[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු ඇසින් දකින කාල කළමනාකරණය 2020 ට

බොදු ඇසින් දකින කාල කළමනාකරණය 2020 ට

පසළොස්වක පෝදා පත්‍රයේ පළ වුයේ මෙම ලිපියෙහි පළමු කොටසය.

මේ පෙළහර දකින උදවිය භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස හැසිරෙන බව දැන ගෙන ආහාර පාන සකසා ගෙන අවුත් පිණ්ඩපාතය පිළිගන්වනවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය ලබා දායක දායිකාවන්ට දම් දෙසනවා. පෙර පින් පුරා ඇති අය මාර්ගඵලයන්ට ත් පත් වෙනවා. අනතුරුව ගසක් මුලට වී හෝ විහාරයට වැඩ දන් වළඳනවා.

පසුව විහාරයෙහි භික්ෂුන් එක්රැස්වන ස්ථානයෙහි වැඩ සිටිනවා. මේ වනවිට පිඬු පිණිස වැඩම කළ සෙසු භික්ෂූන් ආපසු වඩිනවා. සෙසු භික්ෂූන් ද බත් කිස නිම වූ පසුව උපස්ථායක භික්ෂුව බුදුරදුන්ට ඒ බව දන්වනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගඳකිළියට වැඩම කරනවා. මෙසේ පෙරබත් කිස අවසන් වෙනවා.

දැන් හිරු අවරට හැරෙන කාලය එළඹෙනවා. පසුබත්කිස ඇරඹෙනවා. මේ වේලාවේ උන්වහන්සේ ගන්ධකුටියට වැඩමවනවා. උපස්ථායක භික්ෂුව විසින් පනවන ලද අසුනෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා උන්වහන්සේලාට අවවාද අනුශාසනා ලබා දෙනවා. උන්වහන්සේ මේ අවස්ථාවෙහි බුදුවරයන්ගේ පහළ වීම, මිනිසත් බවක් ලැබීම, ක්ෂණ සම්පත්තිය, පැවිද්ද හා සද්ධර්මය යන මේ කරුණු එසේ දුර්ලභ බව පෙන්වා දී නො පමාව ඒ දුර්ලභ අවස්ථාවන් මගහැරෙන්නට ඉඩ නො දී ප්‍රයෝජන ගැනීමේ වටිනාකම පහදා දෙනවා. එමෙන් ම මේ අවස්ථාවෙහි දී කමටහන් ලබා ගැනීමට පැමිණෙන භික්ෂූන්ට කමටහන් ලබා දෙනවා. එම භික්ෂූන් වහන්සේලා බවුන් වැඩිම පිණිස පිටත් වෙනවා.

සමහර විට මෙයින් අනතුරුව බුදුරජාණන් වහන්සේ මද වේලාවක් දකුණැලයෙන් සිංහ සෙය්‍යාවෙන් සැතපී ලොව දෙස බලා වදාරණවා. පෙරබත්කිස අවස්ථාවෙහි දන් දුන් දායක ආදි පිරිස් මේ පසුබත් කිස තරමක් ඉදිරියට ගෙවෙද්දී විහාරයට එනවා. බුදුරදුන් වන්දනා කිරිමට හෝ බණක් ඇසීමට යි ඒ එන්නේ. ඒ වෙලාවෙහි පැමිණි පිරිස දම්සභාවට රැස් වූ පසු එහි වැඩ අසුන් අරා වැඩ සිට දම් දෙසනවා. දම් දෙසා අවසන් වී කමටහන් ආදියත් ලබා දුන් පසු එළඹෙන්නේ අඳුරු වැටී ගෙන එන කාලය යි. මෙසේ පසුබත් කිසත් ගෙවෙනවා.

මේ සවස් කාලයෙහි කැමැත්තක් ඇති වුවහොත් උපස්ථායක විසින් සූදානම් කෙරුණු දියෙන් බුදුසිරුර නහවා ගන්නවා. මේ වෙලාවෙහි උපස්ථායක භික්ෂුව ගන්ධකුටියෙහි ආලින්දයෙහි අසුන් පැන වූ විට සිරුර නහවා ගත් බුදු රජාණන් වහන්සේ එහි මඳක් හුදකලාව වැඩ සිට විවේක ගන්නවා. ඉතා සුළු වෙලාවකින් සෙසු භික්ෂූන් වහන්සේ කඩින් කඩ හෝ එතැනට වැඩමවා ප්‍රශ්න ගැටලු විසඳා ගන්නවා. කමටහන් ලබනවා. මෙයට කියන්නේ පෙරයම් කිස කියල යි.

ඉන් අනතුරුව එළඹෙන්නේ මැදියම් කිස යි. මෙය මධ්‍යම රාත්‍රි කාලය යි. සාමාන්‍යයෙන් රාත්‍රි 10 සිට 12 දක්වා පමණ වන කාලය යි කියා සිතීමට හැකියාව තිබෙනවා. ඒ මැදියම් කිස යි. මේ අවස්ථාවෙහි දස දහසක් ලෝකධාතුවෙහි වසන දෙවි වරු උන්වහන්සේ හමුවට පැමිණ ප්‍රශ්න අසා විසඳා ගන්නවා. දහම් ගැටලු නිරාකරණය කර ගන්නවා. බණ අසනවා. දහම් දෙසීම ත් සිදු වෙනවා. දෙවියන් පැමිණ දහම් ගැටලු විසඳා ගන්නේ මේ කාලය තුළ යි.

මෙයින් පසුව එන්නේ පැසුළුයම් කිස යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රාත්‍රි 12 සිට අලුයම් 3.30 පමණ දක්වා කාලය විය හැකියි. මේ කාලසීමාව කොටස් වශයෙන් තුනකට වෙන්කර කාලය සැලසුම් කර තිබෙනවා. ඉතින් මෙහි පළමුවන කොටසෙහි දී උන්වහන්සේ සක්මනෙහි යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සක්මනින් පහසුවක් ලබනවා ඇති කියා සිතන්නට පුළුවනි. ඒ මක්නිසා ද කියනවා නම් උන්වහන්සේ මේ වනවිට දවසේ සැලකිය යුතු කාලයක් වැඩ හිඳීන ඉරියව්වෙන් සිට කමටහන් දීම, දහම් දෙසීම වැනි කරුණින් වෙහෙසට පත් ව සිටින නිසා මෙම සක්මන කිසියම් පහසුවක් ඇති කරන ඉරියව්වක් වුවාට සැක නැහැ.

මේ පැසුළුයම් කිසෙහි දෙවන කොටස උන්වහන්සේ යොදා ගෙන තිබුණේ මදක් වේලා දකුණැලයෙන් සිංහ සෙය්‍යාවෙන් සැතපී කයට තරමක් විවේකයක් ලැබිමට යි. සාමාන්‍යයෙන් මේ කාලය පැය වශයෙන් තුනකට පමණ සීමා වූ බවක් පෙනෙනවා. අවසාන කොටස යොදා ගැනුණේ පෙර බුදුවරයන්ගේ කාලවල විවිධ පින්කම් කර පිළිවෙත්සරුව සිට මේ වනවිට බුදුකරුණාව හිමිවය යුතු ව වාසය කරන පිරිස් පිළිබඳ මහා කරුණාවෙන් විමසා බලා, අවශ්‍ය අය හඳුනා ගෙන, එවැනි අයට පිහිට වීමට එදවස තුළ අදිටන් කර ගැනිම යි.

මේ කාලසීමාවෙන් පසු නැවතත් එළඹෙන්නේ දෙවන දවසට අදාළ පෙරබත් කිස යි. ඉතින් මේ ආකාරයෙන් බලනවිට බුදුරජාණන් වහන්සේ පැය විසිහතරෙන් පැය දෙකක් හෝ තුනක් වැනි අව ම කාලයක් තමන් වහන්සේගේ කය සැතැප්පවීම පිණිස යොදා ගෙන ඇත්තේ උන්වහන්සේ සතු ව මහා අසමසම කරුණා ගුණ සපිරි සිත නිසා ය. එමෙන් ම උන්වහන්සේ සතු සර්වඥතාව නමැති මහා සම්පතෙන් විපුල ඵල නෙළා ගන්නා අයෙකු වශයෙන් ඒ සම්පත් දායකත්වය ලොව වසන වැඩි පිරිසකට අනුකම්පාවෙන් බෙදා හැරීමට යි. මේ සඳහා යොදා ගත් කළමනාකරණයේ දී වඩාත් වැදගත්ම සාධකය වන කාලය නමැති සාධකය දවස නමැති ඉතා කුඩා ඒකකය විධිමත් ව සැලසුම් කර උන්වහන්සේ ජීවමාන වූ වසර 45 කට සීමා වූ සමස්ත බුද්ධජීිවන කාලය ම සිමිත සම්පතක් වූ නිසා එය සැලසුම් කර එයින් උපරිම ඵල නොළා ගැනිම පිණිස ක්‍රියා කර ඇති බව පෙන්වා දිය හැකි වෙනවා.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]