[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවසක අභිමන්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සියවසක අභිමන්

විජාතිකයන්ගෙන් මව්බිම ත්, සම්බුද්ධ ශාසනය ත් බේරාගෙන අනාගත පරපුරට නිර්මල බුදු දහම සුරක්ෂිත කරලීමේ වගකීම එවකට සිටි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට ම පැවරිණි. එකී අභිමානවත් බෞද්ධ දේශය සුරැකීමේ මහඟු කර්තව්‍යයට අත් පොත් තබමින් 1919 වර්ෂයේ උඳුවප් මස ආචාර්ය සී. ඒ. හේවාවිතාරණ මහතාගේ මූලිකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කෙරිණි.

1945 දී ත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා සභාපතිත්වය දෑරු කාල පරිච්ජේදය තුළ ත්‍රිපිටකය පාලි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම සඳහා වන “ත්‍රිපිටක භාරය” සංස්ථාපනය කරන ලද අතර 1945 පෙබරවාරි මස 04 වන දින එනම් ජාතික නිදහස් දිනයේ දී එහි පළමු කොටස වන “දීඝ නිකාය” පරිවර්ථනය කර ප්‍රකාශයට පත් කරන ලදී.

1945 ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භය

බොදු සමුළුවේ සමාජ සේවා ආයතන පිහිටුවීම ආරම්භ වන්නේ 1945 දී ය. ප්‍රථම ළමා නිවාසය වන්නේ බියගම පිහිටි විහාරමහාදේවී ළමා සංවර්ධන මධ්‍යස්ථානය යි. ගැහැනු ලමුන් 20ක් පමණ සුළු පිරිසකගෙන් ඇරඹුණ අතර මේ වන විට ළමා නිවාස 17 ක් පමණ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පරිපාලනයට යටත්ව ප්‍රදේශ කිහිපයක ම පවත්වාගෙන යනු ලබයි. මෙතෙක් 15,000කට වැඩි දූ දරු පිරිසක් නැණ ගූණ බෙලෙන් පිරිපුන් ව සමාජ ගත කර තිබීම බොදු සමුළුවේ සමාජ මෙහෙවරකි.

ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස සහ භික්ෂු විවේකාශ්‍රම

දරුවන්ගේ සෙනෙහස නොලබන වැඩිහිටියන්ගේ රැකවරණය සඳහා 1956 දී ප්‍රථම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය රත්ගම දී ආරම්භ කරන ලදී. මේ වන විට එවන් මධ්‍යස්ථාන 07ක් පමණ රට පුරා පිහිටුවා ඇත. මීට අමතරව විහාරස්ථානයක් නිත්‍ය වශයෙන් නොමැති වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ උදෙසා භික්ෂු විවේකාරාම දෙකක් පලාතොට සහ බද්දේගම පිහිටුවා ඇත.

1950 ලෝක බෞද්ධ සම්මේලනය පිහිටුවීම


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ලද විශාලතම ජයග්‍රහණයන්ගෙන් එකක් වන්නේ 1950 වර්ෂයේ මැයි මස රටවල් 29ක විදේශීය නියෝජිතයන් 129 දෙනෙකු ඉදිරියේ ලෝක බෞද්ධ සම්මේලනය පිහිටුවීම යි. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා එහි ප්‍රථම සභාපතිවරයා වු අතර 1950 - 1958 දක්වා ලෝක බෞද්ධ සම්මේලනයේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටුවා තිබුණි.

1958 බෞද්ධාලෝක සඟරාව නිකුත් කිරීම

බොදු සමුළුවේ නිල මාධ්‍ය ප්‍රකාශනය වන්නේ බෞද්ධාලෝක සඟරාව යි. එයට 1958 දි සංස්කෘතික අමාත්‍යාංශයේ පොතපත මුද්‍රණය සඳහා අනුග්‍රහය ලබා දුණි. 1964න් පසු එය මුද්‍රණය නැවතුණ ද , 2003 වසරේ සභාපතිත්වයට පත් ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ මැදිහත් වීම නිසා බෞද්ධාලෝක සඟරාවට නව මුහුණුවරක් ඇති විය. 2018 වසරේදී එම සඟරාවට 60 වසරක් සම්පූර්ණ විය.

1954 බෞද්ධ තොරතුරු සහ විමසීම් කවුන්සිලය පිහිටුවීම

1954 අප්‍රේල් මස 02 වන දින බෞද්ධ තොරතුරු සහ විමසීම් කවුන්සිලය පිහිටුවීම සහ තවත් කමිටු සහ කොමිෂන් සභා පිහිටුවීම. එහි අරමුණ වුයේ ශ්‍රි ලංකාද්වීපයේ එවකට පැවති තත්වය පිළිබඳ තොරතුරු පරික්ෂා කොට ලක්දිව බෞද්ධයන් හට බෞද්ධාගමික පරිසරයක් යටතේ ධර්මානුකූලව සකලාංග සම්පූර්ණ ජීවිතයක් ගත කළ හැකි වීමට කවර දේ අවශ්‍ය ද? ඒ අවශ්‍යතාවයන් කෙසේ සම්පූර්ණ කළ යුතු ද? යන්න වාර්තාවක් සැපයිමයි.

1972 ලෝක බෞද්ධ තරුණ සම්මේලනය පිහිටුවීම

1972 වර්ෂයේ කොළඹ දී පැවති ලෝක බෞද්ධ සම්මේලනයේ 10 වන සමුළුවේ දී ලෝක බෞද්ධ තරුණ සම්මේලනය ආරම්භ කරන ලදී. ලෝක බෞද්ධ තරුණ සම්මේලනයේ උපසභාපතිනි තනතුර උසුලන ලද පුථුලා මායාකඩුව මහත්මිය විසින් “ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ උරුමය විදහාපෑම ” යන තේමාව යටතේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර බෞද්ධ තරුණ හුවමාරු වැඩසටහන 2016 අගෝස්තු මස 15 සිට 20 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුග්‍රාහකත්වය යටතේ පවත්වන්නට යෙදුණි. වර්තමානය වන විට ලෝක බෞද්ධ තරුණ සම්මේලනයේ සමාජිකත්වය රටවල් 18ක මධ්‍යස්ථාන 38ක් දක්වා ව්‍යාප්ත වී තිබේ. මේ වන විට ලෝක බෞද්ධ තරුණ සම්මේලනය යනු ලොව පුරා තරුණ බෞද්ධ සංවිධාන ජාලය වන අතර තරුණයන් අතර බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය සහ බුද්ධ ධර්මය බෙදා හැරීම අරමුණු කර ගත් සංවිධානය කි.

2002 බෞද්ධාලෝක වෙසක් කලාපයේ සමාරම්භය.

2002 දී ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය සභාපතිත්වය දෑරු කාලයේ දී “බෞද්ධාලෝක වෙසක් කලාපය” ශ්‍රි ලංකාවේ ප්‍රථම වෙසක් කලාපය මෙන්ම වෙසක් උත්සවයට පිබිදීමක් ඇති කරන අතර එය කොළඹ විදීවල අන්ධකාරය මඟ හරිනු ලබයි. 2002 සිට “බෞද්ධාලෝක වෙසක් කලාපය ” සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ඉතා සාර්ථක උත්සවයක් ලෙස අඛණ්ඩ ව පවත්වයි.

2003 සදහම් යාත්‍රා දඹදිව බෞද්ධ වන්දනා සිදු කිරීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ඉන්දීය වන්දනා ගමන් සඳහා මඟ පෙන්වීමේ වැඩසටහනක් 2003 දී ආරම්භ කරන ලදී.

2004 බෞද්ධ පුනරුදය (පුනරුද ක්‍රියාවලිය) ව්‍යාපෘතිය

බෞද්ධ පුනරුදය ව්‍යාපෘතිය ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය විසින් ආරම්භ කරන ලද්දකි. එය දේශප්‍රේමී විද්වතුන් විසින් අරඹන ලද දිර්ඝ සහ දැඩි සාකච්ජාවක ප්‍රතිඵලයක් වන අතර එය ජාතික ආගමික සහ ආර්ථික පුනර්ජිවන වැඩසටහන කි. එහි හරය සහ ක්‍රියාව සියලු බෞද්ධයන් විසින් අනුගමනය කර තේරුම් ගත යුතු ය. ව්‍යාපෘතියේ දළ සැළැස්ම 2004 වර්ෂයේ ඔක්තෝබර් මස ජනතාවට එළි දරව් කරන ලදී. මෙම වැඩසටහන යටතේ “ගමයි පන්සලයි” වැඩසටහන ස්ථාපනය කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සමත් විය.

2004 දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනය වෙනුවෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘති

2004 සුනාමි ව්‍යසනය ශ්‍රි ලංකාවට බලපෑ විශාලතම ස්වභාවික විපත යි. සුනාමියෙන් රට පුරා පන්සල් 76ක් පමණ විනාශ වී ඇති අතර විවිධ පරිත්‍යාග කරමින් තෝරාගත් විහාරස්ථාන 20ක් ප්‍රතිසංස්කරණය කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මුලිකත්වය ගන්නා ලදී. තව ද එමගින් පීඩනයට පත් සහෝදර ජනතාව උදෙසා වියළි ආහාර, ඇඳුම් පැළඳුම් ලබා දීමෙන් දැවැන්ත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඔවුන්ට සහනයක් ලබා දීම ද හිටපු සභාපතිනි මිලිනා සුමතිපාල මැතිණියගේ මැදිහත්විමෙන් සිදු විය.

2006 කාන්තා අභිවෘද්ධි සංසදය පිහිටුවීම

ග්‍රාමීය කාන්තාවන්ගේ ජිවිත නගා සිටුවීම සහ ශ්‍රි ලංකාවේ ග්‍රාමිය කාන්තාවන් තුළ බුද්ධ ධර්මය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම උදෙසා ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ සහභාගිත්වයෙන් 2006 වසරේ මෙම සංසදය පිහිටුවන ලදී. මෙම සංසදය විසින් විවාහ සඳහා මුල්‍යමය ආධාර ලබා දීම සහ අවශ්‍යතා සහිත පවුල් සඳහා නිවාස ලබාදීම සිදු කරනු ලබයි.

2009 සදාචාර විරෝධී ක්‍රියාවන් විමර්ෂණය කිරීම පිළිබඳ කොමිසමක් පිහිටුවීම වත්මන් සභාපති ජගත් සුමතිපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සදාචාර විරෝධි ලෙස සහ විවිධ උපක්‍රම මඟින් බෞද්ධයන් අන්‍යආගමිකරණය කිරීම පිළිබඳ විමර්ෂණය කිරීම සඳහා කොමිසමක් පත් කරන ලද අතර කොමිසම විසින් මෙම සදාචාර විරෝධි අන්‍යාගමිකරණය පාලනය කිරීම සඳහා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ විය. එමෙන්ම 2009 ජනවාරි මස කොමිසන් සභා වාර්තාව නිකුත් කරන ලදී.

2007 පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම

බෞද්ධ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනිමටත්, වත්මන් සහ අනාගත පරම්පරාවන් විසින් උගත යුතු එකී තේජාන්විත ඉතිහාසය අනාගත පරපුර වෙත භාර කිරිමටත්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව 2007 දී පාඨමාලා සහ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී. පසුව ශ්‍රි ලංකාවේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරිමේ අරමුණින් යුතුව කමිටුවක් ද, පිහිටුවන ලදී. බෞද්ධ උරුමයන්, සම්ප්‍රදායන් , භාවිතාවන් සහ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ද කටයුතු කරමින් ඇත. විශේෂයෙන්ම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වන සංවත්සරයට සමගාමී ව අනුරාධපුර විජයාරාම පුරාණ රජ මහා විහාරය ආශ්‍රිතව 2014 දී පුරාවිද්‍යා ගවේෂණ ස්ථානයක් ද ආරම්භ කරන ලදී.

2007 බෞද්ධ සාහිත්‍ය උළෙල ආරම්භ කිරීම

මෑත කාලයේ දි වත්මන් සභාපති ජගත් සුමතිපාල මැතිදුන්ගේ මැදිහත් විමෙන් ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට බෞද්ධ සම්මේලනය මඟින් බෞද්ධ සාහිත්‍ය උත්සවයක් ආරම්භ කරන ලදී. ඒ අනුව 2007 වර්ෂයේ සිට සෑම වර්ෂයක ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් උත්කර්ෂවත් සාහිත්‍ය උළෙලක් සංවිධානය කරනු ලබයි.

1976 වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීම

1976 වර්ෂයේ ජනවාරි 08 වන දින කළුතර ආනන්ද සමරසිංහ ළමා නිවාසය සහ වෘත්තිය පුහුණු ආයතනය පිහිටුවීම මගින් දැයේ දරුවන් සඳහා වෘත්තිය පුහුණු සඳහා දොර විවර කෙරිණි. ඉන් අනතුරුව 2013 වර්ෂයේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ මඟ පෙන්වීම යටතේ අවුරුදු 18ට ඉහළ සිසුන් සඳහා පළමු නේවාසික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, පානදුර වලාන විජේවර්ධන බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදී.

බෞද්ධ ව්‍යාපාරික සංසදය පිහිටුවීම

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ සමාරම්භයක් ලෙස 2010 දී ලෝක බෞද්ධ සාමුහිකයේ 60 වන සංවත්සරය හා 25 වන මහා සමුළුවට සමගාමී ව ලෝක බෞද්ධ සාමුහිකයේ ප්‍රථම සම්මේලනය පවත්වන ලදී. එමෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විදේශ කටයුතු පිළිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද “ව්‍යාපාරයන්හි බෞද්ධ නායකත්ව පුහුණු ” යන මැයෙන් පවත්වන ලද 2018 බෞද්ධ ව්‍යාපාරික සම්මේලනය 2018 වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේ දි පවත්වන්නට යෙදුනි.

2018 බෞද්ධ හිමිකම් කොමිසම් සභාව පිහිටුවීම

බෞද්ධ රාජ්‍ය පාලනය, අධ්‍යාපනය, ආර්ථිකය, වෛද්‍ය විද්‍යාව සහ සෞඛ්‍යය, නීතිය හා පරිපාලනය , සංස්කෘතිය භාෂාව සහ සාහිත්‍ය යන කරුණු සඳහා බෞද්ධ අයිතිවාසිකම් කොමිසම 2018 දී පොසොන් පොහෝ දිනයේ දි පිහිටුවන ලදී.

2019 සාමග්ගි සංඝ සම්මේලනය පිහිටුවීම

ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කවුන්සිලයක් 2019 පිහිටුවන ලදී. එමෙන්ම ජාතික ප්‍රශ්න සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩ වසන සියලු ම භික්ෂුන් වහන්සේලා එක් ස්ථානයකට කැඳවා ගැනීම සඳහා සාමග්ගි සංඝ සභාවක් පිහිටුවීමට ද බෞද්ධ සම්මේලනය සැලසුම් කරමින් සිටී.

බෞද්ධ මහා සම්මේලනය මගින් එදා මෙදා තුර සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදු කොට ඇති සේවාවන් අතිමහත් ය. ඕනෑම ආයතනයක කොඳු නාරටිය වන්නේ එම ආයතනයේ මුලසුන දරන්නා ය. කොඳු නාරටිය සවිමත් වූ ආයනයකට දීර්ඝකාලීන ව පැවතිය හැකි වන්නා සේ ම, එම ආයතනයෙහි අඛණ්ඩ දියුණුව විෂයෙහි ද එය ම හේතු පාදක වේ. බෞද්ධ මහා සම්මේලනයෙහි සාර්ථකත්වය උදෙසා ද මනා දැක්මක් ඇති යුග පුරුෂයින් බොහෝ දෙනෙකුගේ සහයෝගය නිබඳව ලැබී ඇති බව සම්මේලනයේ අභිමානවත් ඉතිහාසය විමසීමේ දී පැහැදිලි වේ. එයින් මහාචාර්ය ජී.පී. මලලසේකර මහතාගේ සභාපති ධුර කාලය බොදු සමුළුවේ ස්වර්ණමය යුගය වන්නා සේ ම මෑත කාලීන යුගය ද එවන් ස්වර්ණමය යුගයක් කරා පරිවර්තනය වෙමින් පවතින බව බොදු සමුලුවේ සිදු වන බොදු සමාජ මෙහෙවර අධ්‍යයනය කිරිමේ දී සනාථ වේ. දෙදහස් හයසියයක් පැරැණි ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීම උදෙසා නිරන්තරයෙන් ඇප කැප වෙන බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් නියමුවන් වන ජගත් සුමතිපාල මහතා ප්‍රමුඛ කාර්යය මණ්ඩලයට ඉදිරියටත් සම්බුද්ධ ශාසනය රැක ගනිමින් ලෝකවාසී ජනතාවගේ සුබසිද්ධිය සැලසීමේ සියලු කාර්යයන් සර්වප්‍රකාරයෙන් ම සඵල කර ගැනීම ට හැකියාව ලැබේවා.

මෙම ලිපියෙහි පළමු කොටස උඳුවප් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළ විය

****

ශාසන සනාථන ශතකාභිමානය තේමා පාඨය කරගනිමින් පැවැත්වෙන එම මහා උත්සවය දෙසැම්බර් 21 වෙනි දින පෙරවරු 9.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ශවත් ලෙස පැවැත්වේ.

තෛ‍්‍රනිකායික මහා නා හිමිපාණන් වහන්සේලා ද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද ඇතුළුව දේශීය විදේශීය සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ.

මෙදින සියවස් සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සමරු මුද්දරයක් නිකුත් කිරිමට ද නියමිත ය.

බොදු සමුළුවේ වසර 40 කට අධික සාමාජිකත්වයක් හිමි, තිස් වසරක යුද්ධය නිමා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ප්‍රණාම සම්මානයක් ද, බොදු සමුළුව වෙනුවෙන් ශාසන උන්නතිය උදෙසා මහා මෙහෙවරක් කළ සාමාජික සාමාජිකා කිහිප දෙනෙකුටත් බොදු සමුළුව හා සම්බන්ධ සංවිධාන සම්මාන ඇගයීම් ප්‍රදානයන් සිදු කෙරෙනු ඇත.

තවද බොදු සමුළු ප්‍රථම කාන්තා සභාපතිනි මිලිනා සුමතිපාල මැතිනියටත් , සම්මේලනයට වැඩිම දේපළක් පරිත්‍යාග කළ ඩී. චන්ද්‍රසේකර මහතාටත් හිටපු කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ මහතාටත් බොදු සමුළුවේ හිටපු සභාපති ප්‍රණීත් අභයසුන්දර මහතාටත් අයථා අන්‍යාගම්කරණ කොමිෂන් සභාවේ ලේකම් ලෙසින් මෙහෙවරක් කළ මේජර් ජෙනරාල් ජාලිය නම්මුනි මහතාටත් සම්මානයන් ප්‍රදානය කිරීමට නියමිත ය.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]