[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 54 : නැගෙනහිර උරුමයෙන් හෙළිවන රජගල පුදබිම

නැගෙනහිර උරුමයෙන් හෙළිවන රජගල පුදබිම

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි අගනා සෙල්ලිපියක් මිහින්තලයෙන් හමුවී ඇත. ඊට අමතර ව මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහන පූජෝත්සවය පැවැත්වීමෙන් අනතුරුව එම ධාතූන් වහන්සේලා නිධන් කර සාදන ලද ස්තූපයක් පිළිබඳ සඳහන් වන, මෙතෙක් හමු වී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ත්‍රික්කයේ ‘රජගල’ හෙවත් ‘රාස්ස හෙළ’ නම් මෙම පුදබිමෙන් හමුවේ.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බවට සාක්ෂි වශයෙන් දැක්විය හැකි අගනා සෙල්ලිපියක් මිහින්තලයෙන් හමුවී ඇත.

ඊට අමතර ව මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහන පූජෝත්සවය පැවැත්වීමෙන් අනතුරුව, එම ධාතූන් වහන්සේලා නිධන් කර සාදන ලද ස්තූපයක් පිළිබඳ සඳහන් වන මෙතෙක් හමු වී ඇති එකම පර්වත ලිපිය අම්පාර දිස්ත්‍රික්කයේ ‘රජගල’ හෙවත් ‘රාස්ස හෙළ’ නම් මෙම පුදබිමෙන් හමුවේ. රජගල පුරාවිද්‍යා භූමියට අයත් ප්‍රදේශයේ අක්කර 300 පමණ පැරැණි නටබුන් විසිරී පවතී.

(වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 213 දයාවංශ ජයකොඩි සහ සමාගම - 2003)

සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙසිය තිස් හයකට පසුව මිහිඳු මහරහතන් වහන්සේ වරප්‍රමුඛ ධර්මදූත පිරිස ලක්දිවට වැඩම කළ අවදියේ සිට මෙරට ඉතිහාසය වඩාත් පැහැදිලි වූ විශ්වාස කටයුතු ස්වභාවයක් ගනී. මේ මහා ධර්මදූතයාණන් වහන්සේගේ වැඩම කරවීම පිළිබඳ විස්තර ඇතුළත් ව තිබෙන්නේ ලක්දිව වංසකතා දෙකෙහිත්, සමන්ත පාසාදිකාවේ පමණක් බවත් ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා සඳහන් කරයි.

(පැරැණි ලක්දිව බෞද්ධ ඉතිහාසය ආචාර්ය, ඊ.ඩබ්ලිව්. අදිකාරම්, දෙවන මුද්‍රණය පි. 121 - 1969 )

හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා සිය පාලන වාර්තාවක මෙසේ සඳහන් කරයි. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ දහ වැනි සියවසතෙක් වූ කාල පරිච්ඡේදයකට අයත්වන ශිලා ලිපි මෙන් ම පුරාණ පුදබිමකට අවශ්‍ය වන දාගැබ්, ආරාම, පොකුණු,ආවාස ගෙවල්, ප්‍රතිමා ගෘහ, සඳකඩ පහණ, මුරගල්, කොරවක්ගල් ආදියෙහි නටබුන් මෙම රජගල පුදබිම පුරා විසිරී පවතී. රජගල පුදබිමෙහි ලෙන් රැසක බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද ශිලා ලේඛන හමුවී ඇත. රජගල කන්දේ තැනිතලා භූමියෙහි දාගැබ් කිහිපයක නටබුන් හමුවී තිබේ. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට ලංකාවේ වත්මන් නැගෙනහිර ප්‍රදේශයේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ව්‍යාප්ත වී ඇති අන්දම මෙහි දක්නට ලැබෙන පුරාවස්තු නිහඬ ව පවසන කරුණ කි.

මුහුදු මට්ටමේ සිට අඩි 1038 උස කන්දක පිහිටි රජගල පුදබිම ඉතා රමණීය වූ භූමිභාගය කි. එහි දකුණු පැත්තේ තද බෑවුමක් ඇති නමුත්, උතුරු පැත්ත බෑවුම් වන්නේ ක්‍රමයෙනි. උතුරු බෑවුම නානා දෙස විසිරුණු නොයෙක් ප්‍රමාණයේ ගල්වලින් දැකුම්කළු ය. මිනිසා ලෝකයට පිවිසෙන්නට පෙර ඈත අතීතයේ කිසියම් යුගයක මහා ගලින් කැඩී වෙන්වුණු ගල්පර බෑවුමේ තැන් තැන්වල එකිනෙකට මුණ ගැසී නැවතී ඇත. මෙසේ නැවතුණු ගල්පර අතර මනෝඥ වූ ස්වභාවික ආරක්ෂා ස්ථානයන් සෑදී ඇත. මෙම ගල්ගුහා ඉදිරියේ බිත්ති බැඳ ඇත. ගල්ගුහා මුදුණේ සිතුවම් වේ.

කන්ද මදින් මද බෑවුම් වී තැනිතලාවකටත් අවසානයේ දී කන්ද පාමුල තැන්නටත් පැමිණෙන නොයෙකුත් හැඩවලින් හා ප්‍රමාණයෙන් වූ පුරාණ ගොඩනැගිලි මෙම කඳු බෑවුමෙහි ඇත. මේ ගොඩනැගිලිවලට ප්‍රවේශ වන ස්ථානයන්හි දෙපස චාම්, සරල කොරවක්ගල් ද, මිනිස් රූප සහිත නාග මුරගල් ද දක්නට ලැබේ. මේ තැනිතලාව හරහා යන ඇළ වියළි කාලයට සිඳී යයි. එහෙත් අති විශාල ආරාමයෙහි විසූ සංඝයා වහන්සේලාගේ අවශ්‍යතාවයන් සඳහා ජලය ලබාගෙන ඇත්තේ ඉහත සඳහන් කළ ඇළෙනි එම ඇළ පටන් ගන්නා ස්ථානයේ සිට පහත තැන්නේ හාරා ඇති වටකුරු ශෛලමය පාත්‍ර දෙකට ඉහළින් පුරාණ කාලයේ දී වහළයක් තිබී ඇත. මේ වහළයත් මඳක් දුරින් ඇති විශාල ආයත චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලකට සම්බන්ධ කර ඇත. එක් ශෛලමය පාත්‍රයක වම් පැත්තේ විශාල බ්‍රාහ්මී සෙල්ලිපියකි. පසු කාලයක දී සැදැහැවතෙකු විසින් ඉදිකරන ලද ගඩොල් ගොඩනැගිල්ලකට කවාකාර කට්ටා ගලේ නිර්මාණය කරන ලද නිසා, එම සෙල්ලිපිය කඩතොලු වී ඇත. ජලය පානය කිරීමට හැර අනෙකුත් කාර්යයන් සඳහා ජලය ලබාගෙන ඇත්තේ දැනට නටබුන් වී වියළී ඇති පොකුණෙනි. මේ අසල ඇති ගණකමින් යුක්ත වූ සක්කා ගලින් කළ පනා බැම්මක් සහිත සමතලා බිම් පෙදෙසකි. එය තරමක් දුරට වේදිකාවක ස්වරූපය දරයි. එම වේදිකාව මත කුඩා ස්තුප දෙකක අවශේෂ ද එම ස්තූප දෙක අතරේ කණු උඩ නංවනලද ගල්ලෑල්ලක් ද දකනට ලැබේ. එම ගොඩනැගිල්ල වෘත්තාකාරය

(පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාව පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ - පි. 22 1961 - 62)

මහින්දාගමනය හෙළි කරන ප්‍රබල ශිලා ලේඛනය ගිරි ලිපි ය.

පුරාණ වංසකතා අනුව ඓතිහාසික ව මෙය සනාථ වී ඇත. පුරාවිද්‍යාත්මකව ද මෙය සනාථ වන ඉතා අගනා ගිරිලිපියක් රජගල පුරාණ පුදබිමෙහි දක්නට ලැබේ. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් වන මෙම ගිරිලිපිය මෙසේ ය.

“යෙ ඉමදිප පටමය ඉදිය - අගතන ඉඩික තෙර මහිදතෙරතුබෙ”

තේරුම - මෙම දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය හා මහින්ද තෙරුන්ගේ ස්තූපය යි.

මෙම ගිරිලිපිය කොටා තිබෙන්නේ රජගල කඳු මුදුණේ පිහිටි පර්වතයක ය. මෙම ගිරිලිපිය පිහිටි පර්වතය අසල ස්තූපයක් තිබුණු බවට සාධක හමු වී ඇත. එම ස්තූපය දැනට විනාශ වී ඇත. රජගල මෙම ගිරිලිපියෙහි මහිදතෙර යනු මහින්ද හෙවත් මිහිඳු හිමියන්ගේ නාමය බව ද ඉඩිකතෙර යනු මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩම කළ ඉට්ඨිය තෙරුන් වහන්සේ බව ද ඉතා පැහැදිලි ය. Inscriptions of Ceylon - vo l Prof Senarat Paranavitana P.35 No 468 - 1970 Publication of Dept of archaelogy
 

වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය - සිරිසමන් විජේතුංග - පි. 85.

උත්තිය රජුගේ (ක්‍රි.පු. 210 - 200 ) රාජ්‍ය කාලයේ දී (දේවානම්පියතිස්ස රජුට පසු) අනුරාධපුරයේ දී මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ආදාහන පූජාවෙන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිධන් කොට සෑ ගිරියෙහි (මිහින්තලේ) සහ ලංකාවේ තවත් පුරාණ පුදබිම් කීපයක දාගැබ් ඉදිකරවන ලද බව මහාවංසයෙහි සඳහන් වී ඇත. මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා රජගලවැනි ඈත නැගෙනහිර ප්‍රදේශයේ නිදන් කළාට මේ අනුව සැකයක් නැත. ඉට්ඨිය තෙරුන් වහන්සේ නැගෙනහිර ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක කටයුතු භාරව සිටි භික්ෂූන් වහන්සේ නිසා උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා ද මෙහි නිධන් කරන්නට ඇත. ඉහත සඳහන් ගිරිලිපිය මහාචාර්ය සෙනරත් පඬිවරයා විසින් සොයාගන්නා ලදී.

(රජගලතැන්න සිරිසමන් විජේතුංග පි. 1 - 15 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. - 2005

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]