[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය බිහි කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ඩී.ආර්. විජයවර්ධන මහතාගේ 134 වැනි ජන්ම දිනය නිමිත්තෙනි:

දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය බිහි කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

 


ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ගෞතම බුදුපියාණන් වහන්සේ තෙවරක් ම අපේ රටට වැඩම කළ සේක. තෙවන වර වැඩම වූයේ ඓතිහාසික කැලණිය පුදබිම වෙත ය. බුදුරදුන්ගේ තෙවනවර ලංකා ගමනය සිහියට නැඟෙත් ම නිරන්තරයෙන් සිහිපත් වන ඓතිහාසික පුණ්‍ය භූමියකි ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය. ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථ නව විහාර කර්මාන්තය විසිතුරු සිතුවම් පිරි අසිරිමත් කලාගාරයක් වැනි ය.

මෙරට සිතුවම් කලාවෙහි අමරණීය නාමයක් රැන්දූ සොයිලියස් මැන්දිස් කලාකරුවාගේ තෙලිතුඩින් නිම වූ එම අභිනව විහාර කර්මාන්තය අසිරිමත් බුදු සිරිතේ වෙසෙස් අවස්ථා රැසකින් යුක්ත ය. ලෝ වැසි සිත් සතන් පහන් කරවීමටත්, සිතුවම් කලාවෙහි අග්‍රගණ්‍ය කලාගාරයක් බවට එය පත් කිරීමටත් එම අභිනව විහාර කර්මාන්තය කරවනු ලැබුයේ හෙළේනා විජයවර්ධන ළමාතැනිය විසිනි.

සියවස් ගණනක් පුරා ලෝවැසියන්ගේ සිත් පහන් කරවන ආගමික මෙහෙවරක් ඉටු කළ හෙළේ්නා විජයවර්ධන ළමාතැනියගේ දයාබර පුත්‍රරත්නය ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කර මෙරට ජනතාවගේ නැණ පහන් දැල්වීමට සිදු කර ඇත්තේ යුග මෙහෙවරකි.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ යුග මෙහෙවර පුවත්පත් කලාවට පමණක් සීමා වූවක් නොවේ. සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා ද අනූපමේය මෙහෙවරක් සිදු කර ඇත.

ඤාණ පිපාසිතයන්ගේ එම පිපාසය සන්සිඳුවීමට ආරම්භ කළ ලේක්හවුස් ආයතනය දැයට සෙවණ සලසන මහ වනස්පතියක් බඳු ය. ලේක්හවුස් ආයතනය එදා මෙදා තුර සිදුකර ඇති මෙහෙවර සියවසකටත් අධික ය. ලේක්හවුස් ආයතනයතුළ පමණක් නොව, රට පුරා ම සේවය කළ සහ දැනුදු සේවයෙහි නිරත පිරිස ලක්ෂ සංඛ්‍යාතය ලේක්හවුස් අලෙවි නියෝජිතවරුන් රටපුරා ලේක්හවුස් පුවත්පත් අලෙවි කිරීමෙහි නිරතව සිටිති. එම අලෙවි නියෝජිත ජාලය මගින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පමණක් නොව, ගමපුරා ගෙන්ගෙට පාපැදියෙන් ලේක්හවුස් පුවත්පත් බෙදාහරිමින් සිදු කරනුයේ උදාර මෙහෙවරකි. එම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එය වක්‍ර ආදායම් මාර්ගයක් ලෙස ද සකසා ගෙන ජීවනෝපාය කරගෙන සිටීම ආශීර්වාදයකි.

ලේක්හවුස් ආයතනය හෙවත් පත්තර මහ ගෙදර ආදී කර්තෘතුමාගේ අමිල වෙසෙස් මෙහෙවර නිසා ම වත්මන්හි පවා කළගුණ සලකන ලේක්හවුස් සේවක පිරිස දෛනික රාජකාරී සඳහා ආයතනයට ඇතුළුවෙත් ම ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උඩුකය පිළිරුව වෙත දෑත් එකතුකර, හිස නමා ගෞරවෝපහාර දැක්වීම ලේක්හවුස් ආයතනයට ම සුවිශේෂී වූ මහඟු ක්‍රියාවකි.

කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් එවකට මූලික අධ්‍යාපනය ලැබූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදෑරුවේ ය. 1912 දී අධිනීතිඥවරයෙකු ලෙස මෙරටට පැමිණ කොළඹ අධිකරණයේ දී සිය කටයුතු ආරම්භ කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් අලුත්කඩේ නීතිඥවරුන් අතර ඉතා පි‍්‍රයශීලී නීතිඥවරයෙකු බවට පත් විය. අනතුරු ව එතුමා පුවත්පත් හිමිකරුවෙක් වුව ද නීතිඥ වෘත්තිය හා පැවැති සබඳතාවය නිබඳව ම තබා ගත්තේ ය. කහ පැහැති වර්ණය යොදා වෑන් රියෙහි දෙපස‘දිනමිණ’, ‘ඩේලි නිව්ස්’ යන්න ලියා තිබුණේ ය. ඒ පුවත්පත් අළෙවිය සඳහා මෙරට පළමුවරට ඩී.ආර්. විජයවර්ධන මහතා වෑන් රියක් යෙදවූ අවස්ථාවේ දී ය. ‘සිළුමිණට පෙර මෙරට අංග සම්පූර්ණ ඉරිදා පුවත්පතක් නොපැවතිණි. එහි අඩුව සපුරමින් ‘දිනමිණ’ ට ‘සිළුමිණ’ එක්වීම ද මෙරට සිංහල පුවත්පත් කලාවේ ඓතිහාසික සන්ධිස්ථානයකි. එවකට ‘සිළුමිණ’ පාඨකයා එය වැළඳ ගනු ලැබුයේ ශත දහයේ විශ්වවිද්‍යාලය ලෙසිනි. ‘ඔබ්සවර්’ ඇරඹීමෙන් මෙරට ඉරිදා ඉංගී‍්‍රසි පත්‍රයක් ආරම්භ කළහ. අපේ රටේ ඉංගී‍්‍රසි භාෂාව කියවන පාඨකයා අතර ‘ඩේලිනිව්ස්’ පුවත්පත වඩාත් ප්‍රචලිත වූ අතර, මේ වන විට එම පුවත්පතට වසර එකසිය දෙකක් වේ.

1914 දී ‘දිනමිණ’ එහි අයිතිකරුගෙන් මිලට ගෙන වසර කීපයක දී එය රට පුරා ව්‍යාප්ත කරමින් දහස් සංඛ්‍යාත පාඨක පිරිසක් කියවන පුවත්පතක් බවට පත් කළේ ය. ‘සීලනීස්’ නම් ඉංගී‍්‍රසි භාෂාවෙන් මුද්‍රණය වූ පුවත්පත 1918 දී මිලට ගෙන එය ‘ඩේලිනිව්ස්’ නමින් පළ කරන්නට විය. යුරෝපීයයන් සතුව පැවැති ඔබ්සවර් පත්‍රය ද 1923 දී ඒ මහතා මිලට ගත්තේ ය. එතෙක් එතුමන්ගේ පුවත්පත නොකිය වූ එකම ජන කොටස වූ දෙමළ කියවන පාඨකයා වෙනුවෙන් ද දිනපතා පුවත්පතක් ලෙස ‘තිනකරන්’ ද්‍රවිඩ භාෂාවෙන් මුද්‍රණය ආරම්භ කළේ ය. අද මෙන් එදා නව තාක්ෂණය දියුණුව නොපැවති යුගයක පුවත් පිපාසයෙන් පසු වූ මෙරට සියලු ජන කොටස් හි නැණ පහන් දල්වමින් පුවත් පිසාසය සංසිඳවීමට ගත්තේ අපමණ උත්සාහයකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ප්‍රබල සහායක් මෙන්ම සුවිසල් අනුබලයක් ද සැපයූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ එම සේවයට කෘතෝපහාර ලෙස ඩී.ආර්. විජයවර්ධන ශාලාව නම් කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවිදි ශිෂ්‍යයන්ගේ පහසුව සඳහා සංඝාරාමයක් ඉදි කරවීමට අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ ය. ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පින්කම් අවස්ථාවේ දී සෑම වසරක දී ම ඩී.ආර්. විජයවර්ධන නාමය සිහිපත් කෙරේ.

ඩී.ආර්. විජයවර්ධන ශි‍්‍රමතාණන් ස්වකීය ධනයෙන් කොටසක් ආගම දහම වෙනුවෙන් වැය කළේ ය. බම්බලපිටිය වජිරාරාමයට භූමි භාගයක් ද පූජා කර ඇති අතර, කොළඹ ගංගාරාමයේ ද ප්‍රමුඛ පෙළෙහි දායකත්වයදැරූහ.

ඩී.ආර්. විජයවර්ධන ශි‍්‍රමතාණන් ආරම්භ කළ පත්තර මහ ගෙදරින් සිංහල, දෙමළ , ඉංගී‍්‍රසි යන භාෂාත්‍රයෙන් දිනපතා මෙන් ම සති අග පුවත්පත් නිකුත් වීම පමණක් නොව ‘බුදුසරණ’, ‘සුබසෙත’, ‘මිහිර’, ‘තරුණි’ සරසවිය'ආදී විවිධ වයස් මට්ටම් සහ සෑම ක්ෂේත්‍රයක ම අදාළ පුවත්පත් බිහි වූයේ ද එහි මෙහෙවර පුළුල් ව ව්‍යාප්ත වෙමිනි.

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරු පින්කම මෙම මස 23 වනදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා ප්‍රධාන නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන මහතා, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා, මුදල් අධ්‍යක්ෂ නීතිඥ ජානක රණතුංග මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීමෙන් හා පූර්ණ අනුග්‍රහයෙන් ද මෙම මස 20 වනදා ලේක්හවුස් මන්දිරයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදා (21) දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය, සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරියේ සහ සියලු සේවක සේවිකාවන්ගේ ද දායකත්වයෙන් එම පින්කම සිදු කෙරේ. පින්කම් මාලාව ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද මෙහෙයවීමෙන් සංවිධානය කර ඇත.

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]