[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතට 60 වසරයි

සිරිගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතට 60 වසරයි

මාතර කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ කපුදූව සිරි ගුණාලංකාර හිමිපාණන් වහන්සේගේ 106 වෙනි ජන්ම දිනය හා උන්වහන්සේ විසින් ආරම්භ කළ සිරි ගුණාලංකාර බුදුබල පහන් පිළිවෙතට වසර 60ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන පින්කම් මාලාව මෙවර අනුරාධපුර රුවන්වැලිසෑ මළුවේ දී සහ පූර්වාරාම විහාරස්ථානයේ දී සැප්තැම්බර් මස 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වේ.

උන්වහන්සේ හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපතිව වැඩසිටි සමයේ එහි විහාරාරාංග සම්පූර්ණ කර වැඩවාසය කරන අතරේදී දිනපතා සෙත්පිරිත් සජ්ඣායනය කරමින් ශීල ප්‍රතිපදාව ප්‍රගුණ කිරීමෙන් ලද අධ්‍යාත්මික ශක්තිය ඔස්සේ සිරි උපුල්වන් වරප්‍රසාදය ලබා තිබේ. එදා සිට රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට මෙම ප්‍රතිපත්තිය කියා දෙමින් ඒ අනුව ජීවිත හුරුකරවා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කර එම පවුල් වෙත යහපත උදාකර ඇත.

නිතිපතා බුදු දහමත්, පංචශීල ප්‍රතිපත්තියත් අව්‍යාජව හා ප්‍රතිපත්ති ගරුකව අනුගමනය කිරීමෙන් මනසේ ගොඩනැගෙන නිවැරැදි තිරසාර අධ්‍යාත්මික ශක්තිය තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට හැකි බව දැඩිව විශ්වාස කළ සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේ, ඒ අනුව ජීවිත හැඩගස්වා ගනිමින් ධාර්මිකව දෛනික කටයුතු සිදුකිරීමෙන් පවුල තුළත් සමාජයේත් යහපත උදාකරගත හැකි බව පසක් කරමින් මෙම සෙත් පහන් පිළිවෙත රට පුරා ව්‍යාප්ත කිරීමට දැඩි වෙහෙසක් ගත්හ.

පන්සිල් රකින සමාජයක වැදගත්කම දක්වමින් කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේ විසින් මීට වසර 60කට පමණ පෙරදී ලියා ඇති අප්‍රකට ලේඛන රැසකම පංචශීල ප්‍රතිපදාවෙන් බැහැරවීමේ ආදීනව පෙන්වා දී ඇත. පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කිරීමෙන් මානව දයාවෙන් පිරිපුන් යහපත් ජීවිත ගත කළ හැකි බව මිනිස් සිත් තුළ ප්‍රායෝගිකව ජනිත කරන්නට, සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේ මෙම සෙත් පහන් පිළිවෙත ඔස්සේ දිවා රෑ දෙකෙහි වෙහෙසී ක්‍රියා කළ හ. සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව වුවද එතෙක් උන්වහන්සේ සමඟ සෙත් පහන් පිළිවෙතට සම්බන්ධ වී සිටි ගිහි මහත්ම මහත්මීන් විසින් තවදුරටත් මෙම පිළිවෙත කියා දෙමින් බෞද්ධ පුනරුදය උදෙසා නිහඬ සේවයක් ශ්‍රී ලංකාවාසී ජනතාවට සලසමින් සිටිති. සෙත් පහන් පිළිවෙතට වසර 60ක් සපිරීම නිමිත්තෙන් සහ අපවත් වී වදාළ කපුදූව සිරිගුණාලංකාර හිමිපාණන් වහන්සේගේ 106 වන ජන්ම දිනය සිහිපත් කරමින් සිරිගුණාලංකාර පිළිවෙත් සුරැකීමේ සංවිධානයේ රජරට බුදුබල පහන් මධ්‍යස්ථානයේ චන්ද්‍රපාල සෙනරත් මහතාගේ මෙහෙයවීමෙන් මෙම පින්කම් මාලාව සංවිධානය කෙරේ.

අනුරාධපුර රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන හිමිපාණන් වහන්සේගේ සහ පූර්වාරාමාධිපති පොතානේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කම් මාලාවේ දී සෙත් පහන් පිළිවෙතට සම්බන්ධව සිටින නොච්චියාගම, අනුරාධපුරය, මහනුවර, මාතර, වැලිගම, මොරවක, ඇල්පිටිය, පොල්ගහවෙල හා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සැදැහැවතුන් විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වෙති. එසේ ම මෙහි දී සීල භාවනා හා ධර්ම දේශනා වැඩ සටහන් ද මල් පහන්, අෂ්ඨපාන, බෙහෙත් අටපිරිකර සෙසු පිරිකර සහිත බුද්ධ පූජාවක් ද, රුවන්වැලි සෑරදුන් වෙත කංචුක පූජාවක් ද මහා සංඝරත්නය විෂයෙහි දවල් දානය පිරිනැමීමක් ද, අභයදාන පින්කමක් ද, සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]