[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආදර්ශවත් කාන්තා රත්නය මිගාර මාතාව

ආදර්ශවත් කාන්තා රත්නය මිගාර මාතාව

"රූපය නිසා උද්ධාමයට පත් නොවූ ඇය ගුණ නුවණින් ද, සංවරශීලීව ද, නිහතමානී ගුණයෙන් ද යුක්තව තරුණ කාන්තාවකගේ ස්වරූපය ආරක්ෂා කර ගත්තා ය. එනිසා ම ඇයගේ කීර්ති ප්‍රශංසාව දස දෙස පැතිරුණි."
 

කාන්තාවකට තිබිය යුතු ගුණාංග සියල්ලක් ම තිබූ බුද්ධ ශාසනයේ ප්‍රධාන දායිකාවක් සේ ම, අග්‍ර උපස්ථායිකාවක් වූ විශාඛාවගේ චරිතය පිළිබඳ වර්තමාන කාන්තාවන්ට මතක් කර දීම ඉතා උචිතයැයි හැඟේ. කාන්තාවක් තුළ තිබිය යුතු සංවර බව,හික්මීම, සීලාචාරකම, හිරි ඔතප් රැකීමේ ප්‍රතිපදාව අද යුගය තුළ බොහෝ දුරට පිරිහී ගොස් ය.

අප රටේ ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ධර්මය ගෙන ඒමත් සමඟ බුදුරදුන් කාන්තාව පිළිබඳ දෙසූ උත්තරීතර ගුණාංග පිළිපැදීමට ලක්දිව කාන්තාවෝ උත්සුක වූ හ. ඒ පිළිබඳව අපේ ඉතිහාසය කියවීමෙන් අවබෝධ කර ගැනීමට පුළුවන. ඒ සම්බන්ධ ව, විදේශිකයෙකුගේ ඇසින් දුටු ආකාරය ඉතා වැදගත් සංසිද්ධීන් සමුදායකින් යුතු කෘතියක් වන An Historical Relation of The Island Ceylon in the East - In Dies නම් කෘතිය ඉතා වැදගත් වේ. රොබට් නොක්ස් (Robert Knox) විසින් රචිත එම කෘතිය කියවීමෙන් එදා කාන්තාව තුළ තිබූ හික්මීම, සීලාචාරකම, සංවරය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි ය.

කාන්තාවන් පිළිබඳ සිතීමේ දී බුදුරදුන් කල සිටි විශාඛාව සියලු ගුණයන්ගෙන් සපිරි චරිතයක් ලෙස අගය කළ හැකි ය. එතුමිය අවුරුදු 7 දී බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූ තැනැත්තියකි. පුංචි කාලයේ පටන් ජීවිතය පුරාම තිබූ ගුණ කදම්භය දෙස බැලීමෙන් ඕනෑම කාන්තාවකට එම චරිතය ආදර්ශයට ගෙන තම තමන්ගේ චරිතවල ද වටිනාකම වැඩිකර ගැනීමට අපහසු නැත. විශාඛාවගේ මව්පියන් වූයේ ධනංජය සිටුතුමා හා සුමනා දේවියයි. ඇය විසුවේ අඟුරට භද්දිය නුවරයි. භද්දිය නගරය ඉතා සමෘද්ධිමත් නගරයකි. එම නුවර ධනවත් සිටුවරුන්ගෙන් අනූනව පැවතුණි. ඒ අතර ජෝතිය, ජටිල, මෙණ්ඩක, පූර්ණක, කාකාවලි වැනි අය ප්‍රධාන වේ.

විශාඛාව කේශ (කෙස්) අට්ඨි (දත් දෙපළ) ඡවි (සම), මාංශ (මස්) වයඞ (වයස්) යන පංච කල්‍යාණයෙන් යුක්ත විය. නමුදු රූපය නිසා උද්ධාමයට පත් නොවූ ඇය ගුණ නුවණින් ද, සංවරශීලීව ද, නිහතමානී ගුණයෙන් ද යුක්තව තරුණ කාන්තාවකගේ ස්වරූපය ආරක්ෂා කර ගත්තා ය. එනිසා ම ඇයගේ කීර්ති ප්‍රශංසාව දස දෙස පැතිරුණි.

විශාඛාව විවාහ වීමට නිසි වයස් පැමිණ සිටිය ද මව්පියන්ගේ අණට අකීකරු නොවූ අතර, ඒ සඳහා ඉක්මන් ද නොවී ය. මේ කාලය තුළ නිසි වයස් පැමිණි සැවැත් නුවර මිගාර සිටුවරයාගේ පුත් වූ, පූර්ණ වර්ධන කුමරුට මව්පියන් සුදුසු යහපත් ඇවතුම් පැවතුම්වලින් ඉහළ සුදුසු කුමාරිකාවන් සොයමින් සිටි කාලයයි. ඒ සඳහා මිගාර සිටු ගුණධර්ම අතින් ඉහළ, සංවරශීලී කුමාරිකාවක් සෙවීම සඳහා රට පුරාම දූතයන් යවා තිබුණි. දිනක් සාකේත නුවර ලොකු සැණකෙළියක් තිබුණි. එම සැණකෙළිය බැලීමට විශාඛාව ප්‍රමුඛ ඇයගේ යෙහෙළියෝ ද ගොස් සිටියහ. ඒ අතර වර්ෂාවක් ද ඇති විය. පසුව අර යෙහෙළියන් සියලු දෙනාම වර්ෂාවෙන් බේරීමට දුවගෙන ගොස් නගර ශාලාවෙහි නතර විය. නමුදු විශාඛාව වර්ෂාවට තෙමි තෙමී කලබලයක් නොමැතිව, සංවර ගමනින් ම ගමන් කළා ය. මෙම සිද්ධිය දුටු දූත පිරිස ඈ පිළිබඳ තොරතුරු විමසා දැන ඒ බව මිගාර සිටුතුමාට දන්වා සිටියහ. පසුව පූර්ණ වර්ධන කුමරුගේ හා විසාඛා කුමරියගේ විවාහය දෙපාර්ශ්වයේ මව්පිය කැමැත්ත මත සිදු කිරීමට කටයුතු සංවිධානය කළහ.

විවාහයට සියලු කටයුතු සංවිධානයෙන් පසු හෙට විවාහය තිබිය දී විශාඛාවගේ පියා වූ ධනංජය සිටුවරයා තම දියණිය ළඟට කැඳවා “ආදර දියණියනි, ස්වාමි කුලයෙහි වසන්නිය විසින් මෙසේ හැසිරිය යුතු ය.” යි ඇයට අවවාද දහයක් ලබා දුන්නේ ය. අද කාන්තාවන්ට වුව ද එම අවවාද ඉතා අගනේ ය. නමුදු විශාඛාව එම අවවාද ඉස් මුදුනින් පිළිගත්තා පමණක් නොව නුවණින් මුහුකුරා ගොස් සිටි ඇය ප්‍රහේළිකා මට්ටමින් තිබූ එම අවවාද දහය සැණින් අවබෝධ කර ගත්තා ය. එම අවවාද දහය නම්,

* ඇතුළත ගිනි පිටතට නොදෙන්න. (සිය ස්වාමියාගේ හෝ නෑදෑයින්ගේ අඩුපාඩු පිටත නොකීම.)

* පිට ගිනි ඇතුළට නොගන්න. (ඔවුන් පිළිබඳ පිටත කියන දොස් ගෙදර අයට නොකීම)

* දෙන අයට දෙන්න (මිල මුදල් ආදිය ගෙන ආපසු දෙන අයට ම දීම)

* නොදෙන අයට නොදෙන්න (මිල මුදල් ආදිය ආපසු නොදෙන අයට නොදීම)

* දෙන අයටත්, නොදෙන අයටත් දෙන්න (දුප්පත් ඥාතීන්ට දෙන ණය ආපසු දුන්නත් නොදුන්නත් දීම.)

* සුවසේ හිඳින්න (සුදුසු පරිදි තැනක වරදක් නොවන පරිදි හිඳීම)

* සුවසේ හිඳ අනුභව කරන්න. (නැදිමයිලන්ට ආහාර දී, සේවක සේවිකාදීන් පිළිබඳවත් සොයා බලා ආහාර අනුභව කිරීම.)

* සුවසේ සැතපෙන්න (ස්වාමියා ඇතුළු නැදිමයිලන් පිළිබඳ අවශ්‍ය කටයුතු සපයා දී ගෙදර පරීක්ෂා කොට නින්දට යෑම.)

* ගිනි පිරිමසන්න (ස්වාමි නැදිමයිලන් ගිනි ලෙස සලකා ඔවුනට කීකරුව විසීම.)

* ඇතුළත දෙවියන් පුදන්න. (නැදිමයිලන් හා ස්වාමියාට සියලු සත්කාර නොඅඩුව සිදු කිරීම.)

විශාඛා සිටු දියණිය ඉහත අවවාද වලට අනුකූලව ම විවාහ ජීවිතය ගත කළ උත්තරීතර කාන්තාවකි. ගෘහ ජීවිතය තුළ සියලු කටයුතු නිරවුල්ව හා පිළිවෙලට සිදු කළාය. ඇය තුළ තිබූ තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කිසිදු කාන්තාවක් තුළ නොතිබූ තරම් ය. ඇය උදේ සවස විහාරයට ගිය අතර ම, පොඩි හාමුදුරුවන් සඳහා කුමන හෝ ආහාරයක් රැගෙන යාමට අමතක නොකළා ය. මිගාර සිටුතුමා පවා බෞද්ධයෙකු කොට, බුදු දහමට නැඹුරු කොට ඇත. ඒ අනුව ‘මිගාර මාතා’ යන නම ද ඇයට පට බැඳුණි. විශාඛාව බණ අසන්නට ගිය අවස්ථාවක ඇයට විවාහ වීමේ දී තම පියා තෑගි කළ, මසුරන් නව කෝටියක් වටිනා මහා ලතා පසාදනය හෙවත් මේල පළඳනාව අමතක විය. ඇය නැවත එය ලබා ගැනීමට අකැමැති වූ අතර, එය අලෙවි කොට සැවැත් නුවර පූර්වාරාමය නමින් විහාරයක් ඉදිකොට එය සඟසතු කොට පූජා කළා ය.

විශාඛාව පෙර පින් කළ කාන්තාවකි. ඇය ශක්ති සම්පන්න අතින් ද අන් කාන්තාවන්ට වඩා ශ්‍රේෂ්ඨ ය. මහ ලතා පළඳනාව ඉසිලීමට, ඇත්තු දස දෙනෙකුගේ ශක්තිය තිබිය යුතුය යන්නෙන් ඒ බව පැහැදිලි වේ. තම නිවසේ නිරන්තරයෙන් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දී ම ද සිදු කළ ඇය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විවිධ අවස්ථාවල දී පෙනී සිටියා ය.

භික්ෂූන් ස්නානය කිරීමේ දී නානකඩයක් ඇඳීම සුදුසු බව ඉල්ලීම, කුමාර කාශ්‍යප මාතාවට දරු ගැබක් හටගෙන තිබිය දී පැවිදි වීමෙන් ඇති වන්නට තිබූ ප්‍රශ්නය නිරාකරණය කිරීමට මැදිහත් වීම, භික්ෂූන්ට වස් තෙමස් එක් ස්ථානයක ගත කිරීම සුදුසු බව ආදී බොහෝ දේ සඳහා විශාඛාව ගෞරවනීයත්වයෙන් හා භික්ෂු සංඝයා කෙරෙහි අනුකම්පා සහගතව පෙනී සිට ඇත. ඇයට එවැනි කටයුතු සඳහා පෙනී සිටීමේ පුරෝගාමීත්වය ගැනීමට තරම් බුද්ධි මහිමයක් ද තිබූ බව පැහැදිලි කරුණකි. එම සියලු ගුණාංගයන්ගේ සම්පිණ්ඩනයක් ලෙස බුදු සසුනේ අග්‍ර දායිකා නම් වූ උත්තරීතර තනතුර පවා හිමිකර ගනු ඇත.

විශාඛාව විසින් බුදුරදුන්ගෙන් කැපවර අටක් ඉල්ලා සිටි අවස්ථාවක බුදුරදුන් ඒවා සුදුසු බවට අනුමත කොට ඇත. ඒවා නම්,

වැසි සළු පිදීම, ආගන්තුක බත් පිදීම, ගමික බත් පිදීම, ගිලන් බත් පිදීම, ගිලානෝපස්ථායක බත් පිදීම, ගිලනුන්ට බෙහෙත් පිදීම, භික්ෂූන්ට බෙහෙත් පිදීම, භික්ෂුණියන්හට නහන සළු (දිය සළු) පිදීම ය.

විශාඛාවගේ ගෘහ ජීවිතය තුළ වුව ද සාර්ථකත්වය මැනවින් පිළිබිඹු වන්නේ ඇය දූවරුන් දස දෙනෙක් හා පුතනුවරුන් දස දෙනෙක් ලෝකයට දායාද කළ පින්බර මාතා කෙනෙක් බව ප්‍රකට වීමෙනි. ඇය අවුරුදු 120 ක් වැනි දීර්ඝායුෂ ලැබූ කාන්තාවකි.

දියණියක් වශයෙන්, ස්වාමි දියණියක් වශයෙන්, මව් කෙනෙකු වශයෙන් ආදී ජීවිතයේ සෑම අංශයකින් ම ආදර්ශමත් චරිතයක් වූ විශාඛාව කාන්තා සමූහයට ම ආදර්ශමත් චරිතයකි. ප්‍රධාන වශයෙන් එදාට වඩා අද යුගය තුළ කාන්තාවන් කවුරුත් එම චරිතය පිළිපැදීමට උත්සුක විය යුතු ය. පුංචි දියණිවරුනට, යෞවන වයසේ අයට, විවාහ ගිවිස ගත් අයට, ගෘහ ජීවිතය ගත කරන වුන්ට, මව් පදවි දරන අයට යන ඕනෑම පැතිකඩයන් ඔස්සේ එම චරිතයෙන් ගත යුතු ගුණ ධර්ම ඉතා විශාල ය. විශේෂයෙන් සමස්ත කාන්තාවන් විසින් ඒ පිළිබඳ හැදෑරිය යුතු ය.

රූපය තුළින් උදම් වන, ඇඳුම් පැළඳුමෙන් අඟ පසඟ ලෝකයාට පෙන්වන, කය, වචන අසංවර, තුනුරුවන් කෙරෙහි ගරු සත්කාරයක් නැති, මව්පියන්ගේ අණට කීකරු නැති, ඕනෑම කෙනෙක් විශාඛාවගේ චරිතය දෙස බලා එතුළින් තම අඩුපාඩු හදා ගන්නට හැකිනම්, එය කාන්තාවගේ කීර්ති ප්‍රසංසා වැඩිවීමටත්, තම ගෘහ ජීවිතය සාර්ථක කර ගැනීමටත් හේතුවනවාට කිසිදු සැකයක් නොමැත.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]