[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් ඇසින් කොරෝනා දකිමු

දහම් ඇසින් කොරෝනා දකිමු

මිනිසා තම තමාට හිතූ මනාපයට කටයුතු කරන්න යාම නිසා සොබාව නීතිය සහමුලින්ම විනාශ කරලා

කුමක්ද මේ කොරෝනා වයිරසය හෙවත් කෝවිඩ් - 19 කියන්නෙ?

මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයට අනුව නම් පිළිතුර ඉතා පැහැදිලිය. මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රයේ ඒ පිළිබඳව පැහැදිලිව දක්වා තිබෙනවා.

ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මනුෂ්‍ය ලෝකයට දේව දූතයන් පැමිණෙන බව. ඒ යම රජතුමාගේ පණිවුඩකරුවන් හැටියටයි. එතැන දේවදූතයෝ කියන්නේ හොඳ ප්‍රිය මනාප දිව්‍යමය බලයක් තිබෙන බව කියන එක නෙවෙයි. අප්‍රිය වේදනා සහගත අප්‍රසන්නදායක සිදුවීම් සමුච්චයක් කියන එකයි. නම් වශයෙන් දක්වන්නේ නම් ජරා, මරණ, ව්‍යාධි, දණ්ඩන කියන කරුණු හතරයි.

මිනිසා දුසිල් වන විට, සදාචාරයෙන් බැහැර වන විට නැවත ඔහු යහමඟට පිවිසිය යුතුය යන රතු එළිය දැල්වීමක් හෙවත් අනතුරු හැඟවීමක් ලෙසින් මේ කරුණු පහළ වන්නේ.

මේ නියැදියට අනුව අප තේරුම් ගත යුතු වෙන්නේ ජන සමාජයට වරින් වර එන කොරෝනා වැනි විපත් කරදර කියන්නේ යම් කිසි අවවාදයක් බවයි. යම රජතුමා කියන්නේ ලෝක ස්වභාවය කියන එකයි. ලෝක පාලක ධර්මය තමයි සොබාදහම.

සොබාදහම රතු එළි දල්වා කියා සිටිනවා දැන් ඔබ වහාම පාලනය විය යුතුයි, මේ යන ගමන වෙනස් විය යුතුයි කියල. කොරෝනා වැනි වංසගත ඉතිහාසය පුරාමත් පහළ වුණේ ඒ ඒ කාලවකවානු තුළ මිනිසාට වැදගත් පණිවුඩයක් දෙන්නයි.

බලන්න වත්මන් තත්ත්වය. මිනිසා ආත්මාර්ථකාමීත්වයේ අන්තයටම ගිහිල්ලා. මිනිසා තමා තුළ අධිතක්සේරුවක් ඇතිකරගෙන ක්‍රියාකරනවා. “මේ ලෝකය අයිති මටයි. ගහකොළ සතාසීපාවා ඇතුළු සියලු පරිසරයේම අයිතිකාරයා මමයි“ කියන මිථ්‍යා දෘෂ්ටියට ගොදුරු වෙලා මිනිසා තම තමාට හිතූ මනාපයට කටයුතු කරන්න යාම නිසා සොබාව නීතිය සහමුලින්ම විනාශ කරලා.

සොබාව නීතිය කියන්නේ පංචශීලයටයි. එම නීති පහ (05) ආගමකට සීමාවූ පැනවීමක් නොවෙයි. ඒ නීති ඕනෑම ආගමක ඕනෑම ජන වර්‍ගයකට ඕනෑම රටකට හෝ ජාතියකට පොදුවේ පිළිගත හැකි විශ්ව සාධාරණ පැනවීම් පහක්. එය රකිනවා කියන්නේ ස්වභාව ධර්‍මයට අනුගත වීමයි. එය කඩනවා කියන්නේ ස්වභාව ධර්මයට පටහැනිව ක්‍රියාකරනවා කියන එකයි.

අද වන විට මිනිසා මේ ස්වභාව ධර්මයේ විශ්ව නීති කොයි තරම් දරුණු විදියට කඩ කරනවාද කියල. නිදසුනක් තමයි පළමු සිකපදය. සියලුම ප්‍රාණීන්ට ගරු කළ යුතුයි. සියලු සත්වයින්ගේ ම ජීවිත පැවැත්ම පිළිබඳ අයිතිය පිළිගත යුතුයි කියන එක.

මිනිසා තම තත්ත්වය ආත්මාර්ථකාමීත්වය හමුවේ අමතක කරලා අනුගමනය කරන වැඩ පිළිවෙළ ඉතා සංවේගජනකයි. ජීවත්වන සෑම ජීවියෙකුම තමාගේ ගොදුරු බවට පත්කර ගැනීම පොදු මිනිස් චර්යාවක් බවට පත්වෙලා.

සතුන් මරාගෙන තම්බාගෙන කෑම, පුළුස්සාගෙන කෑම - අද තවත් එහාට ගිහිල්ලා පණපිටින්ම සතුන් අනුභව කරන තත්වයට පත්වෙලා. මේ චර්යාව තිරිසන් සතුන්ටත් අන්ත වූ තත්ත්වයට පත්වීමක්. තිරිසන්කමටත් වඩා පහළට වැටුණු තත්ත්වයක්. කුමක් නිසා ද, මාංශභක්‍ෂක සතුන් එසේ කරන්නේ තමන්ට වෙනත් ආදේශකයක් නැතිකම නිසා. මිනිසාත් එහෙම ද? මිනිසාගේ කුස පුරවාගත හැකි අනන්තවත් සම්පත් ආහාර වර්ග මේ මිහිතලය මත වැඩී තිබෙද්දී තමයි අසරණ සතුන් බිලි ගැනීමට පෙළඹී තිබෙන්නේ. එයට හේතුව රස තෘෂ්ණාව, ආත්මාර්ථකාමීත්වය.

කොරෝනා වයිරසය ගැන වෛද්‍ය විද්‍යාඥයින් කියන්නේ කුමක් ද? එය මිනිස් ශරීර ගත වෙලා තියෙන්නේ සර්පයන්ගෙන් හෝ වවුලන්ගේ ශරීරවලින් ය කියන එකයි ඒ නිගමනය.

වත්මනෙහි චීනයේ පණපිටින්ම සතුන්කෑමට ගැනීම ජනප්‍රිය විලාසිතාවක් වෙලා. එපමණක් නොවෙයි තවත් බොහෝ රටවලත් කෝටි ගණන් ජනයා මේ අපචාරයට පුරුදුවෙලා.

අන්න ඒ නිසා සොබාදහම දඬුවමක් දීලා තියෙන්නෙ. කොරෝනා කියන්නේ අවවාදයක්, ඔව් දණ්ඩනාත්මක අවවාදයක්, අවවාදාත්මක දණ්ඩනයක්.

මේ තත්ත්වය නුවණින් විමසා අප තේරුම් ගත යුතුයි. මේක සොබාදහම විසින් නොහික්මුණු අවිනීත මිනිස් සමාජය වෙත යොමුකරන ලද වටිනා පාඩමක්.

එමනිසා කොරෝනා වයිරසය නැමැති දඬුවමින් මිදෙන්න ප්‍රතිකර්ම දෙකක් අනුගමනය කළ යුතුයි.

ප්‍රථම පියවර නම් වත්මන්හි රජය මගින් දෙන අවවාද හා වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමයි.

දෙවන පියවර නම් සත්ත්ව මාංශ අනුභවයෙන් අත්මිදීමයි. සත්ව හිංසනය සපුරාම නවතා ලීමයි.

මේ වගේම පණිවුඩයක් තමයි මීට දශක තුනක පමණ කාලයක සිට (HIV/AIDS) යනුවෙන් අපට මුණ ගැසී තියෙන්නේ. එයට හේතුව තුන්වන සික පදයේ සීමාව ඉක්මවා ඛණ්ඩනය කිරීමයි.

ඒ අනුව අප තේරුම් ගත යුතුයි ඒඩ්ස් රෝගයෙන් මිදීමට ගතයුතු දීර්ඝ කාලීන හා සාර්ථකම විසඳුම පංච ශීලයේ තුන්වන සික පදය ආරක්‍ෂා කිරීම බව.

මේ ලෙසින් සලකන විට අපට පෙනී යන කරුණ තමයි කොරෝනා උවදුර දහම් ඇසින් දැක අවබෝධ කරගත හැකි බව. අප ධර්මය රකිනවා නම්, ධර්මය විසින් අපටත් රැකවරණය ලබා දෙනවාමයි යන බුද්ධාවවාදය තරයේ සිතට ගෙන ක්‍රියා කිරීමයි මේඅවස්ථාවේ කළ යුතු වන්නේ.

එහිලා වැදගත් වන ධර්මාවවාදය මෙසේ දැක්විය හැකියි.

මේ ධර්ම පාඨයෙන් උගන්වන්නේ කරදර විපත් අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරයයි. විපත්තිදායක අවස්ථාවකදී අනුවණ විදියට හැඟීම්වලට වහල් වී ක්‍රියා නොකරන ලෙසත් බුද්ධිමත්ව ඉවසීමෙන් යුතුව එම විපතින් අත් මිදීම සඳහා වීර්යවන්තව කටයුතු කරන ලෙසත් ඒ ධර්මාවවාදයෙන් අපට උගන්වනවා.

එමනිසා ඒ උපදේශයට අනුව කටයුතු කළොත් මේ කොරෝනා වයිරස උවදුරින් මිදෙන්නට අප හැම දෙනාටම පුළුවනි. ඒ බව ඒකාන්තයි.

ඒ සඳහා යම් කැපවීමක් කළ යුතුම යි. ඒ තමාගේ ආරක්‍ෂාවත්, තම පවුලේ ආදරණීය දූ දරුවන්ගේ ආරක්‍ෂාවත්, පොදුවේ ජන සමාජයේ ආරක්‍ෂාවත් වෙනුවෙනි. රජයක් නීති පනවන්නේ අප හැමගේම යහපතටයි.

දුෂ්කරතා බොහොමයි. ඒත් ඉවසීමෙන් කටයුතු කරන්න. තියෙන දේ අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. දරුවන්ටත් ආදර්ශමත් ලෙස වගකීමෙන් ක්‍රියා කරන්න. මේ දිනවල අඩාළ වී තිබෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් හැකි පමණින් උපකාරවත් වෙන්න.

සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳ උපදෙස් ඉතාම වැදගත්. ඒ වගේම ඔබ මේ මොහොතේ මානසික සෞඛ්‍යයත් රැකගත යුතුයි. ඒ සඳහා ආගමානුකූලව චාරිත්‍ර ධර්මය අනුගමනය අවශ්‍යයි. බණ දහමට, ගුණ දහමට හිත යොමු කරන්න. විපත් දුරුකරලීම සඳහා දේශනා කරන ලද රතන සූත්‍ර දේශනාවට නිරන්තර සවන් දෙන්න.

මේ ආකාරයෙන් ක්‍රියා කළොත් ඔබ අප දිනනවාමයි. රටත් දිනනවාමයි.

 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]