[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර පසළොස්වක 2019.07.16

සිව්සස් දහමට ළංවෙමු


සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් පුරා උතුම් සම්බුදු පදවිය ලැබ තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ මංගල ධර්ම දේශනය ලෝකයට දායාද කළ උතුම් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. අකාලික වූ ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් සරණ යන කවරෙකු වුව ද මේ කටුක දුක් පිරි ඝෝර සසර මග කෙළවර කර උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් කරනු නො අනුමාන ය.

දිනෙන් දින උග්‍රවන පීඩාකාරි ජීවන රටාව නිසා ඇති වූ මානසික ආතතියෙන්, අතෘප්තිකර බවින් මානසික රෝගීන් බවට පත් වූ පිරිස් අද ලෝකයේ සුලභ ය, වෛරය, ක්‍රෝධය, කෝපය, ඊර්ෂ්‍යාව. කුහකත්වය,පළිගැනීම තුළ මිනිස් චර්යා ධර්ම විපරීත වී ඇත. උනුන් පරයමින් නැගී සිටින්නට වෙර දරනු විනා හොඳ නරක තෝරා, බේරාගෙන මනුෂ්‍යත්වයේ ගරුත්වය ආරක්ෂා කරන්නට උත්සුක වන්නෝ අවම ය. අසමගිකම්, ගැටුම්, ප්‍රශ්න මැද රාග, ද්වේශ, මෝහාදී ගින්නෙන් දැවෙන මිනිසුන්ගේ සිත අස්වැසීමට හොඳම ඔසුව අප තථාගතයන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය ම ය.

එකම මග නොයා වෙන් වෙන් මග යමින් ධර්ම චාරිකාවෙහි හැසිරෙන ලෙස තමන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක සැට නම අමතා උන්වහන්සේ දේශනා කොට වදාළේ බහුජන හිත පිණිස ම ය. බහුජන සුව පිණිස ම ය. අද ද අපට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දුරස් නැත. සමීප ය. එහෙත් අපි දුකට වැටී සිටිමු. මංමුළා වී සිටිමු. එයට හේතුව ධර්මය සමීප වුව ද, නුවණින් අවබෝධ කරගෙන නො තිබීම ය. ලෝකෝත්තර සුව සදන ගැඹුරු ධර්ම කරුණක් තබා ලෞකික ජීවිතය ඔපවත් කරන සරලම ධර්ම කරුණකින් ජීවිතය අර්ථවත් කරගන්නට පවා ඇතැම් බෞද්ධයන්ට ද නොහැකි ය. ඒ, නමට මිස සැබෑ ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ නො ගිය නිසා ය.

අපගේ ජීවිතයේ විසඳුම් නැතැයි නිරන්තරයෙන් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් අප සමීපයේම ඇත. ඒ ශ්‍රී සද්ධර්මය ම මිස අන් කවරක් වේ ද? අතීතයට වඩා ඒ දහම් මග දැන ගැනීමේ මාර්ග අද අසීමිත ය. ඇවැසි නුවණ යෙදවීම පමණි.

විවිධ හේතුන් නිසා අපි ඔවුනොවුන්ට වෛර කරමු. ඒ වෛරී සිතිවිලි නිසා දැවෙන්නේ අපගේ සිත ම ය. අපිරිසුදු වන්නේ අපගේ සිත ම ය. වෛරී සිතිවිලි නිසා ඇතිවන කෝපය මහා විපත් ඇති කරයි. තමන්ට ලද නොහැකි දේ අනුන් ලබන කළ දැනෙන ඊර්ෂ්‍යා සහගත සිතිවිලි පරිහානියට ඇදගෙන යන්නේ තමන් ම ය. අනුන් නොවේ. පළි ගැනීමෙහි අවසානය දුක ය. වේදනාකාරී ය. ඒ අනර්ථය දෙපාර්ශ්වයට ම ය.

සිත අපිරිසුදු කරන මෙවැනි සිතිවිලි උපදින්නේ ධර්මය පිළිබඳ අනවබෝධයෙන් යුතු පුද්ගලයාට ය. ඉපදීම දුකකි. වියපත් වීම, ලෙඩවීම, මරණය දුකකි. සියලු මනුෂ්‍යයන්ට එය පොදු ය. කිසිවෙකුට බේරි සිටින්නට නො හැකිය. මේ තරම් ප්‍රශ්න ඒ ධර්මතාව ගැන නො තේරුම්කම ය. තණ අග රැඳි පිනි බිඳුව කවර මොහොතක ගිලිහී වැටේදැයි අවිනිශ්චිත ය. මේ ජීවිතය ද එවැනි ය. කවර මොහොතක ප්‍රාණය ගිලිහී යා හැකි දැයි කිව හැකි සමතෙක් නැත. ඇස් පිල්ලමක් ගසා ඊළඟ ඇස් පිල්ලම ගසන මොහොතේ, ඉහළට ගත් හුස්ම පහළට හෙළන මොහොතේ මරණය සිදුවිය හැකි ය. මරණය ඉදිරියේ අප සියල්ලෝ ම අසරණය . එසේනම් ඉපදී මියයන ඇසිල්ලෙහි උනුන් හා ගැටුම් කුමට ද? ජීවිතාවබෝධයෙන් සාමයෙන්, සමගියෙන් ජීවත්ව මිය යාම ම අර්ථවත් නොවන් නේ ද?

අප ගේ සිත මොහොතින් මොහොත සෙලවෙයි. වෙනස් වෙයි. සිත මනා කොට පිහිටුවා නො ගතහොත් සිදුවන්නේ ජීවිතය අයාලේ යාම ය. මේ නිසා සිත සංවර කරගත යුතුම ය. ධර්මයෙහි එය සඳහන් කරන්නේ දුර ගමන් යන, තනිව හැසිරෙන ශරීරයක් නැති, හදවත නමැති ගුහාවෙහි වාසය කරන සිත යමෙක් සංවර කර ගනී ද, හේ මාර බන්ධනයෙන් මිදෙන බව ය. සිත සංවර කර ගැනීමේ මග භාවනාව ය. තමන්ටත් ඒහා සමානව අනුන්ටත් මෛත්‍රිය වැඩිය නොහැකි සිතකට භාවනා වැඩිය නොහැකි ය. ඒ නිසා ගිනිගෙන දැවෙන සිත මෛත්‍රිය නම් වූ සිසිල් දිය දහරින් නිවා දමමු. සංවර කරගත් සිතින් ජීවිතයට මුහුණ දෙන්නට මේ පුන් පොහෝදා අදිටන් කර ගනිමු.

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 01.48 ට ලබයි. 17 වන දා බදාදා පූර්ව භාග 03.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 25 වන දා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]