[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිහි ගෙදරට දහම් වැටක්: සමාජය පරිහානියට පත්කරන අදත්තාදානය

   

සමාජය පරිහානියට පත්කරන අදත්තාදානය

" දුප්පත් වී ඉපදීමටත්, ප්‍රභාවක් නැති ජීවිත ගත කිරීමටත් සමාජයෙන් නිතර ගැරහුම් නින්දා අවමන් විඳීමටත් හේතුවන අකුසලය අදත්තාදානයයි.අන්සතු දෙය ගැනීමෙන් යම් සතුටක් ලබයි. එසේ වුවද, එම වරදින් ගැලවිය නොහැකිය. නීතියෙන් ගැලවිය හැකිය. සමාජයෙන් හෝ අනෙක් අයගෙන් ගැලවිය හැකි ය. එහෙත් අකුසලයේ විපාකයෙන් ගැලවීම කිසිලෙසකින් හෝ කළ නොහැක්කකි."

නුදුන් දෙය ගැනීම අදත්තාදානය යි. සතර කර්ම ක්ලේශ අතර දෙවෙනි ස්ථානය ලබන්නේ අදින්නාදානය හෙවත් අදත්තාදානයයි. වෙනත් පුද්ගලයකුට අයත් දෙයක් හොරෙන් ගැනීම, අදාළ පුද්ගලයා වංචාවෙන් රවටා ගැනීම, බියට පත්කොට ස්වකැමැත්තෙන් දෙන දෙයක් ලෙස ගැනීම, වෙනත් පුද්ගලයකු ලවා වංචා සහගත අදහස් ප්‍රකාශ කරවා ගැනීම වශයෙනි. එය පුද්ගලයා, සමාජය ආයතනය ,සමාජය, සමස්ත රට වශයෙන් පුළුල් පරාසයක පැතිරී තිබෙන අතර අදත්තාදානය නමැති අකුසලය සම්පූර්ණ වීම සඳහා මූලික වශයෙන් ම මනස බලපානු ලබයි.එම අකුසලය සම්පූර්ණ වීම සඳහා මූලික වශයෙන් කරුණු පහක් බලපානු ලබන බව ධර්මයෙහි විග්‍රහ කර තිබේ.

1. තමන් ගනු ලබන දෙය තමාට අයිති නැති අන් සතු දෙයක් වීම,

2. තමා ලබා ගැනීමට බලාපොරොත්තු වන දෙය තමාට අයිති නොවන දෙයක් බව පැහැදිලි වශයෙන්ම දැන සිටීම.

3. එම අන්සතු දෙය අත්පත් කර ගැනීමට කැමැත්තක් ඇතිවීම.

4. අන් සතු දෙය ලබා ගැනීමට උපක්‍රම යෙදීම

(එම උපක්‍රමය තමා විසින් හෝ වෙනත් අයෙකු විසින් හෝ නීතිය මගින් පෙන්විය හැකිය)

5. අන්සතු දෙය තමා සතුකර ගැනීම යන්නයි.

මෙම කරුණු සියල්ලම සම්පූර්ණ වී සිදුවන ක්‍රියාව අදත්තාදානයයි. අන්‍ය පුද්ගලයකු සතු දෙයක් වුව ද, එම පුද්ගලයා ස්වකැමැත්තෙන් එය ලබාදෙනවා නම්, එය අකුසල කර්මයට අයත් නොවන බව පෙනේ. සොර සිතින් ගත්ත ද, හිමිකරුවකු හෙවත් එය අයිති පුද්ගලයකු නොමැති නම්, එහි අකුසලයක් සිදු වන්නේ නැත. ඇතැම් අවස්ථාවක පුද්ගලයා කෙරෙහි විශ්වාසයෙන් යුතුව යමක් අරගත් විට ද අන්සතු වස්තුවක් ය යන හැඟීමෙන් තොරව ගනු ලැබුව ද, එය අකුසල කර්මයක් බවට පත් නොවිය හැක්කේ අදත්තාදානයකදී සම්පූර්ණ විය යුතු කාරණා පහම සම්පූර්ණ නොවන බැවිනි.

අදත්තාදාන කර්මයකදී බලපාන නානා භාණ්ඩ පංචකය නමින් හඳුන්වන ලබන අකුසලය සිදුකළ හැකි ක්‍රම කිහිපයකි. ඒවා නම්,

1. නීත්‍යානුකූල ක්‍රමයක් බවට පෙන්වමින් අන්සතු දේවල් ගන්නා අවස්ථා තිබේ. එබඳු අවස්ථාවක අනෙක් පාර්ශ්වය තමාගේ අයිතිය වෙනුවෙන් නීත්‍යානුකූලව ඉදිරිපත් වේ. එබඳු අවස්ථාවකදී ගත් පුද්ගලයාට අකුසල කර්මය සිදුවෙයි.

තමා විසින් අන්සතු දෙයක් රැගෙන යන කල්හි එය අයිති පුද්ගලයාට නොදී තමා ම තබා ගැනීම ද , ඇතැම් විට එසේ නොගෙන මෙය තමාට අයිතිකර ගැනීම පිළිබද සිතිවිල්ලක් ඇතිකර ගෙන වෙනත් තැනක තිබීම ද මෙයට අයත් වේ.

3. තමා සතුව ආරක්ෂාව තබා තිබූ කිසියම් භාණ්ඩයක් නැවත අයිති පුද්ගලයාට නොදී අයිතිකර ගැනීම හෝ හිමියා දැන් තමාට එය ලැබෙන්නේ නැතැයි යන සිතිවිල්ල ඇතිකරගත් අවස්ථාවේ සිට අකුසලය සිදුවේ.

4. වෙනත් කෙනෙකු විසින් ගෙන යන ලද අන් සතු වස්තුවක් ඒ තැනැත්තා ලවා ම අන් තැනකට ගෙන්වා ගැනීම අදත්තාදානයකි.

5. යම් කිසි භාණ්ඩයක් තිබෙන ස්ථානයෙන් හොර සිතින් වෙනත් ස්ථානයකට ගැනීමද අකුසලයකි.

අදත්තාදානය අකුසලය සිදුවන වෙනත් ක්‍රම තිබේද?

1. තමා විසින්ම අන්‍යා සතු දෙය ලබා ගැනීම.

2. අන්‍යයා ලවා එසේ කරවීම

3. යමක් පිටට වීසිකර පසුව ගැනීම

4. අවස්ථාව ලැබුණු අවස්ථාවක හොරකම් කිරීමට සිතාගෙන තබා තිබීම

5. වස්තුව හිමියාට එහි ආශාව නැති කරවා එය ලබා ගැනීම

අදත්තාදාන අකුසලය සිදුවීම කෙරෙහි බලපාන පුබ්බ ප්‍රයෝග ආදි ක්‍රම පහක්ද තිබේ.

එනම් , 1. භාණ්ඩයක් සොරසිතින් ගැනීමට පෙර පළමුව ඒ සඳහා ඇතිකර ගනු ලබන පූර්ව ප්‍රයෝගයයි.

2. එම ප්‍රයෝගයෙන් සොරකම් කිරීම

3. කණ්ඩායම් වශයෙන් එකතු වී සොරකම් කිරීම

4. කාලය නියම කරගෙන සොරකම් කිරීම

5. ඇඟවිමක් කොට සොරකම් කිරීම

අදත්තාදාන අකුසලයේ විපාකයෙහි බලවත් බව ලෝවැඩ සඟරාවෙහි මෙසේ සඳහන් වේ.

කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ

එළිකොට නැවත දුන් මිනිසකුට එකෙ කිනේ

පිළිවැස්මක් නොමවිය දෙවි වෙලත් අනේ

කෙළියටවත් නොකරව් හොරකමක් අනේ

විහිළුවකට තම මිත්‍රයාගේ රෙදි කෑල්ල සොරකම් කර පසුව ඒ බව දන්වා ලබාදුන්න ද එම අකුසලය නිසා අපායේ දුක් විඳ පසුව කළ වෙනත් පින්කම් නිසා දෙවියකු බවට පත්විය. නමුත් තමා සිදුකරනු ලැබූ අකුසලය නිසා විලි වැස්මක් ද නැති විය. නරකයේ ඉපිදී බොහෝ දුක් විඳ පසුව තම කළ ක්‍රියාවට අනුරූප විපාක දීම කර්මයේ සිරිතය.

දුප්පත් වී ඉපදීමටත්, ප්‍රභාවක් නැති ජීවිත ගත කිරීමටත් සමාජයෙන් නිතර ගැරහුම් නින්දා අවමන් විඳීමටත් හේතුවන අකුසලය අදත්තාදානයයි.අන්සතු දෙය ගැනීමෙන් යම් සතුටක් ලබයි. එසේ වුවද, එම වරදින් ගැලවිය නොහැකිය. නීතියෙන් ගැලවිය හැකිය. සමාජයෙන් හෝ අනෙක් අයගෙන් ගැලවිය හැකි ය. එහෙත් අකුසලයේ විපාකයෙන් ගැලවීම කිසිලෙසකින් හෝ කළ නොහැක්කකි.

අන් සතු දෙය ලබාගැනීම අල්ප සාවාද්‍ය හා මහා සාවාද්‍ය වශයෙන් වර්ග කළ හැකිය. එනම් ගනු ලබන වස්තුවෙහි වටිනාකම අනුව එය සිදුකිරීම, ගනු ලබන පුද්ගල හිමියාගේ ගුණසම්පන්න බව අනුව සහ පොදු දේපළ ගැනීම යනුවෙනි. වැඩි වටිනාකම සහිත දෙය ද ශීල සම්පන්න, ගුණ සම්පන්න පුද්ගලයාගෙන් ගැනීම ද පොදු දේපොළ ගැනීම ද, අදත්තාදාන අකුසලය වැඩිවන කරුණුයි. ඒ අනුව කුඩා දෙය අල්ප සාවද්‍යය. ගුණ සහිත අයගෙන් ගැනීම මහා සාවද්‍යය. පුද්ගලික දේපොළ ගැනීම අල්ප සාවද්‍යය. පොදු දේපොළ ගැනීම මහා සාවද්‍යය වේ.

අදත්තාදානය පුද්ගලයා ද සමාජය ද, විනාශය ට පමුණුවන අකුසල කර්මයකි. දියුණුවන පුද්ගලයකු තුළ අදත්තාදානය තිබිය යුතුය යන මතයක් සමාජය තුළ ඇතැම් පුද්ගලයන් දරන මතයක් වුව ද, එය ධර්මයට පටහැනි එකකි. පුද්ගලයාගේ පිරිහීමට හේතුවන බැවින් ඉන් වැළකී සිටීමට උත්සාහ ගත යුතුය.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]