[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒහි පස්සික 08: සෑම ක්‍රියාවක්ම දහමට අනුව දැකීම

සෑම ක්‍රියාවක්ම දහමට අනුව දැකීම

තමන්ගේ සිතිවිලි නිවැරැදිදැයි හැම මොහොතක ම කල්පනාකාරීව විමසිය යුතු ය. තමන්ගේ සිතිවිලිවලින් තමා ලබන්නේ නිවැරැදි සතුටක්දැයි ඒ සමඟ විමසා බැලිය යුතු යි.

ඒ නිවැරැදි සිතිවිලි උදාකර ගැනීමට නම් මේ ලෝකයට දේශනා කර වදාළ නිවැරැදි ධර්මය අනුව කල්පනා කළ යුතුයි. මේ ධර්මයෙහි වටිනාකම සිතිය යුතු යි. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මය තුළ මනුෂ්‍යයෙකුට ඇතිවිය යුතු යහපත් සිතිවිලි මොනවාද? යනුවෙන් ඒ උතුම් සද්ධර්මය තුළ අඩංගුව පවතී. එම දහම් කරුණු ගවේෂණය කර තම තමන්ගේ සිත්තුළ ඒවා ධාරණය කර ගත යුතු යි.

අන් අයට රිදවා සතුටුවීමේ ගැටලුව මනුෂ්‍යයා තුළ තිබේ නම් මනෝවිද්‍යාවේද සඳහන් වනුයේ එය ව්‍යාධියක් ලෙස ය. ඒ සඳහා කළයුතු පැහැදිලි වැඩ පිළිවෙළක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පවතී. අවිහිංසා සිතිවිලි ඇතිකර ගැනීම සඳහා කරුණාව, මෛත්‍රිය ආදී ගුණාංග වර්ධනය කරගත යුතුයි. ඒ ගුණාංග වර්ධනය කර ගැනීමට තමන් හා සම කොට අනෙකුත් අය ගැන සිතිය යුතු ය. ඉහත කී අයුරින් පීඩාවට පත්වන තැනැත්තාගේ මානසික ස්වභාවය කුමක්දැයි කල්පනා කරමින් තමන් එබඳු තත්ත්වයකට පත්වුවහොත් උදාවන තත්ත්වය ගැන ඉතා සංවේදීව බැලිය යුතු ය. එසේ එම ගුණ දහම් අප තුළ පුරුදු පුහුණු කරන විට අපගේ සිත්තුළ අනුකම්පා සහගත සිතිවිලි පහළ වේ.

යම් සතෙකුට දුක් පීඩා ඇති කරන විට ඒ දුක් පීඩා අපගේ මනසට දැනී ගියහොත් අප නැවත එබඳු පීඩා කිරීමට නොපෙළඹේ. පත්තෑයා කියන සත්ත්වයා තම නිවසට ඇතුළුවන විට ඒ සත්වයා තලා පොඩිකර නිවසෙන් එළියට විසිකර දමන විට අනෙකුත් කුරා කුහුඹින් සිය ගණනක් පැමිණ ඒ සත්ත්වයා වටකර ගෙන කා දැමීමෙන් ඇතැම් විට නොමැරී පැය ගණනක් දුක් විඳිනු ලැබේ. එබඳු සිද්ධියක් දෙස යම් තැනැත්තෙකු නිවැරැදිව, සත්‍යවාදීව බැලූ විට තමා ලද වැරැදි සතුට නිවැරැදි කර ගැනීමේ හැකියාව ද උදා වේ. ඉහත සඳහන් කළ පරිදි රත්තරන් යැයි සිතා වෙනත් ලෝහවර්ගයකින් කළ මාලය ගැන නිවැරැදිව වටහා ගන්නේ නම් ටික වේලාවක් හෝ ගත වී තමාට එය වටහා ගත නොහැකි නම් බාහිර අයෙකු මාර්ගයෙන් හෝ එය නිවැරැදි දැයි රන්කරුවකුගෙන් හෝ විමසා සොයා ගැනීමට උත්සාහ කරනු ලැබේ.

ඒ අයුරින් තමා විඳින සතුට වැරැදිද? නැතහොත් නිවැරැදිද යනුවෙන් තමාට විසඳා ගත නොහැකි වූ විට කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් එය සොයා ගත හැකිව පවතී. ඒ සඳහාමයි බුද්ධ ශාසනයේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය උතුම් කොට සලකනු ලබන්නේ.

හැම මොහොතකම කල්පනාවට ගත යුත්තක් නම් තමාගේ සිතට දැනෙන දේ හරිද? නැතිනම් වැරැදිද? ඒ මගින් නිවැරැදි සිතිවිලි ඇති කර ගැනීමටත්, වැරැදි සිතිවිලි ඈත් කර දැමීමටත් විශාල උත්සාහයක් ගත යුතු වේ. නුවණැත්තා හැම විට අදහස් කරනුයේ තම සිතට දැනෙන දේ වැරැදිද? නිවැරැදිද? යනුවෙනි.

තවදුරටත් මෙය විස්තර කිරීමේ දී සමාජයේ බොහෝ දුරට ඇසෙන කතාවක් දෙස බලමු. තමන්ගේ සිතට එකඟව නිවැරැදිව ජීවත්වන බව ඇතැම් අයෙක් පවසති.

තම සිතට එකඟව ජීවත්වීම නිවැරැදියැයි බොහෝ දෙනා බොහෝ විට කල්පනාවට ගන්නා කරුණකි. එසේ සිතට එකඟව ජීවත්වන ඇතැම් අවස්ථා තිබිය හැකි ය. ඒ අවස්ථා නම් සිතේ ඇති වූ සිතිවිලි ධර්මානුකූල නම් එබඳු අවස්ථා නිවැරැදි ය. එහෙත් එසේ හටගත් සිතිවිලි ධර්මයට එකඟ නොමැති නම් සිතට එකඟව ජීවත් වූවා යැයි කීම වැරැදි ය.

එසේ නම් තම සිතට දැනෙන කරුණට එකඟව ජීවත්වීම නොව ධර්මයට එකඟව තමන් ජීවිතය ගත කරන්නෙකුදැයි බැලීමට නම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය පවත්වා ගත යුතු ය. එමෙන්ම ධර්මය ශ්‍රවණය කළ යුතු යි. නිබඳව එසේ නිවැරැදි දිසාවට අප යොමු වනවා යනු නිවැරැදි දෘෂ්ටියකට පැමිණිය යුතුයි. නිවැරැදි සිතිවිලි අනුව ලොව පවතින සත්‍යය තත්ත්වය අරමුණු වන ආකාරයට අපගේ සන්තානය සකස් කරගත යුතුයි. එබැවින් තමන් කරන සෑම ක්‍රියාවක් ම තම තමන්ගේ කෝණයෙන් නොබලා දහමට අනුව බැලීමට පුරුදු පුහුණු විය යුතු යි. තමන්ගේ සිතිවිලි වැරැදි නම් ඒවා ඉක්මනින් වෙනස් කර ගත යුතු ය. සකස් කර ගත යුතු ය. වැරැදි ක්‍රියාවෙන් සතුට ලබන අයට ඉන් ඉවත් විය නොහැක්කේ වැරැදි යැයි අවබෝධ නොවන හෙයිනි.

වැරැදි කරුණුවලින් සතුටුවන තැනැත්තාට ඇතිවන ප්‍රධාන ගැටලුව නම් ඒ වරදින් අත මිදීමට ගිය විට දරා ගත නොහැකි තරමේ දුකක් හට ගැනීමයි. වරදට නැවත නැවතත් යන අතර ඒ වරදෙහි ම නැවතත් ඒ තැනැත්තාට දුක ඇතිවේ. ඊට ඇබ්බැහිවීම යනුවෙන් ව්‍යවහාරයේ පවතී. වැරැදිවලට ඇබ්බැහිවීම යනු ඒ වරද කරන්නාට එය නතර කර ගත නොහැකි බවයි.

සෑම අකුසලයකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය මෙනෙහි කිරීම් ධර්මය තුළ පවතී. සෑම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ මෙනෙහි කිරීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මය තුළ පවතී. මෙතරම් වටිනා දහමක් අප වෙත ලැබී තිබෙද්දී සෑම අංශයක් ම සාර්ථක ජීවිතයක් දහම තුළින් ගොඩනඟා ගත හැකිව තිබේ.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]