[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධාර්මික සිතිවිලිවලින් රැකවරණය ලබා ගන්න

ධාර්මික සිතිවිලිවලින් රැකවරණය ලබා ගන්න

ලෝකය මේතරම් විපත්තියකට පත්ව ඇත්තේ පුද්ගලයන් තුළ පවත්නා අධික තෘෂ්ණාව හේතුවෙනි. තණ්හා මූල දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ කාරණාවේ දී ලෝකයේ ජීවත් වන මිනිසුන් තණ්හාව නිසා අල්ලා ගැනීම ද ඉන් අනතුරුව එය තමාගේ බවට පත් කර ගන්නා උත්සාහය ද ඉන් අනතුරුව නොයෙක් වාද විවාද මෙන් ම අවි ආයුධ ලබා ගනිමින් එකිනෙකා විනාශ කරගෙන බලවත් අකුසල කර්මයන් උපදවා ගන්නට ගන්නා බවයි.

යම් කෙනෙක් මනා සිහිකල්පනාවෙන් සිටිනා කල්හි තම ජීවිතය අනාථභාවයට පත් නොවේ. මෙහි දී ධර්මය අවබෝධ කර ගත් ආර්ය ශ්‍රාවකයා සම්මුති ලෝකයෙන් තොරව පරමාර්ථය දැකීමට උත්සාහ ගැනීම සිදු කරයි.

සමස්ත ලෝකයේ ම ජීවත්වන මිනිසා මේ මොහොතේ දී මහත් වු තැති ගැනීමට ලක් වී ඇත. ජීවිතය පිළිබඳව අවිනිශ්චිතව ඇති බව පෙනේ. ඇයි අපට මෙහෙම වුණේ මෙහෙම වෙන්න පුළුවන් ද? මෙම ව්‍යසනකාරී තත්ත්වය නැති කරගන්න ක්‍රමයක් තියනවා ද? යනාදි ප්‍රශ්න ගණනාවක් අප හමුවෙහි ඇත. ඇත්ත වශයෙන් ම මෙය ධර්මානුකූලව තේරුම් අරගෙන ජීවිතය වඩාත් යහපත් ලෙස ගොඩ නඟා ගෙන ජීවත්වීමට අවශ්‍ය පරිසරය තථාගතයන් වහන්සේ අපට දේශනා කොට වදාළ සේක. යම් කෙනෙක් මේ විශ්වයේ තථාගත ධර්මය විශ්වාස කරන්නේ ද අවබෝධකර ගන්නේ ද ඔහු මේ ලෝකයේ තනි වූ හෝ පරාජිත පුද්ගලයෙක් නොවේ. යම් කෙනෙක් තමන් තති වුවහොත් ඔහු අනාථයෙකි. එසේ තනිවීම හෝ අනාථ වීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ සිතනා ආකාරයට වඩා තරමක් වෙනස් ස්වරූපයකිනි.

අංගුත්තර නිකායේ දසක නිපාතයේ නාථකරණ ධම්ම සූත්‍ර දේශනාවේ දී ඉතා ම පැහැදිලිව විස්තරයක් දැක්වේ. එහිදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කොට වදාළේ “මහණෙනි , පිහිටක් ඇතිව වාසය කරන්න. පිහිටක් නැතිව වාසය නොකරන්න. පිහිටක් ඇතිව වාසය කරන කෙනා අනාථයක් නොවේ. පිහිටක් නැතිව වාසය කරන කෙනා අනාථයෙක් වේ. මෙහි දී පිහිටක් ලෙස දක්වා ඇත්තේ ධර්මයෙහි ශක්තියයි. කාරණා දහයක් මෙහි දී පෙන්වා දී වදාළ සේක. කිසියම් කෙනෙක් සිල්වත් වෙයි ද ස්වල්ප මාත්‍ර වූ ද වරදෙහි ඇති බරපතළකම දන්නේ ද ආර්ය ශ්‍රාවකයා නියමිත ශික්ෂා පදයන්හි පිහිටා කටයුතු කරන්නේ ද ඔහු ධර්මයෙහි රැකවරණය ඇතිව ජීවත් වෙන්නෙකි. මෙම පිහිට කොට ගැනීම සඳහා වදාළ ධර්ම කාරණා දහය අප හොඳින් තේරුම් ගත යුතු යි. යම් කෙනෙක් බහුශ්‍රැත වේද, ඇසූ ධර්මය ජීවිතයෙහි පුහුණු කරන්නේ ද, තමන්ගේ ජීවිතයෙහි අසන ලද ධර්මය මනා ලෙස සිතින් කයින් වචනයෙන් පුහුණු කරන ලද්දේ ද, යමෙක් වීර්ය ඇත්තේ ද, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නේ ද, සබ්බ්‍රහ්මචාරීන් වහන්සේ වෙත ගොස් අවවාද ලබා ගන්නේ ද මේ ආදි විස්තරාත්මක ලෙස මේ කාරණාව පැහැදිලි කිරීමෙන් පෙන්නුම් කරන්නේ ධර්මය තමන් සමඟ සිටින කල තමන් අනාථ නොවන බව යි.

යම් කෙනෙක් මනා සිහිකල්පනාවෙන් සිටිනා කල්හි තම ජීවිතය අනාථභාවයට පත් නොවේ. මෙහි දී ධර්මය අවබෝධ කර ගත් ආර්ය ශ්‍රාවකයා සම්මුති ලෝකයෙන් තොරව පරමාර්ථය දැකීමට උත්සාහ ගැනීම සිදු කරයි. බොහෝ දෙනෙක් අද දවස දක්වා ම ජීවත් වූයේ සම්මුති තුළ වේ. එනම් මම මගේ යැයි හැඟීමෙන් ලෝකය ග්‍රහණය කර ගැනීම යි. තමන්ගේ බලපුළුවන්කාරකම් , මිල මුදල් තනතුරු, වංශය, පිරිස් බලය වැනි අවිද්‍යාව තුළ ගැලී සිටින සත්වයා කටයුතු කිරීම කෙතරම් මුළාවක් ද යන්න මේ කොරෝනා වසංගත තත්ත්වය අප අභියස ඇති විට පැහැදිලි වේ. ලෝකයේ බලවත් ම හා දියුණු යැයි සම්මත මිනිසුන් ජීවත් වූ රටවල් අතිශය භයානක විසාලා මහනුවරක් බවට පත් වී ඇත. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය සැමකල්හි ම සත්‍ය වී ඇති බව අද අපට පසක් කර පෙන්වා දෙයි.

සියලු පරිසරය නිසංසලය. අපරාධ, සත්ව ඝාතන, මත්පැන් බීම, කාමයන්හි වරදවා හැරීසිම් සමාජයෙහි දක්නට නොලැබෙයි. එයින් පැහැදිලි වෙන්නේ පංච ශීල ප්‍රතිපත්තිය කැඩීයෑම මේ මුළු මහත් ලෝකයේ ම විනාශයට හේතු වී ඇති බවයි. ලෝකයක් ජීවිතයක් සංවර්ධනය යැයි සඳහන් කරන්නේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික මෙන් ම භෞතික දියුණුව ද එක ලෙස සිදු විය යුතු යි. ආධ්‍යාත්මය ශක්තිමත් වන විට අපරාධ හා අනිකුත් සමාජ විරෝධී ක්‍රියාවන් සිදු නොවේ. ලෝකය මේතරම් විපත්තියකට හේතු වී ඇත්තේ පුද්ගලයන් තුළ පවත්නා අධික තෘෂ්ණාව හේතුවෙනි. තණ්හා මූල දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ කාරණාවේ දී ලෝකයේ ජීවත් වන මිනිසුන් තණ්හාව නිසා අල්ලා ගැනීම ද ඉන් අනතුරුව එය තමාගේ බවට පත් කර ගන්නා උත්සාහය ද ඉන් අනතුරුව නොයෙක් වාද විවාද මෙන් ම අවි ආයුධ ලබා ගනිමින් එකිනෙකා විනාශ කරගෙන බලවත් අකුසල කර්මයන් උපදවා ගන්නට ගන්නා උත්සාහය ද පෙන්වා දී වදාළ සේක.

වර්තමාන ලෝකයේ සෑම සත්වයකුට ම ගැටලු රාශියකට මුහුණ පාන්න සිදු වී ඇත්තේ මේ ධර්මතාව හේතුවෙනි. තෘෂ්ණාව අධික වූ මිනිසා විසින් බලවත් ලෙස අකුසල කර්මයන් රැස් කරයි. අකුසලය බලවත් වු විට ස්වාභාවික පරිසරය ද වෙනස් වේ. මේ බව තේරුම් ගත හැකි දේශනාවක් අංගුත්තර නිකායේ දැක්වේ. අධම්මික සූත්‍ර දේශනාවේ දී ඉතා ම පැහැදිලිව දේශනා කොට වදාළේ අකුසලය බලවත් වන විට රාජ්‍ය පාලකයන් අධාර්මික වී, රාජ්‍ය නිලධාරින් ද ගම් දනව් වැසියා ද අධාර්මික වූ කල්හි ස්වභාව ධර්මය ද වෙනස්වන බව යි. ඉරු සඳ දෙදෙනාගේ වෙනස්වීම, විෂ සහිත වැසි පොළවට ඇද වැටීම, විෂ සහිත දෑ මිනිසුන්ගේ ආහාරයට එක් වීම , ලෙඩ රෝග ඇතිවීම ආදී වශයෙන් මිනිසාගේ විනාශය සිදුවන ආකාරය පෙන්වා දුන් සේක. මෙවන් කාල වකවානුවක දී බෞද්ධයාට පමණක් නොව සියලු සත්වයාට ම අවශ්‍ය රැකවරණය ඇත්තේ ධර්මය තුළ යි. එනම් ආධ්‍යාත්මික රැකවරණයයි. මේ මොහොතේ දී අපගේ ජීවිතය ධර්මයෙන් ශක්තිමත් විය යුතු යි. එයට අදාළ වන ප්‍රධාන ම කාරණාව වන්නේ සතර සතිපට්ඨානයට මනස යොමු කිරීම යි. විශේෂයෙන් ම කායානුපස්සනාවේ දී දක්වන ලද ආනාපාන සතිය මෙන් ම ඉරියාපථය හා සතිසම්පජඤ්ඤය පුහුණුව ඉතා වැදගත් වේ. අනෙක් කාරණාව වන්නේ ජීවිතය මෙන් ම ලෝකය වෙනස් කිරීමේ හැකියාව මෛත්‍රි භාවනාව තුළ දැකිය හැකි ය. බොහෝ දෙනෙක් මේ ගැන දන්නා මුත් අවශ්‍ය මානසික ඒකාග්‍රතාව යොදා ගනිමින් සිදු නොකිරීම මෙහි දී පෙනෙන ගැටලුවක් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අවධාරණය කර ඇත්තේ ජීවත් වන නිවසේ සිටින සියලු දෙනාට ම ආදරය කරුණාව දක්වන ලෙස යි. මෛත්‍රිය යන්න තමාටත්, අන් අයටත් තමන්ගේ හදවතේ ඇති මිත්‍රශීලි ස්වභාවයයි. තමාට මිත්‍රකමක් එසේ නැතහොත් මෛත්‍රියක් ඇත්තේ නම් අන්‍යයන්ට ද තමන්ගෙන් කරදරයක් නොවේ. මේ නිසා තමාටත් අන්‍යයන්ටත් කරදරයක් නොවන ආකාරයට ආධ්‍යාත්මය සකසා ගැනීම මෛත්‍රිය ලෙස සරලව පෙන්වා දිය හැකි ය. මෙය කායිකව වාචසිකව හා මානසිකව ම සිදු කළ හැකි යි. එය දෛනික ජීවිතයේ දී සිදු කර ගැනීමෙන් මෛත්‍රි චිත්ත සමාධිය පවා ඇති කර ගත හැකි යි. මෛත්‍රිය භාවනාව වඩන ආකාරය මජ්ඣිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ දී පෙන්වා දී වදාළ සේක.

එහි දී පෙන්වා දෙන්නේ මුලින් ම තමන්ට මෛත්‍රිය පුරුදු කිරීමත් ඉන් අනතුරුව ක්‍රමයෙන් ප්‍රදේශය පුළුල් කරමින් මුළු මහත් විශ්වයට ම මෛත්‍රිය පැතීරීම යි. නියම බෞද්ධයා මුළු මහත් විශ්වයට ම මෛත්‍රිය වඩයි. ඔහුට ජාති ආගම් දේශ භේදයන් නැත. චිත්ත ඒකාග්‍රතාව ගොඩනඟා ගනිමින් සිදු කරන මෙම පුහුණුව මත ක්‍රමයෙන් පංච නීවරණ ධර්ම ද යටපත් වී ධ්‍යාන දක්වාම තමන්ගේ සිත මෙහෙවිය හැකි යි. එය ඔබේ ජීවිතයත් , නිවසත්, ලෝකයත් වෙනස් කරයි.

 බක් පුර පසළොස්වක පෝය 

 බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 07 වනදා අඟහරුවාදා අපරභාග 00.01 ට ලබයි. 08 වනදා බදාදා පූර්ව භාග 08.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 07 වනදා අඟහරුවාදා.

මීළඟ පෝය අප්‍රේල් 14 වනදා අඟහරුවාදා.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]