[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින සසරට ය කුසලය නිවනට ය

පින සසරට ය කුසලය නිවනට ය

බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ඒ අමා නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නම් මූලික ව කළයුත්තේ අපගේ සිත ඒ සත්‍යාවබෝධය පිණිස යෝග්‍ය වන ලෙසට සකස් කර ගැනීම යි.

එසේ සකස් කර ගැනීමේ දී කුසල් සිතක මූලික ව යෙදෙන සිතිවිලි හෙවත් ඉන්ද්‍රිය ධර්ම සිත තුළ වැඩි දියුණු කර ගත යුතු වෙනවා. එසේ දියුණු කර ගත යුතු වන සිතිවිලි මූලිකව ම පහක් තිබෙනවා. සද්ධින්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය ,සමාධින්ද්‍රිය සහ පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ ඒ සිතිවිලි පහට යි. නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන තැනැත්තා විසින් සිත තුළ මේ සිතිවිලි පහ සමබර ව පවත්වා ගෙන යා යුතු වෙනවා. එයට කියන්නේ ඉන්ද්‍රිය සමතාව කියල යි. මේ සිතිවිලිවල සමබර බව බිඳ වැටුණොත් සිත වෙනත් අකුසලයන්ට නැඹුරු වෙන්නට පුළුවන්. ඒ නිසා සිහියෙන් , සැලැකිල්ලෙන් මේ සිතිවිලි සමබර කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා.

ඇතැමෙක් තමන්ගේ සිත තුළ ශ්‍රද්ධාව අධික ව පවත්වා ගන්නවා. නමුත් ඒ අයගේ සිතේ ප්‍රඥාව අඩු මට්ටමකයි පවත්වා ගෙන යන්නේ. එසේ වූ විට සිත තුළ මෝහාධික සිතිවිලි ඇතිවන්න පුළුවන්. සමහරු ශ්‍රද්ධාව අඩුකර ගෙන, ප්‍රඥාව වැඩිකර ගෙන කටයුතු කරන්නට යාමෙන් නුසුදුසු ක්‍රියා සිදුකර ගන්නා අවස්ථාවන් ද තිබෙනවා. එසේ ම ඇතැමෙක් සිතේ වීර්යය අධික ව පවත්වා ගන්නට ගොස් සිත නොසන්සුන් කර ගන්නවා. වීර්යයේ තරමට ප්‍රතිඵල නැති වූ විටත් ක්ෂණිකව කළකිරෙනවා.

ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන නිසා අනවශ්‍ය කලබලයක් සිත තුළ ඇති කර ගන්නවා. ඇතැමෙක් සිතේ සමාධිය වැඩි කර ගෙන ඔහුටත් නො දැනුවත්ව ම සිත ථීනමිද්ධයට ඇද දමනවා. මේ තත්ත්වය නිසා සිතේ නැවතත් පඤ්ච නීවරණ ධර්මයන්ගේ බලය වැඩිදියුණු වෙලා සිත නො සන්සුන් වෙනවා. නො සන්සුන් සිතේ සමාධියක් ඇති වන්නේ නැහැ. සමාධියක් නැති සිතට සත්‍යාවබෝධය සිදුවන්නේ නැහැ. ඒ නිසා සිත තුළ ඉන්ද්‍රිය ධර්මයන් සමබරකර ගැනීම අතිශයින් ම වැදගත් වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් අතර ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සමබර ව පවත්වා ගත යුතුයි . ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සමබර කර ගැනීමේ දී සිහිය ද අතිශයින් ම වැදගත් වෙනවා.

සාමාන්‍යයෙන් අපගේ ආගමික සම්ප්‍රදාය තුළ ශ්‍රද්ධාව දියුණු කර ගැනීමට අප විවිධ ආමිස පූජාවන් අනුගමනය කරනවා. ප්‍රඥාව දියුණු කර ගැනීමටයි ප්‍රතිපත්ති පූජාව හෙවත් ප්‍රතිපදාව අනුගමනය කරන්නේ. බෞද්ධයන් වන අප මේ ආමිස පූජා සහ ප්‍රතිපත්ති පුජා පවත්වන්නේ ඇයි දැයි දැන සිටීම වැදගත් වෙනවා. අප දන්දීම්, බුද්ධ පූජා, බෝධි පූජා, විවිධ මල් පූජා ආදී ක්‍රියාකාරකම් සහිත ආමිස පූජාවන් සිදු කරන්නේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීමට යි. ත්‍රිවිධ ශික්ෂාවන් පුරුදු පුහුණු කරන්නේ, ප්‍රතිපත්ති පූජාව සිදු කරන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාව සරු කර ගන්නට යි.

සරල ව පවසන්නේ නම් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ආමිස පැත්තට නැඹුරු වන අතර, ත්‍රිවිධ ශික්ෂාවන් ප්‍රතිපත්තියට නැඹුරු වෙනවා. අපි ආමිස පූජාවන් තුළින් ලබන්නේ පින්. ප්‍රතිපත්ති පූජාවන් තුළින් ලබන්නේ කුසල්. ආමිස පූජාවෙන් ලබන පින අපේ සාංසාරික ජීවිතය වාසනාවන්ත හා සුවපත් කර ගැනීමට අපට උපකාරි වෙන අතර, ප්‍රතිපත්ති පූජාවෙන් ලැබෙන කුසලය අපගේ සසර ගමන නවතාලන්නට හේතු වෙනවා. ඒ නිසයි පින සසරට, කුසලය නිවනට යනුවෙන් සඳහන් වී තිබෙන්නේ.

ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සහ ඒවායෙන් ලැබෙන ආනිසංස ගැන විස්තර කරන පුඤ්ඤකිරිය වත්ථු සූත්‍ර දේශනාවට අනුව දාන, සීල, භාවනා යන ක්‍රියාකාරකම් තුන ම පින් ලෙස දක්වා තිබෙනවා. මෙහි දී කෙනෙකුට භාවනාවත් පිනක් ද? , මෙහිදී එය කුසලයක් ලෙසින් හඳුන්වා නො දුන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති විය හැකියි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල සඳහන්වන්නේ ලෞකික භාවනාවක් සේ ගෙනෙන සමථ භාවනාව යි. සමථ භාවනාව ලෝක සම්මුතිය මත පිහිටා කරනු ලබන එකක්. තමා සමඟ කරන භාවනාවක්. ලෞකික භාවනාවක්. ඒ තුළ ජනිත වන්නේ පින යි. කුසල භාවනා ලෙසින් ගැනෙන්නේ සත්ත්වයා ලෝකෝත්තර තත්ත්වයට ඔසවා තබන විදර්ශනා භාවනාව යි. විදර්ශනා භාවනාව මගෙන් වෙන්ව සිදුකරනු ලබන, පරමාර්ථය මත පිහිටා කරන භාවනාවක්. ඒ නිසා මමත්වයෙන් තොරවයි විදර්ශනා භාවනාව දියුණු වන්නේ, මමත්වයෙන් තොරව සිදු කරනු ලබන භාවනාව තුළ දියුණු වන්නේ කුසලය යි. සරලව පවසන්නේ නම් විදර්ශනාව තුළ දියුණු වන්නේ කුසලය යි.

දාන, සීල , භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා බුදුපියාණන් වහන්සේගේ ම ඉගැන්වීමක් නොවේ. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ලෝකයේ පහළ වන්නටත් ප්‍රථම මිනිසුන් දාන, සීල සහ භාවනාවන් පුරුදු පුහුණු කර තිබෙනවා. අබුද්ධෝත්පාද කාලවලදීත් මිනිසුන් මරණින් මතු දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල උපත ලබා තිබෙනවා. ඒ දාන , සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කිරීමෙනු යි. ජාතක කථාවලින් ද ඒ බව මනාව තහවුරු වෙනවා.

විශ්ව ධර්මතාව නම් සසරට පැමිණීමේ දොරටුව සදාතනික ව විවරව පැවැතීම යි. එයට බුද්ධෝත්පාද කාලය හෝ අබුද්ධෝත්පාද කාලය වශයෙන් කාලයේ වෙනසක් නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයේ දී සිදුවන තවත් විශේෂ සිදුවීමක් තිබෙනවා. ඒ අබුද්ධෝත්පාද කාලයේ වැසී පවතින සසරින් පිටවීමේ දොරටුව බුද්ධෝත්පාද කාලයේ දී විවර වීමයි. සත්ත්වයා තම සංසාර පැවැත්ම නවතාලමින් සසරින් පිටවීමේ දොරටුව වෙත ළගා වෙන්නේ මේ විදර්ශනා භාවනාව තුළින්ම යි.

සමථ භාවනාව ලෞකික යි. එය සම්මුති සත්‍යයේ පිහිටා සිදුකළ යුත්තක්. ලෞකික භාවනාවන් සිදුකොට ලෝකයෙන් එතෙරවීම හෙවත් ලෝකෝත්තර වීම සිදු කරන්නට බැහැ. සිදුහත් කුමරුන් ලොව පහළ වන විට සිටි ආලාරකාලාම, උද්දකරාමපුත්ත සහ අසිත වැනි තවුසන් ද සමථය තුළින් බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නට තරම් සිත දියුණු කර ගත් අය යි.

නමුත් ඔවුන් දැන සිටියේ කාම ලෝකවලින් රූප ලෝකවලට හෝ අරූප ලෝකවලට ගමන් කිරීමේ ක්‍රමය යි. ඒ භාවනා ක්‍රමවලින් සිදුවන්නේ එක් ලෝකයකින් ඉවත් ව තවත් ලෝකයක පතිත වීම පමණ යි. කාම, රූප සහ අරූප යන ලෝක තුන ම ලෝකයට අයිති ලෞකික ලෝක යි. මේ ලෝකවලට අයිති වෙනවා යනු භවගාමී සත්ත්වයෙක් වෙනවා කියන එකයි. ඒ තුළින් වන්නේ ද සත්ත්වයාගේ පැවැත්ම තහවුරුවීම පමණ යි. යමෙක් විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නේ ඒ තැනැත්තා මේ තලයෙන් ඉවත්ව තවත් තලයක පතිතවීමට නො ව ලෝකයෙන් එතෙර වීමටයි. ලෝකෝත්තර වීමට යි. ඒ අනුව සමථය සසරට යි, විදර්ශනාව නිවනට යි යනුවෙන් අප තේරුම් ගත යුතු වෙනවා.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]