍රයෙකු ලෙසයි. දෙව්ලොව සිට සෝවාන් වූ දෙවියෙකු ලෙස පැමිණ නිරන්තරව ජේතවනාරාමය ප්‍රදක්ෂිණා කළේ ය.

   ඇසළ පුර පසළොස්වක පෝය 

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.

මීළඟ පෝය ජූලි 12 ඉරිදා

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]