[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවන පහසු කළ මහින්දාගමන යුගයේ සමාජය

නිවන පහසු කළ මහින්දාගමන යුගයේ සමාජය

මිහිඳු මා හිමියන් ලංකාවට බුද්ධාගම හඳුන්වා දුන් අවස්ථාව බුද්ධාගමේ දෙවන ආරම්භය හැටියටයි අපට දැනෙන්නේ. දෙවන ආරම්භය පළමු ආරම්භයට වඩා ප්‍රබලයි. ඊට හේතු ගණනාවක් තිබෙනවා. බුදුහාමුදුරුවන්ගෙන් ආරම්භ වූ ශාසනික සේවාව අවුරුදු තුන්සියයක් විතර යන කොට ඉන්දියාව තුළම අභාවයට යන තත්ත්වයකයි තිබුණේ. නමුත් මිහිඳු මා හිමියන් විසින් ලංකාවේ ඇති කළ ආරම්භය නිසා අවුරුදු දෙදහසක් විතර මේවන විට පැවතිලා තිබෙනවා.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයකට පසුවයි බුද්ධාගම ලක්දිවට හඳුන්වා දෙන්නේ. ඒ අවස්ථාවේ ලංකාව තුළ බුද්ධාගම වේගයෙන් ව්‍යාප්ත වුණා පමණක්ම නොවෙයි. බුද්ධ කාලයේ දී වගේම විශාල පිරිස් නැවත මගඵල නිවන් අවබෝධ කරගන්න පටන් ගත්තා. මේ අනුව බලන විට පෙනී යන්නේ අද මේ දියුණුයි කියන සමාජයට වඩා එදා පැවැති නොදියුණු සමාජය ධර්මාවබෝධයට ඉතාමත් හිතකර බවයි.

මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කරලා දින 26ක් එක දිගට අනුරාධපුරයේ වැඩ සිටිමින් මිනිසුන්ට ධර්මය දේශනා කර තිබෙනවා. ඒ අනුව මහින්දාගමනය සිදු වූ අවධියේත් ඉන් අනතුරුවත් විශාල වශයෙන් ජනතාව පැවිදි වී ඇති බවත්, ධර්මාවබෝධය ලැබ නිවන් මඟඵල පසක් කරගත් බවත් , වංශ කතා හා අටුවාවල දැක්වෙනවා.

ආර්යය මාර්ගය යෙදිල තිබෙන්නේ ඉතා සරල නිස්කලංක වටපිටාවක් ඔස්සේ. බුදුහාමුදුරුවන් පහළ වූ කාලයත්, භාරතයෙන් මිහිඳු මාහිමියන් වැඩම කළ කාලයත් ලංකාවේ ඒ සරල වටපිටාව තිබුණා.

ඒ ඒ කන්නයේ ගොවිතැන් වැඩ හමාර වූණාම හැමෝටම විවේකයි. ඒ නිසා තමයි මේ තරම් වෙහෙර විහාර, වැව් අමුණු හදන්න හැකි වුණේ. අද කාලයේ වැඩක් නොකරන වෙලාවට මිනිස්සු කරන දේ පෙනෙනවානේ. ඒ කිසිවක් එදා තිබුණේ නැහැ. ඒ නිසා බුද්ධ ධර්මය හඳුන්වා දුන්නාම මිනිස්සු බුද්ධාගම සැබෑවටම වැළඳගත්තා. මුළු ජීවිතය ම ධර්මනුකූල වුණා.

අප අහල තිබෙනවා සාර්ථකත්වයට පත් අය ගැන කියන විට දුක දිනූ අය කියලා. . අගහිඟකම්, අසරණකම්, කියන්නේ පසුතැවෙන්න, සියදිවි හානි කරගන්න හේතු නොවෙයි. ධනාත්මක ව හිතන්න හැකි නම්, දුප්පත්ක ම නිසා දියුණු වීමට අවශ්‍ය ලොකු ජවයක්, ධෛර්යයක් හිතේ උපදිනවා. අද දුප්පත්කම කියන්නේ සල්ලි නැතිකමට ම පමණයි.ගුණ නුවණ, නිරෝගිකම , ආදරය , සෙනෙහස වැනි දේ මොනතරම් තිබුණත් සල්ලි නැත්නම්, දුප්පත් කියන මානසිකත්වයකයි අද මිනිසුන් ජීවත්වෙන්නේ. ස්වීඩනය,නෙදර්ලන්තය , පින්ලන්තය වැනි පළමු ලෝකයේ රටවලුත්, තුන්වන ලෝකයේ රටක් වන භුතානයත් සතුට වත්කම හැටියට සලකන බව අපට පෙනෙනවා. එය බුද්ධාගමේ උගන්වන සන්තුට්ඨි පරමං ධනං යන ඉගැන්වීමට අනුගතයි.

බුද්ධ ධර්මයට අනුව ධර්මාවබෝධයට අවශ්‍ය කායික විවේකයට වැඩිය මානසික විවේකයයි. ලෝකය භෞතික ව දියුණු වෙන විට විවිධ තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරගෙන මිනිස්සු කායික ව කළ යුතු වැඩ විශාල වශයෙන් අඩුකරගෙන තිබෙනවා. ඒත් ඒ තාක්ෂණයත් සමඟ අනවශ්‍ය ලෙස බැ½දීම නිසා මානසික නිදහස මුළුමනින් ම වාගේ ඇහිරිලා . කායික ව නතරවෙන හැම මොහොතකම මානසික වැඩ. ඉතින් හැමෝම කියන්නේ නිදහසක් නැහැ වැඩ කියලයි.

මේ දවස්වල කොරෝනා වසංගතය විසින් මිනිස්සුන් බලයෙන්ම එක්තැන් කරනු ලැබ තිබුණා. ඒ කාලය ආසාදිත අයට හැර අනෙක් හැමෝටම වාගේ සෑහෙන්න සිතන්න විවේකයක් ලබාදුන්නා. නමුත් දැන් මිනිසුන්ට එක තැන නතරවෙලා සිටින එක මහා වදයක් වෙලා. ඒක දරාගන්න බැහැ. කොහොමහරි ඇවිදින්න අවශ්‍ය වෙනවා. කාටහරි කතා කරන්න අවශ්‍ය වෙනවා. මොනවහරි නිතරම කන්න අවශ්‍ය වෙනවා. , අහන්න, බලන්න අවශ්‍ය ම වෙනවා. එහෙම බලනකොට මහින්දාගමනය සිදු වූ කාලයේ සමාජය අදට වඩා නිවනට සමීප බවයි පෙනෙන්නේ.

අදනම්, කැමැති කැමැති තැනක කැමැති කැමැති වෙලාටව බණ අහන්න පුළුවනි. ඒ කාලයේ බණ අහන්න තිබුණ අවස්ථා ව ඉතා ම සීමිත බව අප දන්නවා. මිනිස්සු බණ අහන්න ගියාම මුළු රැයක් පුරාවට බණ අහනවා. රජවරු පවා එහෙම කළා කියලා සඳහන් වෙනවා.

මොනතරම් බණ ඇහුවත් සිත තැන්පත් නැහැ. එහෙම වෙන්න හේතු ගෙදරම තිබෙනවා. වෙන දෙයක් අවශ්‍ය නැහැ. විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයක ප්‍රවෘත්තිවලට පැය බාගයක් විතර අවධානය යොමුකරගෙන සිටින අවස්ථාවක සිත මොනතරම් ව්‍යාකූල වෙනවා ද ?

ඒ වගේම තමයි. ඒ හැම ප්‍රවෘත්තියක් සමඟ ම හිතේ ආවේග ඇතිවෙනවා. ඒ ආවේග ශරිරයේ ඉන්ද්‍රිය පද්ධතියට නරක ආකාරයට බලපානවා. අවශ්‍ය අනවශ්‍ය සෑම ප්‍රවෘත්තියක්ම හිසෙහි පිරෙන කොට නොදැනුවත්ව ම මානසික පීඩනය වැඩි වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය දුර්වල වීම වේගවත් වෙනවා. අප බොහෝ විට වෛද්‍යවරයාට කියන්නේ කායික රෝගයක් ගැන වුණාට රෝග නිධානය තිබෙන්නේ අවිවේකී මනස තුළයි.

මහින්දාගමනය සිදු වූ සමාජයේ සිටි මිනිසුන්ට තමන්ගේ ගමෙන් එපිට සිදුවන දේ ගැනවත් දැනුම්වත් වෙන්න ක්‍රම තිබුණේ නැහැ. එහෙත් අද මොකද වෙලා තිබෙන්නේ? තමන් ජීවත් වන රටේම තොරතුරු පමණක් නොවෙයි. ලෝකයේ හැම රටකම සිදුවන දේ අහන්න දකින්න සිදුවෙනවා. ඒ ප්‍රවෘත්ති මගහැර ල ඉන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තිබෙන්නේ. මුළු ලෝකයතුළ තිබෙන දැනුමෙන් හිස පිරුණහම කොහොම ද මානසික නිදහසක් ඇති වෙන්නේ.

මහින්දාගමනය සිදුවූ කාලයේ සමාජය ඉතාමත් සරලයි. ගිහි පැවිදි කවුරුත් නිස්කලංක ජීවිත ගත කළා. සිත තුළ රාග, දෝෂ, මෝහ නමැති කෙලෙස් කහට අඩුයි. බුදුහාමුදුරුවෝ වත්ථූපම සූත්‍රය, දේශනාකොට වදාළා. පිරිසුදු වස්ත්‍රයකට වර්ණ ගැන්වූ විට හොඳීන් වර්ණ ගැන්වෙනවා වගේ පිරිසිදු සිතටත් හොඳීන් ධර්මය අල්ලගන්නවා කියලා. නමුත් වික්ෂිප්ත සිතක ධර්මය රැඳෙන්නේ නැහැ. බොර වූ වතුරක ඇතුළේ තිබෙන්නේ මොනවාද? කියලා නොපෙනෙනවා වගේ කැළඹුණ සිතකත් අභ්‍යන්තරය දකින් න බැහැ.

මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කරළ පැවැත්වූ ධර්ම දේශනා දෙස බලන්න. ඒවායේ වැඩි හරියක් සැපදුක් ලැබෙන හැටි පිළිබඳවයි ප්‍රකාශ වෙන්නේ. මුලින්ම උන්වහන්සේ පැහැදිලි කළේ විමානවත්ථු පේතවත්ථු පිළිබඳවයි. ඒවායේ සඳහන් වන්නේ පින් කර දෙව්ලොව ගිය පුද්ගලයන් ගැනත්, පව් කර අපායේ උපන් පුද්ගලයන් පිළිබඳවත්. මිහිඳු මා හිමියන් වදාළ හැම දේශනාවක්ම මනෝවිද්‍යාත්මක ව ඉතා ප්‍රවේශමෙන් තෝරාගත් බවක් සිතන්න පුළුවන්. ඒ කාලයේ ඇතැම් මිනිසුන් දඩයම, මසුන් මැරීම වගේ දේ කළා නම්, ඒවායෙන් ඉවත්වෙන්න පෙළඹවීමක් මෙම සුත්‍රවලින් සිදු වුණා.

මහින්දාගමනය කාලයේ ඇයි විශාල පිරිසක් ධර්මය වටහා ගත්තේ? ඒ .කාලයේ මිනිසුන්ට සිතෙන තැනට යන්න ප්‍රවාහන ක්‍රම තිබුණේ නැහැ. කැමැති කැමැති වෙලාවට විවිධ පුද්ගලයන් සමඟ කතා කරන්න දුරකථන වාගේ සන්නිවේදන ක්‍රම තිබුණේ නැහැ. නෙත පිනවන රූපවාහිනී හෝ ගත පිනවන සුව පහසු නිවාස හෝ තිබුණේ නැහැ. විවිධ රසවත් කෑම හදමින් දිව පිනවන්න තිබුණේ නැහැ. අතිබහුතරයක් විවේකයෙන් කාලය ගත කළා. මේ නිදහස ධර්මාවබෝධයට ලොකු පිටිවහලක් වුණා.

අනෙක් අතට අද වගේ නෙවෙයි, එදා මිනිසුන්ට තමන් ජීවත් වන මේ මහ පොළොව මත අති සුඛෝපභෝගී දේ දකින්න තිබුණේ නැහැ. දියණු කියන රටවල් තිබුණේ නැහැ.කම්සැප උපරිමයෙන් ලබන්න නම්, දිව්‍ය ලෝකයට යා යුතුයි කියන පණිවිඩය ඔවුන්ට ලැබුණා. එතැනත් සදාකාලික නැති නිසා වැඩි අවධානය යොමුවුණේ සදාකාලික නිවන් සැප ලබන්නයි.

අද අපට සමාජයක් හැටියට මහින්දාගමන යුගයට ආපසු යන්න නොහැකියි. කළ යුතු වන්නේ තම තමන්ගේ ජීවිත අප්පකිච්ච,සන්තුට්ඨි, සල්ලහුක වුත්ති,සන්තින්ද්‍රියය, සුභර වැනි ගති ලක්ෂණ සහිත ජීවිතයකට අනුගත වීමයි. ඒ සඳහා නොකෑ යුතු කෑම, නොයා යුතු ගමන් , නොබැලිය යුතු හා නොඇසිය යුතු දේ , නොවිඳීය යුතු වින්ඳනයන් යම් තරමකට හෝ තේරුම් ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේවි.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]