[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් - 41: පියවරෙන් පියවර වරදින් නිදහස් වීම

තෙවළා බුදු වදන් අතරින් - 41:

පියවරෙන් පියවර වරදින් නිදහස් වීම

බුද්ධ වචනය අනුව වීතරාගී උතුමන් හැර අන් පුහුදුන් සැම කෙනෙක් තුළ ම ප්‍රකට ව පෙනෙන හෝ නොපෙනෙන කායික, වාචසික හා මානසික වැරැදි අඩුපාඩු කොතෙකුත් තිබේ. වැරැදි නැති කිසිවෙකුත් පුහුදුන් ලෝකයෙහි විද්‍යමාන නොවේ.

විවිධ වැරැදි සඳහා පුද්ගලයා මෙහෙයවන බලවේගය වන්නේ ඔහුගේ සිතෙහි පවතින අකුසල සහගත සිතිවිලි ය. ඉන්ද්‍රියයන් මගින් ලැබෙන විවිධ අරමුණු මගින් එම අකුසල සිතිවිලි නිතර නිතර පෝෂණය වේ. එසේ පෝෂණය වන අකුසල සිතිවිලි තිදොරින් ප්‍රකාශය ට පත් වේ. තිදොරින් වන වැරැදි අතුරින් කයින් හා වචනයෙන් වන අකුසල චර්යා පුද්ගලයාට මෙන් ම සමාජය ට ත් ඍජුව ම බලපාන අතර, මනසේ පවතින අකුසල චේතනා එක් අතකින් පුද්ගලයාගේ සිත බලවත් ලෙස කිලිටි කරයි. එසේ කිලිටි වූ සිතින් දැන හෝ නොදැන සිදු කෙරන වැරැදි නිසා ද පුද්ගලයාත්, සමාජයත් අපහසුතාවට පත්වේ. මේ අනුව පුහුදුන් සැම කෙනෙක් අතින්ම විවිධ හේතු පදනම් කරගෙන වැරැදි සිදු වේ. ඇතැමෙක් ඉතා බරපතළ වැරැදි සිදුකරන අතර, ඇතමෙකු විසින් සාමාන්‍ය වැරැදි පමණක් සිදුකරනු ලැබේ. විවිධ අවස්ථාවල සිදුකරනු ලබන වැරැදිවලට අනුරූපව දඩුවම් විඳීමට සිදු වේ. සාමාන්‍ය නීති විරෝධි ක්‍රියාවලට නීතිය මගින් දඬුවම් ලබාදෙන අතර, එය අධිකරණමය ක්‍රියාවලියක් යටතේ සිදු වේ. ඇතැම් වැරැදිවලට නීතියෙන් දඬුවම් නියමකළ නොහැකි වුව ද සමාජයෙන් ලැබෙන නින්දා අපහාස හා ගැරහුම් නිසා එක්තරා ආකාරයට දඬුවම ට ලක් වේ. බුදු දහම ට අනුව කර්මානුරූපව විඳීමට සිදුවන දුක් වේදනාවන් ද, වරදට ලැබෙන එක්තරා දඬුවම කි. වැරැදි කළ කිසිවෙකුටත් දඬුවමින් බෙරී පලා යා හැකි, සැඟව සිටිය හැකි තැනක් නොමැත. නීතියෙන් බේරී සිටිය හැකි මුත් කර්ම විපාකයෙන් බේරී සැඟව සිටිය නොහැකි ය. තමා කළ පාපය හා අකුසල කර්මයේ විපාක තමා පිටුපස ගමන් කරයි. සැම කෙනෙක් ම තමා කළ වරදට අනුරූප ව දඬුවම් විඳීනු ලැබේ. බුදුරදුන් වදාළේ තමා කළ පාප කර්මය ට අනුරුපී වූ විපාකයෙන් සැඟවී සිටිය හැකි තැනක් ලොව කිසි තැනක නොමැති බව යි.

දැන හෝ නොදැන වැරැදි සිදුවීම පුහුදුන් ස්වභාවය වුව ද, එම වැරැදිවලින් වැළකීමේ හැකියාව සැම කෙනෙකුට ම තිබේ. සැම කෙනෙකුට ම හොඳ නරක, යහපත, අයහපත, පින් පව් ගැන සුළු හෝ අවබෝධයක් තිබේ. විශාල වශයෙන් වැරැදි කළ පුද්ගලයන්ට වුව දඬුවම් විඳීමට සිදුවන විට මහත් බියක් හා වේදනාවක් ඇති වේ. එවැනි බරපතළ වැරැදි කළ පුද්ගලයන් නීතියේ රැහැණින් මි¼දීමට දරණ ප්‍රයත්නයෙන් එය සනාථ වේ. බොහෝ විට ඔවුන් ට තමා කළ වරදෙහි බරපතළ බව වැටහෙන්නේ සිරගත වූ පසුව ය. කවර වරදක් කළ අයෙකු වුව ද තම ජීවිතයට දක් වන්නේ මහත් ආදරය කි. එබැවින් ඔවුහූ මරණය අභියස මහත් තැති ගැනීමට ලක් වේ. මෙම පසුබිම යටතේ සැම කෙනෙක් තුළ ම තම වරද දැකීමේ හැකියාවක් නිසර්ගයෙන් ම පවතී. බුදුරදුන් දේශනා කළේ තමා කළ වරද ,වරද (අච්චයං අච්චයතො දිස්වා යථධම්මං පටිකරොති ) වශයෙන් දැකීමට හැකි නම්, එයම ආයති සංවරය හෙවත්, වරදින් නිදහස් වීමට මාර්ගය වන බවයි. කෙනෙකු වරදක් සිදු කොට උන්වහන්සේගෙන් සමාව භජනය කිරීමට සූදානම් වන මොහොතේ දේශනාකොට වදාළේ ඔබ කළ වරද ,වරදක් ලෙස දකින්නේ නම් මම එය පිළි ගනිමි (තන්තෙ මයං පටිහණ්හාම) යනුවෙනි. මේ අනුව තමා කළ වරද, වරදක් ලෙස දැකීම මෙන් ම එය අවබෝධකර ගැනීම බෙහෙවින් වැදගත් වේ. බොහෝ දෙනෙකු තමා කළ වරද වරදක් ලෙස නොදකිති. ඔවුන් උත්සාහ කරන්නේ හැමවිට ම තමා කළ වරද හැකිතාක් සඟවා තබා ගැනීමට මෙන්ම, නොපිළිගෙන සිටීම ට ය. නැතහොත් තමා කළ වරද සාධාරණීකරණය කිරීම ට ය. මෙනිසා විවිධ පුද්ගලයන් අතර විවිධ අර්බුද නිර්මාණය වේ. එකිනෙකා තමා කළ වරද නොපිළිගැනීමත්, වරද නොදැකීමත්, නිසා ඇතිවන අර්බුද පවුලෙන් පටන්ගෙන රටේ ඉහළම ආයතන දක්වා ව්‍යාප්තව තිබේ. තමා කළ වරද අවංක ව පිළිගන්නේ නම් බොහෝ අර්බුද දුරදිග යාමෙන් වළක්වාගත හැකි වේ.

වරද පිළිගැනීම මෙන්ම තමාගේ වරද පෙන්වාදීමට සෙසු අයට ආරාධනා කිරීමත් උදාර පුද්ගලයන්ගේ සිරිතක් වේ. මෙය බුදුරදුන් වැනි උතුමන් ද අනුගමනය කළ චාරිත්‍රයක් බව බුද්ධ දේශනා මගින් පැහැදිලි වේ. වස් වැස නිම කළ භික්ෂූන් ට පවාරණ චාරිත්‍රය නිර්දේශ කළේ මෙම උත්තම පරමාර්ථයෙනි. තෙමසක් එක්ව වාසය කළ භික්ෂූන් වහන්සේලා තමන්වහන්සේලාගේ ඇසු දුටු, සැක කළ වරද ,පෙන්වාදීමට ඔවුනොවුන් ට ආරාධනා කිරීම මෙම චාරිත්‍රයේ මූලික හරය වේ. මෙමගින් සංඝයාගේ සමගිය ත් ,අභ්‍යන්තර පාරිශුද්ධත්වය ත් ආරක්ෂා විය. මෙම චාරිත්‍රය කවර සමාජයක ට වුවද ආදේශ කර ගත හැකි ය. බුදුරදුන් අනුදැන වදාළ මෙම චාරිත්‍රය දියුණු ලෝකයේ බොහෝ රටවල විවිධ සමාජ ආයතනවල ක්‍රියාත්මක වේ. ඒවා විවිධ නම්වලින් හැඳීන්වුණ ද, එයින් මූලික වශයෙන් අදහස් වන්නේ බුදුරදුන් වදාළ පිළිවෙත ය. එනම් අවංක සිතින් එකිනෙකාගේ වරද පෙන්වා දීම යි. බුද්ධ වචනය අනුව වරද පෙන්වා දෙන තැනැත්තා නිධානයක් පෙන්වන තැනැත්තෙකු සේ සැලකිය යුතු වේ (නිධීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං). ඔවුනොවුන්ගේ වරද පෙන්වා දීමත්, එය පිළිගැනීමත්, එසේ පිළිගෙන එයට පිළියම් යෙදීමත් වැරැදි නිවැරැදිකර ගැනීමේ බෞද්ධ පිළිවෙත වේ.

දැන හෝ නොදැන සැම කෙනෙක් අතින් ම වැරැදි සිදු වේ. එහෙත් එම වැරැදිවලින් වැළකීමට උත්සුක වීම වැදගත් වේ. යකඩය විනාශ වන්නේ එහිම හටගත් මලකඩ හේතුවෙනි. කම්මල් කරුවා එහි මලකඩ ක්‍රමයෙන් සූරා පිරිසුදුකොට යකඩයෙන් අවශ්‍ය දෑ නිර්මාණය කොට ප්‍රයෝජනයට ගනී. එසේම නුවණැති තැනැත්තා පිළිවෙලින් (අනුපුබ්බේන මේධාවි) තම වැරැදි නමැති මළකඩ සූරා ඉවත්කොට පිරිසුදු කෙනෙක් බවට පත් වේ. තමා සතු සියලු වැරැදි එක් ක්ෂණයකින් නිවැරැදි කරගත හැකි අයෙකු ලොව විද්‍යමාන නොවේ. වරදින් නිදහස් වීමට දැනුම, සමාජ අවබෝධය මෙන් ම, පරිණත බව ද අවශ්‍ය වේ. ඇතැම් විට කාලය ද අවශ්‍ය වේ. කෙනෙකු තරුණ අවදියේ කළ වැරැදි වැඩිහිටියෙකු වූ පසුව නොකරන්නේ පරිණත බවේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේ නැතහොත් අත්දෑකීම් තුළින් ලබාගත් දැනුම හේතුවෙනි. නීතිය, යුක්තිය හා සදාචාරය පිළිබඳ දැනුම ද, වරදින් නිදහස් වීමට අවශ්‍ය වේ. උගතුන්, බුද්ධිමතුන් හා පරිණත වැඩිහිටියන්ගේ මාර්ගෝපදේශකත්වයත් ඒ සඳහා ඉවහල් වේ. ඒ සියල්ල වරදින් නිදහස් වීමට අභිප්‍රේරණයක් බව ට පත් කර ගත හැකි ය.

නිවැරැදි අර්ථවත් ජීවිතයක් ගොඩනගා ගැනීමට කල්‍යාණමිත්‍ර ආශ්‍රය බෙහෙවින් උපනිශ්‍රය වේ. අග්‍රෝපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ වරෙක සඳහන් කොට වදාළේ සසුනෙන් අඩක් කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත රැෙඳන බවයි. එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් බුදුරදුන් දේශානාකොට වදාළේ අඩක් නොව සමස්ත සසුනම කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත පදනම්ව පවතින බවයි. කෙනෙකුගේ වරද අවංකව යහපත් චේතනාවෙන් පෙන්වාදීම කල්‍යාණමිත්‍රයාගේ ලක්ෂණය වේ. බොහෝ දෙනෙකු අන්‍යන්ගේ වැරැදි අඩුපාඩු තැනින් තැන කියාපෑමට දක්වන්නේ මහත් රුචිය කි. එය සැබෑ කල්‍යාණ මිත්‍රයෙකුගේ ලක්ෂණය නොවේ. සැබෑ කල්‍යාණ මිත්‍රයා තම මිතුරාගේ වැරැදි අවංක සිතින් පෙන්වා දෙමින් නිවැරැදි මගකට යොමුකරනු ලැබේ. කොතෙක් අවබෝධය තිබුණත්, නිසි මගපෙන්වීම ලැබුණ ත්, කිසිවෙකු ට ත් එක් ක්ෂණයකින් නිවැරැදි අයෙකු බවට පත්විය නොහැකි ය. එබැවින් වරදින් නිදහස් වීම අවබෝධය පදනම් කරගෙන සිදුවිය යුතුයි. බුදුරදුන් වදාළ පරිදි එය කළ යුත්තේ පියවරෙන් පියවර ය. ධර්මය, නීතිය, යුක්තිය හා සදාචාරය පිළිබඳ මනා අවබෝධයක් ඇති තැනැත්තා තම අධ්‍යාත්මයෙහි වූ මලකඩ ක්‍රමයෙන් සූරා ඉවත්කොට නිවැරැදි අයෙකු බවට පත් වේ. එසේ තම අතීත වැරැදි අවබෝධකරගෙන එයින් මිදුණු පුද්ගලයා වලාකුළෙන් මිදුණු චන්ද්‍රයා මෙන් බබළයි. තමා ට මෙන් ම, ලෝකය ට ද ආලෝකයක් වෙයි.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]