[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිවියාගහ යසස්සි නාහිමි 85 වන ජන්ම දිනයට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ඇතුළු වැඩසටහන් රැසක්

දිවියාගහ යසස්සි නාහිමි 85 වන ජන්ම දිනයට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ඇතුළු වැඩසටහන් රැසක්

ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනාධිපති, මාතර දීයගහ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය සහ මාතර පොල්හේන පුරාණ මහා විහාරස්ථානයෙහි සම්මාන විහාරාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අසූ පස්වන ජන්ම දිනය නිමිත්තෙන් ආර්ථික අපහසුතා ඇති දක්ෂ දරුවන් අසූ පස් දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු වැඩසටහන් රාශියක් සිදුකිරීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන 2015 දී ආරම්භ කළ එම වැඩසටහන මෙවර සිදුකරනු ලබන්නේ අඛණ්ඩව පස්වන වරට ය. මෙවර ද බුදුසරණ පුවත්පතෙහි අනුග්‍රහයෙන් තෝරාගත් සෑම දිස්ත්‍රික්කයක ම පාසල් හා උසස් අධ්‍යාපනය ලබන දක්ෂ, දිළිඳු දරුවන් වෙනුවෙන් මසකට රු. 2500/- බැගින් උසස් අධ්‍යාපනය නිමවන තෙක් මෙම ශිෂ්‍යත්වය ලබා දෙයි. මේ වන විට සිසු දරුවන් 156 ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමට රු. පනස් හය ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති අතර, මෙවරත් පරිත්‍යාගශීලී පින්වතුන්ගේ අනුග්‍රහයෙන් තවත් දරුවන් 85 දෙනෙකු සඳහා මසකට රු. දෙලක්ෂ දොළොස් දහස් පන්සියයක මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන බව විහාරස්ථ දායක සභාවේ සහ ශිෂ්‍යත්ව කමිටුවේ ලේකම් ශාස්ත්‍රපති පුෂ්පකුමාර කුලතුංග මහතා සඳහන් කරයි.

යසස්සි නාහිමියන්ගේ ජන්ම දිනය නිමිති කොට සිදුකරන වැඩසටහන් අතුරෙන් එම ශිෂ්‍යත්ව ප්‍රදානය 2019 දෙසැම්බර් 29 වන දින පෙරවරු 9.00 ට ගල්කිස්ස බෞද්ධායතනයේ දී පැවැත්වේ. එම උත්සවයේ මුලසුන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ උසුලති. ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය යුනිල් පෙරේරා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වීමට නියමිත ය. එම වැඩසටහනට අමතරව 2020 ජනවාරි 02 වන දින රාත්‍රී 07.00 ට මාතර දීයගහ ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරාධිපති, ගාලු මාතර හම්බන්තර තෙදිසාවේ ප්‍රධාන සංඝ නායක, මාතර කඩවත්සතර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, විශ්‍රාමලත් පරිවේණාධිපති බද්දේගම කුසල නාහිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව මගින් ඉදිකරන ලද දානශාලාව සහිත තෙමහල් මන්දිරය විවෘත කොට විශේෂ ගිලන්පස පූජාවක් සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමටත්, ජනවාරි 03 වන දින දවල් ශතාධික සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇත. 2020 ජනවාරි 04 වන දින ගල්කිස්ස බෞද්ධායතනයේ දී පන්නිපිටිය දෙපානම ශ්‍රී දෙව්රම් මහා විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන ආශිර්වාද ගිලන්පස පූජාවක් ද වේ.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]