[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පතිරූප දේස වාසෝ ච

පතිරූප දේස වාසෝ ච

මිනිසා ඇසුරු කරන සුදන දුදන මිතුරු ආශ්‍රය හේතුවෙන් වෙනස් වන්නේ යම් සේ ද, වාසය කරනු ලබන ප්‍රදේශය හේතුකොටගෙන පුද්ගල චරිත වෙනස්වීමට භාජනය වේ.

වාසය කරන ප්‍රදේශයට ආවේණික සංස්කෘතිය, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර, ගති පැවතුම් ආදියට මිනිසා අනුගත වීම ස්වභාවික ය. බුදුරජාණන් වහන්සේ ඉපදීමට ප්‍රථම කාලය, දීපය, දේශය, කුලය, මව යන කාරණාවන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබුවේ බුද්ධත්වය ලබා ගැනීමට උචිත ප්‍රදේශයක් තිබිය යුතු හෙයිනි.

ලෝකයේ ඇත්තා වූ සියලු ප්‍රදේශයෝ ම වාසයට උචිත නොවෙති. මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් ගහණ වූ, ඔවුන්ගේ බලය පවත්නා වූ ප්‍රදේශයෝ වනාහි, එහි වාසය කරන්නා වූ පින් කැමැති සම්‍යග්දෘෂ්ටිකයා හට පවා පින් කර ගැනීමට ඉඩ ඇත්තා වූ පෙදෙස් නොවෙති, එබඳු පෙදෙස්වල වසන තැනැත්තා වනාහි දස කුසල ධර්මයෙන් පිරිහී, දස අකුසල ධර්මයන්ගෙන් වැඩෙන්නා වූ කෙනෙක් වේ. එබැවින් එබඳු පෙදෙස් වාසය නොකොට අත්හළ යුතු ප්‍රදේශයෝ ය.

යම් පෙදෙසක සිල්වත්, ගුණවත්, සැබෑ භික්ෂූන් වහන්සේලා වෙසෙත් ද, රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ දාන ශීලාදී පුණ්‍ය ක්‍රියාවන්හි නිරතුරු යෙදෙන්නා වූ උපාසක උපාසිකාවෝ වෙසෙත් ද, අධර්මයෙන් තොර සුපිරිසුදු ධර්මය විද්‍යමාන වෙත් ද, එම ප්‍රදේශය වාසයට සුදුසු ප්‍රදේශයකි. එබඳු ප්‍රදේශයන්හි වාසය කරන්නන් හට සද්ධර්ම ශ්‍රවණයත්, සත්පුරුෂ ඇසුරත් නිතර ලැබෙන බැවින් අපමණ සද්ධාවෙන් යුක්තව පින් සලසා ගත හැකි ය.

කිච්චෝ මනුස්ස පටිලාභෝ
කිච්චං මච්චාන ජීවිතං
කිච්චං සද්ධම්ම සවණං
කිච්චෝ බුද්ධානං උප්පාදෝ

මිනිසත් බව ලැබීම ඉතාමත් දුර්ලභ ය. දිනක් බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ නිය අගට පස් පිඬක් ගෙන ආනන්ද හිමියන්ගෙන් මෙසේ ප්‍රශ්න කළහ. ආනන්ද මාගේ නිය අග තිබෙන පස් ද, නැතිනම් මෙම පොළවෙහි තිබෙන පස් ද ප්‍රමාණයෙන් වැඩි? එවිට ආනන්ද හිමියන්ගේ පිළිතුර වූයේ බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ නිය අගෙහි තිබෙනුයේ ඉතාමත් ස්වල්ප පස් ප්‍රමාණයකි. එයට වඩා මෙම භූමියෙහි තිබෙන පස් ප්‍රමාණය ඉතාමත් විශාල ය. එහිදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලද්දේ ආනන්දය, මාගේ ධර්මය ජීවිතයට ප්‍රායෝගිකව පුරුදු කරමින්, සුගතියට යනු ලබන්නේ මගේ නිය අගෙහි තිබෙන පස් ප්‍රමාණයටත් වඩා අල්ප පිරිසකි. මෙම මහ පොළොවෙහි තිබෙන පස් හා සමාන පිරිසක් දුගති භූමියන්හි උප්පත්තිය ලබයි. එයින් පැහැදිලි වනුයේ මේ ලෝකය තුළ මිනිසත් භවයක් ලැබීම ඉතාමත් දුර්ලභ බවයි. එය කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවා හා සමාන ය. එවැනි කාලයක ක්ෂණ සම්පත්තියෙන් යුක්ත ව බුද්ධෝත්පාද සමයක පින් පව්, කුසල් අකුසල් තේරුම්ගත හැකි, පිවිතුරු සද්ධර්මය පවතින ප්‍රදේශයක උත්පත්තිය ලැබීම ම ඉතාමත් දුර්ලභ ය.

කුසට අහරක් නොමැතිව, ගතට වතක් නොමැතිව අපමණ දුක් විඳින බොහෝ මිනිස්සු මේ විශ්වය තුළ ජීවත් වෙති. ඔවුන්ට මිනිසත් භවයක් ලැබීමට පෙර පින් ඇතැත්, ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක ඉපදීමට, සසරෙහි පින් හීන ය, ධර්මය වෙනුවට අධර්මය පමණක් ශේෂව පවතින මිසදිටු ගත් ජනයා ලොව පුරා විශාල ලෙස ජීවත් වෙති. ඔවුනට බුද්ධ යන වචනයවත්, සද්ධර්ම ශ්‍රවණයවත්, කලණ මිතුරු ඇසුරවත් කෙදිනකවත් නොලැබෙනු ඇත. ජීවිත යථාර්ථය අවබෝධය සඳහා සුදුසු ප්‍රදේශයක ම ඉපදිය යුතු ය.

මනුෂ්‍යත්වයේ වටිනාකම පිළිබඳ අවබෝධ වීමට සද්ධම්මෝපායනයෙහි දැක්වෙන අර්ථ විවරණ අතිශය කාලෝචිත ය.

ඉපදීමට නුසුදුසු භව සහ ප්‍රදේශ ලෙස දක්වනුයේ නරක, තිරිසන්, ප්‍රේත යන අපාය තුන, අරූප අසංඥ ලෝකය, ඉතා පිටිසර ප්‍රදේශය, පසිඳුරන්ගේ විකල බව, මිථ්‍යාදෘෂ්ටිකව ඉපදීම සහ අබුද්ධෝත්පාද කාලයක ඉපදීම ය. අෂ්ට දුෂ්ටක්ෂණයෙහි ඉපදීම පතිරූප දේස වාසෝච නොවේ.

අෂ්ට දුෂ්ටක්ෂණයෙන් වෙන් වූ හෙයින් ම ඉතා දුර්ලභ වූ, යහපත් වූ කාල සම්පත්තිය ලැබූ, නුවණැත්තහු විසින් සියලු කල්හි ම පින් දහම් කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් තෙවරක් උතුම් පාරිශුද්ධත්වයට පත් වූ මෙම කුඩා මනරම් දිවයින මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් සද්ධර්මයට, හිතැති ශිෂ්ට ජාතියක් බවට පත් විය. බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ ගී‍්‍රවා ධාතුන් වහන්සේ, දළදා වහන්සේ, අකු ධාතුන් වහන්සේ, සප්ත මහා ධාතූන්ගේ වැඩි කොටසක් ම මෙහි තැන්පත් වූ හ. උණු වී කැටි වී ගිය කුඩා ධාතූන්ගේ වැඩි ප්‍රමාණයක් ද මෙහි නිදන් ගත වූ හ. බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරනු ලැබූ පටි ධාතුව, පාත්‍රා ධාතුව, මිණි පළඟ ආදී පාරිභෝගික වස්තූන් රැසක් ද, මුළු මහත් ලෝකයේ ම ගෞරවාදරයට පාත්‍ර වූ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව ද මෙරට පිහිටියහ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදශ්පර්ශයෙන් පවිත්‍ර වූ සොළොස්මස්ථානයන්ගෙන් ද පරිපූර්ණ ය. එම නිසා හිස ගිනි ගත්තෙකු එගිනි නිවන්නට උනන්දු වන්නේ යම් සේ ද, ඔබ ද මෙම ලැබුණු දුර්ලභ මනුසත් භවය තුළ ජීවිත යථාර්ථය අවබෝධ කරගැනීම සඳහා උත්සුක විය යුතු ය.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]