[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත පහදවාගෙන තෙරුවන් ගුණ සිහි කරමු

සිත පහදවාගෙන තෙරුවන් ගුණ සිහි කරමු

බොහෝ පිරිසක් බාහිරව එක ප්‍රතිරූපයක් අභ්‍යන්තර ව තවත් ප්‍රතිරූපයක් පෙන්වන්නේ. අභ්‍යන්තරයේ සිටින්නේ අඩුපාඩු සහිත පුද්ගලයෙක්. බාහිරව සිටින්නේ ගුණ සහිත පුද්ගලයෙක් නම් අභ්‍යන්තරයේත් ඒ ගුණ සහිත පුද්ගලයෙක් සිටිය යුතුයි. ඒ සඳහා ක්‍රම ක්‍රමයෙන් අපේ අඩුපාඩු හදාගැනීමට උත්සහ ගන්නට ඕනේ

ශ්‍රී ලංකාද්වීපයට ආලෝකය උදා වූයේ අද වැනි පොසොන් පෝය දවසකයි. විශේෂයෙන්ම තුන් සරණය අපට ලැබුණේ මේ පොසොන් පෝය දවසේයි. එදා මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර එකල රජකළ දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු ලාංකික පිරිස උතුම් තිසරණයේ පිහිටුවූවා.

එදා දේශනා කළ උතුම් සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ පළමු කොටසේ පළමු සූත්‍රය වන චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි. හස්තියෙකුගේ පියවර සටහනට උපමාකර වදාළ දේශනාව. එහිදී විශේෂයෙන් දේශනා කරන්නේ පුද්ගලයෙක් තුණුරුවන් සරණ අවබෝධයෙන් ස්ථාවරව පිහිටන ආකාරයයි. බොහෝ බෞද්ධයන් මෙම සූත්‍රයේ නම දන්නා නමුත් කියවා නැති බවට බොහෝ දුරට විශ්වාසයි. ඒ නිසා මේ පොසොන් පෝය දවසේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රේෂ්ඨ දේශනාව කියවීමට අධිෂ්ඨාන කර ගත යුතුයි.

තිසරණයට පත්වීම පහසු කටයුත්තක් නොවේ. බුද්ධං සරණං ගච්ඡාමී. ධම්මං සරණං ගච්ඡාමී, සංඝං සරණං ගච්ඡාමී යැයි කියූ පමණින් කෙනෙකු තිසරණයට පත් වන්නේ නැහැ. පළමුවෙන් ම ඒ තුන් සරණය ඉගෙන ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ, ශ්‍රී සද්ධර්මයේ ගුණ, ආර්ය මහා සංඝරත්නයේ ගුණ අප පිළිවෙළින් අර්ථ සහිත ව ඉගෙන ගන්නට අවශ්‍යයි. ඉන්පසුව ඒ ගුණ පිළිබඳ ඇතිකරගන්නා වූ පැහැදිම මත අචල වූ ශ්‍රද්ධාවක්, ඇතිකරගන්නට ඕනේ.

බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්භය කැටි කොට දේශනා කළ සූත්‍ර දේශනා 18000 ක් පමණ ගුණ නවයකට වෙන්කර තිබෙනවා. ඒ තමයි අරහං සම්මා සම්බුද්ධෝ ,විජ්ජා චරණ සම්පන්නෝ , සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ , පුරිසධම්මසාරථී, සත්ථා දේවමනුස්සානං බුද්ධෝ, භගවාති.

බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. අපත් රහසින්වත් පව් කරන්නේ නැතිව සෑම මොහොතකම අවංක ලෙස ජීවත්වීමට උත්සාහ කළ යුතුයි. බොහෝ පිරිසක් බාහිරව එක ප්‍රතිරූපයක් අභ්‍යන්තර ව තවත් ප්‍රතිරූපයක් පෙන්වන්නේ. අභ්‍යන්තරයේ සිටින්නේ අඩුපාඩු සහිත පුද්ගලයෙක්. බාහිරව සිටින්නේ ගුණ සහිත පුද්ගලයෙක් නම් අභ්‍යන්තරයේත් ඒ ගුණ සහිත පුද්ගලයෙක් සිටිය යුතුයි. ඒ සඳහා ක්‍රම ක්‍රමයෙන් අපේ අඩුපාඩු හදාගැනීමට උත්සහ ගන්නට ඕනේ. ඒ සඳහා මේ අරහං බුදුගුණය ඉතා වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනෙක් බුදුගුණවල තියෙන ගුණ අපට ගන්නට පුළුවන්කමක් නැහැ. සම්මා සම්බුද්ධ ගුණය, අසම සම වූ බුදු කෙනෙකුට පමණක් ආවේණික වූ ගුණයක්. විජ්ජා චරණ සම්පන්මෝ, සුගත ලෝකවිදූ, අනුත්තරෝ, පුරිසදම්ම සාරථි, සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා යන ගුණ සියල්ලම උන්වහන්සේටම පමණයි.

අප ඒ ගුණවලට සත්කාර කරමින් , ගරුකරමින් පළවෙනි බුදුගුණයේ ආදර්ශය අපේ ජීවිතයට ගැනීමෙන් ම අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ධර්මය ගැන කියවෙන විට ධර්මය ගැනත් ඉගෙන ගන්නට ඕනේ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ – මේ ධර්මය මුල මැද අග යන සෑම තැනම යහපත් වන පරිදි මැනවින් දේශනා කර තිබෙනවා. අප ධර්මය ඉගෙන ගන්නට ඕනේ. ඇතැම් පිරිස් වෙනත් දේවල් ගොඩාක් ඉගෙන ගත්තත් ධර්මය ඉගෙන ගැනීමට වැඩි කැමැත්තක් නැහැ. ධර්මය ඉගෙන ගැනීමට ශ්‍රද්ධාව තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නට ඕනේ. සුත්‍ර ධර්ම බොහෝ තිබෙනවා, ඒ ප්‍රමාණයෙන් මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ සූත්‍ර ටිකවත් අවබෝධ කරගැනීම අපේ ජීවිත සකස් කරගැනීමට ප්‍ර‍්‍රමාණවත්. ඒ අතර චූලහත්ථි පදෝපම සූත්‍රය, සමචිත්ත පරියාය සූත්‍රය, විමාන වත්ථු, පේත වත්ථු, ප්‍රධාන තැනක් ගන්නවා. විමාන වත්ථු කියන්නේ පින්කරලා දිව්‍ය ලෝකවල ගිය අයගේ කථා පුවත්, පේත වත්ථූ කියන්නේ පව් කරලා පේ‍්‍රත ලෝකවල උපදින කථා පුවත්.

සච්ච සංයුක්තයේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාව තියෙනවා. ආසිවිසෝපම සූත්‍රය විෂ සහිත සර්පයන්ට උපමා කර කළ දේශනාවක්. ඛජ්ජනීය සූත්‍රය රූපය පිළිබඳ කෙරෙන දේශනාවක්. ඊළඟට ධම්මචක්කපවත්තන සූත්‍රය, එනම් ප්‍රථම ධර්ම දේශනාව, මේ මූලික දේශනා කිහිපයක් ඉගෙන ගැනීමෙන් අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය ස්වාක්ඛාතායි. අකාලිකයි. ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන්. ඒහි පස්සිකෝ – ඇවිත් බලා පිළිගන්න කියන්න තරමට නිර්මල ධර්මයක්. ඕපනයිකෝ – තමන්ගේ ජීවිතයට ගළපා බලා පිළිගන්නට ඕනේ. විශේෂයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය තමන්ගේ ජීවිතයට ගලපා බලන්න පුළුවන්. තරුණ කෙනෙක් වයසට යාමේදී සියල්ල අනිත්‍ය බව පෙන්නුම් කරනවා. ඒ වෙනස්වීම දුකක්. අපට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යන්න බැහැ. එය අනාත්ම වශයෙන් හඳුන්වනවා. තම තමන්ගේ නුවණට අනුවයි මේ ධර්මය තේරුම් ගැනීමේ හැකියාව තිබෙන්නේ. සමහරුන්ට නුවණ නැති නිසා බුද්ධ දේශනාව තේරෙන්නේ නැතිව විවිධ අර්ථකථන දීලා බුද්ධ ධර්මය විකෘති කරනවා.

ඊළඟට ශ්‍රාවක සංඝරත්නයේ ගුණ අප ඉගෙන ගන්නට ඕනේ. අප තනි භික්ෂූන් වහන්සේ නමකගේ ගුණයක් දැක පහදිනවා. අගුණයක් දැක අපහදිනවා. නමුත් මෙහි තිබෙන්නේ එසේ නොවෙයි.

උන්වහන්සේ රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කිරීමේ මාර්ගයට පිවිසි උත්තමයෝ ය. ඍජු ප්‍රතිපදාවේ නැතිනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර තිබීම දෙතිස් මහා කතාවලින් වැළකී දස කතාවෙන් යුක්තවීමයි. පුද්ගලයන් වශයෙන් අට දෙනයි. යුගය වශයෙන් හතරයි. උන්වහන්සේලාට දුර සිටද දානය පිළිගැන්වීමට සුදුසුයි. තමන්ගේ නිවෙස්වලට වැඩම කළ විට දන්දීමට සුදුසුයි. නිවන අරමුණු කර දන් පිළිගැන්වීමට සුදුසුයි. ලෝකවාසීන් විසින් නමස්කාර කිරීමට සුදුසුයි. ලෝකවාසීන්ට පින්සිදු කර ගැනීමට තිබෙන පුණ්‍ය ක්ෂේත්‍රය. උන්වහන්සේලාට දන්පැන් පූජාකර පින් රැස් කර ගන්න.

තනි භික්ෂුවක් අරමුණු කරගෙන දෝෂාරෝපණය කරමින් සිටියොත් විශාල අකුසල කර්ම රැස්කර ගන්නවා. ඒ නිසා ඔබ කළ යුත්තේ මහා සංඝයාට දානය පූජාකර පින් රැස්කර ගැනීමයි. ඒ පින් රැස්කර ගැනීම සුගතියට යාමට උපකාර වෙනවා. මේ ශ්‍රේෂ්ඨතම රත්න තුන අපට ලැබුණේ අද වැනි පොසොන් පොහෝ දවසකයි. මේ තුන්සරණේ සරණ ගියොත් අනිවාර්යෙන්ම ඒ තැනැත්තාට සුගතියට යාමට ලැබෙනවා.

යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සරණ යනවනම් ඒ කෙනා සතර අපායට යන්නේ නැහැ.

මිනිස්කය අතහැරියාට පසුව දෙව්ලොව උපත ලබනවා

අප දිව්‍ය ලෝකයක ඉපදුණොත් එහි බොහෝ කාලයක් ආයුෂ විඳින්න පුළුවන්. මාර්ගඵලලාභී දෙවිවරු ඇසුරු කරන්නට පිළිවන්. ඒ සත්පුරුෂ දෙවිවරු ඇසුරු කර නිවන් මාර්ගයට අවතීර්ණ වීමට අපට හැකියාව ලැබෙනවා.

අද මනුස්ස ලෝකය පංචකාමයට ගොදුරු වූ මඩ ගොහොරුවක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා තිසරණය තුළ ස්ථාපිත වුණු කෙනා ශීලය දියුණු කරගතහොත් සංයුක්ත නිකායේ උත්පත්ති සංයුක්තයට අනුව සෝතාපන්න මට්ටමකට ජීවිතය සකස්කරගන්න පුළුවන්කම ලැබෙනවා.

ඒ නිසා ඔබත් මේ උදාර දවසේ උතුම් තිසරණය තුළ අවබෝධයෙන් සරණ ගොස් තම පවුලේ සියලු දෙනාම ඒ තත්ත්වයට පත්කර ගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අධිෂ්ඨාන කරගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]