[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සසුන් කෙත එකලු කළ මහා යතිවරයාණෝ දොඩම්පහල චන්දසිරි මහා නා හිමි

සම්බුදු සසුන් කෙත එකලු කළ මහා යතිවරයාණෝ දොඩම්පහල චන්දසිරි මහා නා හිමි

1982 දී ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ කාරක සභාවට පත් වූ අතර, එතැන් පටන් නිකායේ විවිධ තනතුරුවලට පත්ව 1989 දී අනුනායක පදවියටත් 1996 දී කාරක සභාවේ ඒකච්ඡන්දයෙන් මහානායක පදවියටත් පත් වුණා.

තුරුලිය ගොමුව නෙතට රසඳුන කි. තුරු වියනක් මෙන් සුසැදි ඒ සොබාසිරියෙන් පිරි දසුන නෙත් දැහැන් ගත කරයි. කොළඹ නගරයෙන් තරමක් ඈතින් පිහිටි එබඳු පින්කෙතක් බවුන් වඩන යෝගාවචරයන් වහන්සේගේ සිත දැහැන් ගත කරවීමට සමත් වෙයි. දුටුවන් නෙත් සිත් පහන් කරවන ඒ පින්බිම රාජගිරිය කළපළුවාව ගෝතම තපෝවනය නම් වේ.

පසුගියදාක අප එහි යන විට ගෝතම තපෝවනයෙහි හා ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති, ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහානායක ශ්‍රී කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය දොඩම්පහල චන්දසිරි මහා නාහිමියන් සිය කුටියේ දහම් පොතක් පිළිබඳ අවධානයෙන් පසු වූ මොහොතක් විය.

තපෝවනයේ දමිත හිමියන් විසින් මහා නා හිමිපාණන් වහන්සේ වෙත අප යොමු කළ විට දෙපා නැමද අවසර ගෙන හිඳ ගත්හ.

තරමක තොරතුරු කතාබහෙන් පසු උන්වහන්සේගේ ජීවන මග ගැන කෙටි පිළිසඳරක යෙදිණි. මහානායක හාමුදුරුවන්ගේ අසූ වසරක දිවි මග ගැන..............

දකුණු පළාතේ මාතර දොඩම්පහල ග්‍රාමයේ විසු එදිරිවීර පටබැඳිගේ සරණේලිස් සිල්වා සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා මාතාව ස්වකීය මව්පිය දෙපළ ය. 1939 දෙසැම්බර් 20 වන දා උපත ලද අතර සහෝදර සහෝදරියන් හය දෙනෙකු විය. පියාණන් ප්‍රදේශයේ ග්‍රාමීය වෛද්‍යවරයෙකු ලෙසත්, ඉඩකඩම් ආදියෙන් ලද සාමාන්‍ය ආදායමෙන් දිවි ගෙවීමටත් පුරුදු වී සිටියා.

පස්වන වියේ දී දොඩම්පහලවිදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූවා. එකල කුඩා වැල්ල වාලුකාරාමයේ වැඩ සිටි මාතර සද්ධාරාම නායක හාමුදුරුවන් අපේ නිවසට වරින්වර වැඩම කළා. මගේ අම්මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ මා පැවිදි කරන්න යි. ඒ අදහසට මාත් එකඟ වී සිටියා. එහෙත් මගේ වයස අවුරුදු අට ගෙවී යන විට අම්මා සදහට ම අපෙන් වියෝවුණා. පියා මෑණියන්ගේ අදහස ඉටු කරන්න කටයුතු කළා. ඒ අනුව මාතර සද්ධාරාම නායක හාමුදුරුවන් යටතේ පැවිද්දේ මුල පිරුවා. පන්සලේ නේවාසික වත් පිළිවෙත් ගැන හැදෑරුවා. වසරක පමණ කාලයක් මාතර ජය මහා විහාරස්ථ වීරබා පිරිවෙනින් අධ්‍යාපනය හදාරා පසුව 1950 වසරේ දී මාතර සද්ධාරාම නායක හාමුදුරවන්ගේ සහ ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක මාතර ශ්‍රී මේධානන්ද මහානායක හාමුදුරුවන්ගේ ආචාර්යත්වයෙන් කුඩාවැල්ල වාලුකාරාමයේ දී පැවිදි බිමට පත් වුණා.

වීරබා පිරිවෙනින් නැවත මූලික පැවිදි අධ්‍යාපනය ලැබුවා. පසුව ගාල්ල ගංගාරාමයේ හා මිලිද්දුව ශ්‍රී සුදර්ශනාරාමයේ නේවාසික වෙමින් ගාල්ලේ විද්‍යාලෝක මහ පිරිවෙනින් අකුරැටියේ අමරවංශ නායක හාමුදුරුවන් වහන්සේ සහ ගම්මැද්දෙගොඩ පුඤ්ඤසාර නායක හාමුදුරුවන් ආදී සම්භාවනීය මහ යතිවරයන් වහන්සේලා වෙතින් අධ්‍යාපනය ලැබුවා.

1962 දී මාතර නිල්වලා නදියේ පැවැති උපසම්පදා මහෝත්සවයේ දී උපසම්පදාවට පත්වුණා. ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර කුඩාවැල්ලේ වංගීස නායක හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි කොළඹ ජර්මන් ධර්මදූත මධ්‍යස්ථානයේ පළමු වස් කාලය ගත කළ අතර එහි පැවැති භාවනා පුහුණු වැඩසටහන්වලට නිතර යොමු වුණා. කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ දීත් භාවනා පුහුණුව ලැබුවා. කලපළුවාව ගෝතම තපෝවනයේ නිර්මාතෘ කුඩාවැල්ලේ වංගීස නාහිමියන් සමඟ එක්ව තපෝවනයේ බණ භාවනා කටයුතුවල නිරත වෙමින් උන්වහන්සේ සමඟ ශක්ති පමණින් ඒ සඳහා උත්සාහයෙන් කටයුතු කර වසර දෙක තුනක් තුළ තපෝවන ශාඛා කිහිපයක් පළාත් කීපයක ඇරැඹීමට උදව් කළා. ඒ අතර දෙමටගොඩ විසුද්ධාරාමයේ දෙවිනුවර ඤාණාවාස නායක හාමුදුරුවන් වෙතින් අභිධර්මය හැදෑරුවා. වංගීස නායක හාමුදුරුවන් සමඟ මිහින්තලේ කළු දිය පොකුණ තපෝවනය, 1966 දී කෑගල්ල අභය භූමි තපෝවනය, 1967 දී පදවිය තපෝවනය, 1968 දී මහනුවර උඩවත්තකැලේ ශ්‍රී දළදා තපෝවනය ආදිය ආරම්භ කළා. වසර දහතුනක් උඩවත්තකැලේ තපෝවනයේ නේවාසිකව සිටි අතර අනෙකුත් ශාඛා මධ්‍යස්ථානවල ද වසර එක දෙක බැගින් නේවාසිකව සිටියා.

මව්වරුන් වෙනුවෙන් මාතික මාතා තපෝ සෙවණත්, විවිධ හේතූන් මත අසරණ වන දරුවන් වෙනුවෙන් කුමාර කාශ්‍යප ළමා නිවාසයත් වංගීස නායක හාමුදුරුවන් සමඟ ආරම්භ කළා.

1982 දී කුඩාවැල්ලේ වංගීස නායක හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු වෙනත් වගකිවයුත්තෙක් නොමැති වූ හෙයින් එතැන් සිට එම කටයුතු සිදු කර ගෙන ආවා.

පැවිදි ශිෂ්‍යයන් බිහි කිරීමට පැවිදි සහෝදර මෙන්ම ගුරු දේවෝත්තම කුඩා වැල්ලේ වංගීස නායක හාමුදුරුවන් වහන්සේ ලබාදුන් සහාය අපමණ යි. උන්වහන්සේට උපහාර පිණිස 1986 දී ගෝතම තපෝවන භූමියෙහි ශ්‍රී වංගීස මූලික පිරිවෙන ආරම්භ කරන්නට හැකි වුණා.

1982 දී ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ කාරක සභාවට පත් වූ අතර, එතැන් පටන් නිකායේ විවිධ තනතුරුවලට පත්ව 1989 දී අනුනායක පදවියටත් 1996 දී කාරක සභාවේ ඒකච්ඡන්දයෙන් මහානායක පදවියටත් පත් වුණා.

කල්‍යාණිවංශ නිකාය වෙනම පැවතිය ද අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හාමුදුරුවෝ සහ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හාමුදුරුවන් සමග එකල සාකච්ඡා කර අමරපුර මහා සංඝ සභාවේ පාර්ශ්වයක් ලෙස කටයුතු කිරීමට හැකි වුණා.

සුනාමි විපත පැමිණි මොහොතේ ඇමරිකාවේ ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහි නිරත ශිෂ්‍ය හිමිනමක් වන තපෝවනයේ සුතධර හාමුදුරුවන්ගේ මාර්ගයෙන් විශාල මුදලක් මාතික මාතාසමිතිය මෙහෙයවීමෙන් කළ මෙහෙවර බොහෝ ය. විහාරස්ථාන හැටකට පමණ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ කට්ටල ලබාදීමට හැකිවුණා.

අසරණ අය වෙනුවෙන් කළ හැකි උපකාර මාතික මාතා සමිතිය මෙහෙයවීමෙන් කවදත් සිදු කළා.

ඉන්දියාව, නේපාලය, තායිලන්තය, බුරුමය, බංගලාදේශය, එංගලන්තය, ඇමරිකාව, කැනඩාව ආදී රටවලට ගොස් ශක්ති පමණින් ධර්මදූත මෙහෙවරෙහි නිරත වූණා. එක්දහස් පන්සියයකට අධික හාමුදුරුවරුන්ගේ උපාධ්‍යායන් වහන්සේ නමක් ලෙස කටයුතු කර තිබෙනවා.

පැවිදි ශිෂ්‍ය, සහෝදර හාමුදුරුවරු අතරේ තපෝවනයේ සුතධර, තපෝවනයේ මිතභාණි, තපෝවනයේ සතිමන්ත, නිවාත, පිරිවෙන්පති දමිත යන හාමුදුරුවන් වහන්සේලා ඇතුළු විශාල ශිෂ්‍ය පිරිසකගෙන් ලැබෙන සහාය හැමවිට අගය කරනවා. පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ, රාජගිරියේ අරියඤාණ හාමුදුරුවෝ ද සිහිපත් කළ යුතු යි.

මගේ මහණකමත් රැකගෙන කරගෙන ආ ශාසනික, සාමාජික මෙහෙවර ගැන බෙහෙවින් සතුටු වෙනවා. මාතික මාතා සමිතිය අපගේ උපදෙස් ලබා ගනිමින් සියලු ප්‍රත්‍ය සම්පාදනය කිරීමත් අගය කරනවා.

ශාඛා මධ්‍යස්ථාන ඒ ඒ ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලා විසින් පවත්වාගෙන යනවා. මා කිසියම් විශ්වවිද්‍යාලයකින් උපාධි නොලැබුවත් පොත පතෙහි දැනුම ලබා ගනිමින් කළ හැකි මෙහෙවර ඉටු කළා. මගේ ශිෂ්‍ය හාමුදුරවරු රාශියක් උපාධි සමත්ව දෙස් විදෙස් මෙහෙවරෙහි යෙදී සිටීම මහත් සතුටක්.

විවේක මනසෙන්, විවේක සුවයෙන් කාලය ගත කිරීමෙන් මහත් සතුටක් ලබනවා යැයි උන්වහන්සේ පැවසූහ.

2013 දී ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරයෙන් පිදුම්ලද දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ පැවිදි වූදා පටන් කවදත් දිනකට තෙවරක් බුද්ධ වන්දනාව සිදු කරමින් ආරාමික වත් පිළිවෙත් සිදු කිරීමත් දෛනිකව සිදු කරති.

ගිහි පැවිදි උභය සමාජයේ ම ගෞරව සම්භාවනාවට පත් දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේගේ අසූවන ජන්ම දිනය නිමිත්තෙන් කලපළුවාව ගෝතම තපෝවනයේ දී මෙම 20 වන දා පින්කම් මාලාවකි.

උන්වහන්සේට ශත වර්ෂාධික කාලයක් නිදුක් නිරෝගීව ලෝසසුන් වැඩ සලසන්නට ශක්තිය, ධෛර්ය ලැබේවා.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]