[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දානයෙහි ආනිශංස

දානයෙහි ආනිශංස

දානය නම් දීමයි. පරිත්‍යාග චේතනාවෙන් කරන දීම දානයට ඇතුළත් වේ. දානය ප්‍රධාන වශයෙන් අංශ දෙකකට බෙදේ. එනම් ආමිස දානය හා ධර්ම දානයයි.

ධර්ම දානය ප්‍රතිපත්ති දානය ලෙස ද හැඳින්විය හැක. ආමිස දානය පෞද්ගලික හා සාංඝික වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ. ඒ අනුව ම:නි:දක්ඛිණා විභංග සූත්‍රය තුළින් ඒ පිළිබඳ පූර්ණ විවරණයක් කර ඇත. ඒ අතර පෞද්ගලික දාන 14 ක් දක්වා ඇත. සාංඝික දාන 7 ක් පිළිබඳ දේශනා කොට ඇත. සාංඝික දාන 7 අතුරින් පළමු දානය වන්නේ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී යන උභතෝ සංඝයා කෙරෙහි දෙන දානයයි.

කාලීන වශයෙන් දිය හැකි ලේසිම, පහසුම සාංඝික දානය වන්නේ ද බුදුන් ප්‍රමුඛ මහා සංඝයා කෙරෙහි දෙන දානයයි. බුදු සසුනේ මහා සංඝයා කෙරෙහි දානය දීමේ දී සිල්වත්කම අනුව දානානිසංස ද අඩු වැඩි වන ආකාරය පැහැදිලි වේ. ඒ අනුව තිරිසන්ගත සත්වයා කෙරෙහි දන් දීමෙන් සියයක් අනුසස් ද, පුහුදුන් දුස්සීලයාට දීමෙන් දහසක් අනුසස් ද, වීතරාගී තවුසාට දීමෙන් කෙළ ලක්ෂයක් අනුසස් ද, සෝවාන් මාර්ගයට පත් ශ්‍රාවකයාට දීමෙන් අසංඛෙය්‍ය, අප්‍රමෙය්‍ය අනුසස් ද ලබන බවයි. සෝවාන් ඵලයට පත් වූ ශ්‍රාවකයාට දන් දීමෙන් ලැබෙන අනුසස් කියා නිම කළ නොහැකි බව දේශනා කළහ.

සාංඝික වශයෙන් දානය දීමේ දී අතීත, වර්තමාන , අනාගත යන කාල තුනටම අයත් මහා සංඝ රත්නය ම එයට ඇතුළත් වනු ඇත. ඒ නිසාම එහි ආනිසංස ද “අනන්තං අප්පමෙය්‍ය වදාමි” යනුවෙන් අනන්ත අප්‍රමාණ අයුරින් ප්‍රමාණයක්, සීමාවක් නොදක්වා දේශනා කොට ඇත. යමෙක් පෞද්ගලිකව බුදුරදුන්ට දුන් දානය තුළින් වුවද සාංඝික දානයකින් ලැබෙන ආනිසංස ලබා ගැනීමට අපොහොසත් වෙති. ඒ බව බුදුන් දවස සිදුවීමකින් තහවුරු වේ. වරක් ප්‍රජාපතී ගෝතමිය තමාම නූල් කැට, සකසා වියන ලද අලුත් වස්ත්‍ර යුගලක් රැගෙන බුදුන් වෙත එළඹ එය පිළිගන්නා ලෙස තෙවරක්ම පිළිගැන් වූ ව ද බුදුරදුන් එය පිළිනොගෙන දේශනා කළේ,

“සංඝෙ ගොතමී, දෙහි. සංඝෙ තෙ දින්නෙ අහං චෙව පූජිතො භවිස්සාමි” (ගෝතමිය, මේ වස්ත්‍ර යුගල සංඝයාට පුදන්න. සංඝයාට පිදු කල්හි මට ද පුදන ලද්දෝ වෙමු)

එයට හේතුව වන්නේ තම සුළු මවට වැඩි ආනිසංසයක් ලබා දීම උදෙසා සාංඝික වශයෙන් ‘සංඝෙ දෙහි’ යනුවෙන් බුදුරදුන්ට එයට ඇතුළත්ව දීමට හැකි වන බවයි. එයින් පැහැදිලි වන්නේ සංඝ යන වචනයෙන් සමූහය යන අර්ථය දක්වා ඇති බවයි. අද වුව ද දානයක් දීමේ දී “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දෙම” යන වාක්‍ය තුළින් සංඝ සමූහයාට ම දීමක් සිදු වන අයුරු පැහැදිලි කොට ඇත. බුදුරදුන් ප්‍රමුඛ අතීතයේ වැඩ විසූ සංඝ රත්නය ද, වර්තමානය තුළ ලොව පුරා වැඩ වසන සියලු සංඝ රත්නය ද, අනාගතේ පහළ වන කසාව කණ්ඨක දක්වා බිහිවන සංඝරත්නය ද “සංඝස්ස දෙම” කීම තුළින් ඇතුළත් වේ.

අ:නි දාරුකම්මික සූත්‍රය තුළින් බුදුරදුන් දාරුකම්මික ගෘහපතියාට පෙන්වා දෙන්නේ ද ඔබ වැන්නෙකුට භික්ෂූන් තෝරා බේරා දන්දීම අපහසු කරුණක් බවත්, සුදුසුම ක්‍රම වේදය වන්නේ පැහැදුණූ සිතින් යුතුව “සංඝයා වෙනුවෙන් දෙමියි” යන අරමුණෙහි පිහිටා දන්දීමත් කළ යුතු බවයි. දක්ඛිණ විභංග සූත්‍රයට අනුව අනාගතයේ බුද්ධ ශ්‍රාවකයාගේ කෙළවර වන්නේ කාසාවකණ්ඨක නම් දුස්ශීල , පාපී,ළාමක, ගති ස්වභාව, චර්යා ධර්ම ඇත්තෙකුගේ පහළ වීමෙන් ය. අනාගතයේ දී බිහිවන දුස්ශීල ,පාපී, ළාමක ගති ස්වභාව , චර්යාධර්ම ඇති කාසාවකණ්ඨක නැමැති භික්ෂු වේශධාරියාට වුවත් දෙනු ලබන දානය අප පුදන්නේ ආර්ය සංඝයා අරමුණු කරගෙන නම්...එහි සාංඝික දානයේ ආනිසංස ම ඇති බව බුදුන් වහන්සේ වදාළහ

කසාව කණ්ඨක නම් වූ එම වේශධාරි භික්ෂූව බිහිවීම පිළිබඳ සිතීමෙන් ඒ බව තවත් පැහැදිලි වේ. ගෞතම බුදු සසුන වැනසී යෑම පිළිබඳ සිතුවොත් එය සිදු වන්නේ පංච අන්තර්ධානයත් සමඟ ය. බුදු සසුන වනාහි, පරියත්ති, පටිපත්ති, පටිවේධ යනුවෙන් ත්‍රිවිධ වේ. එම ත්‍රිවිධ බුදු සසුනම අන්තර්ධාන පහට අයත් වේ. එම අන්තර්ධාන වන්නේ, අධිගම අන්තර්ධානය, ප්‍රතිපත්ති අන්තර්ධානය , පර්යාප්ති අන්තර්ධානය, ලිංගාන්තර්ධානය හා ධාතු අන්තර්ධානය යන්නයි. එයින් කසාව කණ්ඨක පිළිබඳ ඇතුළත් ලිංගාන්තර්දානය යන කොටසයි.

ලිංගාන්තර්ධානය යනුවෙන් ගැනෙන්නේ ශ්‍රමණ ස්වරූප නොහොත් මහණ වේසයයි. අධිගම ප්‍රතිපත්ති, පර්යාප්ති, යන ඒවා අන්තර්ධාන වීමෙන් පසුව හතරවෙනුවට සිදු වන්නේ ලිංගාන්තර්ධානයයි.

කාලයත් සමඟම භික්ෂූන්ගේ භික්ෂු ආකල්ප පරිහාණියට පත් වන්නේ ය. නිගන්ඨින් ලබු කබල් ගන්නාක් මෙන් වැලමිටින් පාත්‍රය ගැනීම. සිවුරු දැරීම හා ටිකෙන් ටික කඩ කිරීම, පඬු පෙවීම් නොකර සිවුරු දැරීම, පසුව එම සිවුර දැරීම කවර ප්‍රයෝජනයක් ද සිතා කුඩා කහකඩක් අතේ හෝ කරේ හෝ කෙස්සෙහි බැඳගෙන අඹුදරුවන් පෝෂණය කරමින්, කෘෂිකර්ම වෙළඳාම් ආදි කර්මාන්ත කරමින් ජීවත් වීම සිදු කිරීමයි. එකල්හි දක්ෂිණා දෙන්නෝ සංඝයාට දෙමියි ඔවුන් ඉදිරියේ දන් සඳහා යමක් පුදයි ද ඒ දානයට පවා අප්‍රමාණ ආනිසංසයක් ලැබෙන බව ඉහතින් මතක් කළ දක්ඛිණ විභංග සූත්‍ර පාඨයාට අනුව තේරුම් ගත යුතු ය.

මේ ආකාරයට සංඝයා උදෙසා දන් දීමේ දී කසාව කණ්ඨක වුවද හසුවන බව අවබෝධ කරගත යුතු ය. කාසාව කණ්ඨක මොන තරම් දුස්සීල භික්ෂුවක් වුවද ඔහු ද සංඝ හෙවත් සමූහයට අයත් වන්නෙකි. අතීත, වර්තමන, අනාගත යන කාලත්‍රයටම අයත් සියලුම භික්ෂූන් සංඝ යන වදනයෙන් අර්ථවත්වේ. හරියට දම්වැලක පුරුක් සේ මෙම බුද්ධ ශාසනය අවිච්ඡින්නව පැවතගෙන එන්නකි. තම පෞද්ගලිකත්වය මත බෙදීම් හෝ අප්‍රසාද ඇති නොකොටගෙන සංඝ සමාජය උදෙසා පොදුවේ දන් දී එයින් ලැබෙන මහත්ඵල මහානිසංස ලැබ මෙලොව දිවිය සැපවත් කොටගෙන, පරලොව දුක් නැතිකොට ගෙන අවසන නිවනින් සැනසීමට සැමටම ප්‍රඥා ඇස පහළ වේවා.

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි මස 26 වන දා ඉරිදා අපරභාග 08.49 ට ලබයි. 27 වන දා සඳුදා පූර්ව භාග 11.16 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 26 වන දා ඉරිදා ය.

මීළඟ පෝය ජූනි 02 වන දා ඉරිදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]