[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළගුණ සලකා අවුරුදු සමරමු

කළගුණ සලකා අවුරුදු සමරමු

"පුද්ගලයා නියම මනුෂ්‍යයෙකු වන්නේ ගුණධර්මවලින් යුතු වන්නේ නම් පමණයි. ඒ ගුණ ධර්ම අතිනුත් ඉතාම දුර්ලභ ඉතාම වටිනා ගුණ ධර්මය වන්නේ කෘතවේදීත්වයයි. එනම් කළගුණ සැලකීමයි"

මෙවර උදාවෙන්නේ අමුතුම විදිහේ අලූත් අවුරුද්දක්. ඒ කියන්නේ අලූත්ම අලූත් අවුරුද්දක්. කිසිදාක නොදුටු ආකාරයේ අත්දැකීම් රාශියක් සමඟයි මෙවර මේ සම්භාවිත සිංහල චාරිත‍්‍රය ඉටු කරන්න සිදුවෙලා තියෙන්නේ.

අවුරුදු චාරිත‍්‍රවල වැදගත් සිරිතක් තමයි කළගුණ සැලකීම. ඒ නිසා තමයි මාපිය වැඩිහිටියන් වගේම ගුරුවරාදීන් හමුවී තෑගි බෝග මිල මුදල් ආදියත් පිරිනමා වැඳ නමස්කාර කරන්නේ. ඒ වගේම බුලත් හුරුල්ලක්දී වරදට සමාව අයැද සිටින්නෙ .

මේ කෘතගුණවේදීත්වය අපට උරුම වුණු ඉතාම වැදගත් මනුෂ්‍ය ධර්මයක්. එහි ඉතාමත් වැදගත් ප‍්‍රායෝගික පාඩම කියා දෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ යි. කුඩා වියේ බොදු දරුවන් පවා දන්නවා ඒ පාඩම. එනම් සම්මා සම්බුද්ධත්වයට පත්වී ගත කළ ඒ සුප‍්‍රසිද්ධ සත් සති කාල සීමාව. එහි දෙවෙනි සතියේ දී උන්වහන්සේ සිදුකළ ක‍්‍රියාකාරකම මුළු ලොවම මවිත කරවන විදිහේ අපුරු ධර්මතාවක් ප‍්‍රදර්ශනය කළා. ”පඨමං බෝධි පල්ලංකං, දුතියංච අනිම්මිසං” යනුවෙන් තමන් වහන්සේට බුද්ධත්වය සඳහා සෙවණ දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා බලා හිඳිමින් ඒ සිදු කළ අනිමිස ලෝචන පූජාව ප‍්‍රායෝගික පාඩමක් ලෙසයි බුද්ධ චරිතයේ දැක්වෙන්නේ.

සිත් පිත් නැති බෝධි වෘක්ෂය තමාගේ හොඳම මිත‍්‍රයා ලෙසින් ඒ තීරණාත්මක අවස්ථාවේ සිදු කළ මහා මෙහෙවර උන් වහන්සේ කෘතවේදීව අනුස්මරණය කළේ ඒ ආකාරයෙනුයි.

ගහ කොළ ගැන එසේනම් මිනිසුන් ගැන කවර කථාද? ඒ නිසා මෙන්න මෙවැනි බුද්ධ වචනයක් අපේ ජීවිත පාඩමට එකතු වෙනවා.

”කතඤ්ඤු කත වේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං”

මිනිසා කියන්නේ ඉහළ මානසික සංස්කෘතියක් තියෙන සත්වයායි. එයින් කියැවෙන්නේ මනුෂ්‍යයා යනු මානව දේහලක්ෂණයෙන් යුතු වීම පමණක් නොවන බවයි.

පුද්ගලයා නියම මනුෂ්‍යයෙකු වන්නේ ගුණධර්මවලින් යුතු වන්නේ නම් පමණයි. ඒ ගුණ ධර්ම අතිනුත් ඉතාම දුර්ලභ ඉතාම වටින ගුණ ධර්මය වන්නේ කෘතවේදීත්වයයි. එනම් කළගුණ සැලකීමයි.

අපේ ඓතිහාසික චාරිත‍්‍ර ධර්ම වලට එකතු වී තිබෙන සිංහල අවුරුදු චාරිත‍්‍ර ඔප් නැංවෙන්නේත් මේ කියන වටිනා චාරිත‍්‍රයත් සමඟයි.

මෙවර සමරන සුවිශේෂී අවුරුදු උත්සවයේදීත් මේ කියන ගුණධර්මය සම්පූර්ණ කළ යුතුමයි. මේ අවස්ථාවේ අපට කිසිසේත් අමතක කළ නොහැකි කල්‍යාණ මිත‍්‍ර පිරිසක් ඉන්නවා. ඒ පිරිස නම් අද දවසේ අප මුහුණ පා සිටින කොවිඞ් - 19 නැමති මාරාන්තික වයිරසයෙන් අප බේරා ගැනීමට දිවා ? වෙහෙස නොබලා ක‍්‍රියා කරන පිිරිසයි. ඒ පිරිසේ ප‍්‍රධානත්වය දරන්නේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු බලධාරීන්, සෞඛ්‍යය ඇමැතිනිය ප‍්‍රධාන සෞඛ්‍ය කාර්යමණ්ඩලය, එහිදී වෛද්‍යවරුන් හෙදියන් මෙන්ම සියලූ සෞඛ්‍ය සේවකයන් අයත් වෙනවා.

ත‍්‍රිවිධ හමුදාවේ ප‍්‍රධානීන් හා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සියලූම ක‍්‍රියාකාරීන්. ඒ වගේම දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන් සහ ග‍්‍රාම නිලධාරීන් දක්වා වූ රාජ්‍ය සේවක පිරිස, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම ගම්වල කටයුතු කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු පිරිස.

අප අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණය තමයි ඉහත කී පිරිස් වලින් වැඩිදෙනා ක‍්‍රියා කරන්නේ තමාගේ ජීවිතයට එල්ල වන අනතුර ගැන දැන දැනමයි කියන බව. ඔවුන් රෝගීන් වෙතට යමින් රෝගීන්ගේ අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ට ජීවිතය ලබා දීම සඳහා කරන කැපවීම අති විශිෂ්ටයි.

ඒ අතින් බලන විට ලෝකයේ අනිත් රටවලට වඩා අපේ රටේ ඒ නිලධාරීන්ගේ කැපවීම අද්විතීයයි. ඒ නිසා මේ ව්‍යසනකාරී අවස්ථාවේ අපේ හොඳම මිත‍්‍ර පිරිස වන්නේ එම කල්‍යාණ මිත‍්‍ර පිරිසයි.

ඒ සමඟම තවත් පැත්තක් ගැන සලකා බැලිය යුතුමයි. එනම් මේ ව්‍යසනකාරී අවස්ථාවේ තම කාලය ධනය ශ‍්‍රමය වැය කරමින් දිළිඳු දුප්පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් වී සිටින ගිහි පැවිදි සමාජ ක‍්‍රියාකාරීන්. ඔවුන්ගේ පරිත්‍යාගශීලී කැප වීම නිසා දස දහසක් දෙනාට සෙත සැලසී තිබෙනවා,

ඒ අනුව මේ එළඹුණු සිංහල අවුරුදු සමයේ ප‍්‍රධානතම හා අත්‍යවශ්‍යම චාරිත‍්‍රය විය යුත්තේ කළගුණ සැලකීමයි. ඔවුන්ගේ අවවාද හා මඟ පෙන්වීම පිළිගෙන කටයුතු කිරීම තමයි ඔවුන්ට කරන ගෞරවය වන්නේ. එවන් ක‍්‍රියාකාරීන් හැමදෙනාටම හිස නමා ආචාර කළ යුතුයි. ඒ සේවාව ඇගැයිය යුතුයි. එය බෞද්ධයන් වශයෙන් අප හැම දෙනා විසින්ම ඉටු කළ යුතු අලූත් අවුරුදු පුණ්‍ය කර්මය ලෙසින් සැලකීම ඉතාමත් වැදගත්.

 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]