[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු මා හිමි චරිතයෙන්. . .

මිහිඳු මා හිමි චරිතයෙන්. . .

ධර්මාශෝක රජුගේ පුත්‍ර රත්නය වූ මිහිඳු මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර 236ක් ගත වූ තැන ලංකාවට වැඩම කර ගෞතම බුදු සසුන ලංකාවේ ස්ථාපිත කළා. අද අප කතා කරන්නේ් ලංකාවට වැඩම කිරීමට පෙර මිහිඳු මා හිමි චරිතයේ අංශු මාත්‍රයක් පිළිබඳව යි.

බින්දුසාර මහ රජු ධර්මාශෝක කුමාරයාට යුවරජ පදවිය ලබා දී අවන්ති රට භාර දුන්නා. අශෝක යුවරජු අවන්ති රටට යන අතරේ එහි නගරය වන උජ්ජේනි නුවරට යන්නට කලින් වේදිසගිරි නගරයේ දේවා නම් සිටුවරයාගේ මාලිගයේ නවාතැන් ගත්තා. ඒ සිටුතුමාට ඉතා ශෝභා සම්පන්න දියණියක් සිටියා. ඇය දේවි කුමරිය යි.

ඒ කුමරිය දුටු අශෝක යුවරජුට ඈ පිළිබඳ සිතක් ඇතිවුණා. තම සිතෙහි හට ගත් කරුණ සිටුතුමාට දැනුම්දුන් විට ඔවුන් තම දියණිය අශෝක යුවරජුට සරණ පාවා දුන්නා. අශෝක කුමරු නිසා දේවි කුමරියගේ කුසින් ඉතා පින්වන්ත කුමාරයෙක් උපන්නා. කුමරුට ‘මිහිඳු‘ යන නම ලැබුණා. පුතු ලැබී වසර දෙකක් ගත වූ විට දේවි කුමරියට සංඝමිත්තා නමින් දියණියක් ද ලැබුණා. අශෝක කුමරු පාටලී පුත්‍රයේ රජකමට පත් වෙද්දී දේවි කුමරිය තම දරුවන් දෙදෙනා පාටලීපුත්‍රයේ දරුවන්ගේ පියාණන් ළඟට පිටත් කර එව්වා. ඈ දිගටම වේදිස නගරයේ සිටු මැදුරේ ම වාසය කළා .

ධර්මාශෝක රජතුමා හිස් වූ යුවරාජ පදවිය මහින්ද කුමරුට බාර දීමට කැමැත්තෙන් සිටියා. එහෙත් මිහිඳු කුමාරයා යුවරාජ පදවියට වඩා පැවිදිවීමට බොහෝ සේ ආශා කළා. එනිසා රජතුමා තම පුත්‍රයාත්, සංඝමිත්තා දියණියත් මහත් ගරුසත්කාර සහිත ව ගෞතම බුදු සසුනේ පැවිිදි කරවූවා. ඒ වනවිට මිහිඳු කුමාරයාට වයස අවුරුදු විස්සයි. සංඝමිත්තා කුමරියට අවුරුදු දහඅටයි. මිහිඳු කුමරු පැවිදි වූ දිනයේ ම උන්වහන්සේට උපසම්පදාවත් ලැබුණා. මිහිඳු තෙරුන්ගේ උපාධ්‍යායාචාර්යන් වහන්සේ වූයේ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ යි. මහාදේව රහතන් වහන්සේ කුමරු පැවිදි කළා. මජ්ක්‍ධින්තික තෙරුන් වහන්සේ උපසම්පදාවේ දී කර්ම වාක්‍ය ප්‍රකාශ කළා. උපසම්පදා මාලකයේ දී මිහිඳු නමැති නවක භික්ෂුව සතර පටිසම්භිධායෙන් යුතුව උතුම් අරහත්වය ශාක්ෂාත් කළා. මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් ඇතළත මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් ත්‍රිපිටකය සම්පූර්ණයෙන් ම ඉගෙන ගත්තා.

අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ බිය තැතිගැනීම් නැති විශාරද භාවයට පත්, සය වැදෑරුම් අභිඥා ඇති, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභි රහත් භික්ෂුන් වහන්සේ දහස් නමක් තෝරා ගත්තා. ඒ තුන්වැනි ධර්ම සංගායනාව පිණිස යි. උන්වහන්සේලා විසින් අශෝකාරාමයේ දී තුන්වන ධර්ම සංගායනාව සිදු කරනු ලැබුවා.

අපගේ මහාකස්සප මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින් ද, යස මහ තෙරුන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරකින් ද එසෙයින් ම අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කළා.

තුන්වන ධර්ම සංගායනා මණ්ඩපයේ දී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ අන්‍ය වූ අධර්මවාදී මතිමතාන්තරයන් මර්ධනය කරන්නා වූ කතා වස්තු නමැති ප්‍රකරණය වදාළා. මේ ආකාරයට ධර්මාශෝක රජු විසින් සලසන ලද ආරක්ෂාව ඇතිව රහතන් වහන්සේ දහස් නමක් ගේ සහභාගිත්වයෙන් කරන ලද මේ තුන්වන ධර්ම සංගායනාව නව මාසයකින් නිමාවට පත්වුණා.

ඒ වනවිට ධර්මාශෝක රජු රාජාභිෂේක කර දාහත් අවුරුද්දක්. මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා වස් හැත්තෑ දෙකක් ඇතිව වැඩසිටියා. උන්වහන්සේ මහා පවරාණයේ දී සංගායනාව සමාප්ත කොට වදාළා.

එවිට ගෞතම බුදු සස්න බොහෝ කල් පවතින ආකාරයෙන් සිදු වූ මේ තුන්වන ධර්ම සංගායනාව අවසානයේ දී සාධුකාර දෙන්නා සේ මහ පොළොව කම්පාවට පත්වුණා.

තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසුව රහතන් වහන්සේ ඈත පිටිසර රටවලට පිටත්කොට යවන කාලයේ දී මහා නුවණැති, මහා මහින්ද මහරහතන් වහන්සේට උපසම්පාදව ලබා දොළොස් අවුරුද්දයි. උන්වහන්සේගේ උපාධ්‍යාය වූ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසිනුත්, උතුම් සංඝ රත්නය විසිනුත් උන්වහන්සේට නියම කරනු ලැබුවේ ලංකාවට වඩින්නට යි. එවිට උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි ලංකාද්වීපවාසීන් පහදවනු පිණිස ඊට සුදුසු කාලය බලාපොරොත්තුවෙන් සිටියා. “ලංකාවේ දැන් සිටින මුටසීව රජු ඉතා මහලුයි. ඔහුගේ පුත්‍ර වූ දේවානම්පියතිස්ස කුමරු ඊළඟට රජු බවට පත්වේවා!” යි සිතා වදාළා.

ලංකා රාජ්‍යයේ අලුත් රජෙක් බිහිවන කාලය අතරතුර තමන් වහන්සේගේ නැදෑයන් දකින්නට අදහස් කළා. ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේත,් සංඝ රත්නයත් වැඳ අවසර ගෙන සිය පියාණන් වූ ධර්මාශෝක රාජ්‍යයාටත් දැනුම් දුන්නා. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, ෂඩ් අභිඤ්ඤාලාභි මහා සෘද්ධිමත් සුමන නැමති සාමණේරයන් වහන්සේත් කැටුව ඥාතීන්ට උපකාරී වන්නට රජගහ නුවර හරහා දක්ඛිණාගිරි ජනපදයට වැඩම කළා. ඉල් මාසයේ සිට බක් මාසය දක්වා පා ගමනින් වැඩි ඒ ගමනට හය මාසයක් ගතවුණා.

අනුක්‍රමයෙන් තමන් වහන්සේගේ මෑණියන් වූ දේවි කුමාරියගේ නගරය වන වේදිසගිරියට වැඩම කළා. මව් දේවිය තමන්ගේ පි‍්‍රය පුත්‍රයන් වහන්සේ දැක සඟ පිරිස සහිත උන්වහන්සේට වේදිසගිරි විහාරය පූජා කොට උපස්ථාන කළා.

අනාගතයේ දී සිදුවන දේ පිළිබඳ සුදුසු කාලය දන්නා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වේදසගිරි විහාරයේ වැඩ හිඳ මේ ආකාරයට සිතින් අධිෂ්ඨාන කොට වදාළා. “ඒ දෙවනපෑතිස් රජු ලබන පොසොන් පොහෝ දිනයේ මිස්සක නමැති පර්වතයට නගීවා! ඒ දිනයේ දී අප උත්තම ලංකාද්වීපයට යන්නට ඕනෑ” කියා අධිෂ්ඨාන කළා.

ලංකාවට වැඩම කළ උන්වහන්සේ අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවා ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වුණා. ලංකාවේ රජ මැදුරේත්, ඇත් හලේත් යන ස්ථාන දෙකේ දී ම ලංකාවසීන් කතා කරන දීප භාෂාවෙන් ධර්මය වදාළා. මේ දිවයිනට පිළිසරණ වූ උන්වහන්සේ සද්ධර්ම මාර්ගයෙහි ගමන් කරන්නට කටයුතු කොට වදාළා. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් ශාසනය ඉතා යහපත් ලෙස ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීමේ ආදියෙන් භාෂක පරම්පරා බිහිකොට ලංකාදීපය බැබළවූවා. මහ සඟ පිරිවරකින් යුක්ත වුණා. උන්වහන්සේ ලොවට යහපත පිණිස බොහෝ කටයුතු සිදුකොට වදාළා.

එනිසා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට සිංහල බෞද්ධ අප හැම දෙනාම ණය ගැතියි. උන්වහන්සේ නිසයි අපට සෑ වන්දනා , බෝ වන්දනා ආදිය කර පින් රැස්කර ගන්නට ලැබුණේ. එනිසා මහින්දාගමනය සිහිපත් කරන මේ පොසොන් පෝ දිනයේ අපත් ආමිස, ප්‍රතිපත්ති පූජාවල යෙදී උන්වහන්සේට කෘතගුණ සලකමු.

   පොසොන් පුර පසළොස්වක පෝය 

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 05 සිකුරාදා පූර්ව භාග 03.51න් පුර පසළොස්වක ලබා06 සෙනසුරාදා පූර්ව භාග 00.42 න් ගෙවේ . සිකුරාදා සිල්.

මීළඟ පෝය 13 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]