[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිතට විරිතට මුල්තැන දෙමු

සිරිතට විරිතට මුල්තැන දෙමු

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තුළින් වඩ වඩාත් ඉස්මතු වෙන්නේ අපේකමයි. භාෂාව, ආගම නිසා පුද්ගලයාගේ සිතුම්, පැතුම් ආදියේ ඇති වූ දියුණුවෙන් හා විනීතභාවයෙන් “අපේකම” පෝෂණය වෙයි. එහෙත් වර්තමානයේ අපේකම කුමක්දැයි හඳුනාගත නොහැකි තරමට ම අප ඇතැම්විට සංකර වෙමින් පවතී.

සෙසු ජාතීන්ගෙන් තවත් ජාතියක් වෙනස් වන්නේ එම ජාතිය සතුව පවතින විචිත්‍රවත් වූ සංස්කෘතිකාංගවලිනි. සිරිත් විරිත්වලිනි. සංස්කෘතියෙන්, සිරිත් විරිත්වලින් ජාතියක් සුපෝෂිත වීමෙන් එම ජාතිය සෙසු ජාතීන් අතර සුවිශේෂ වේ. අභිමානවත් ප්‍රෞඩ ජාතියක් බවට පත්වෙයි. එබැවින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපට වැදගත් වෙයි.

වර්ෂයේ මාස දොළහක් තිස්සේ මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ඒ ඒ රාශිවල ගමන්කර වසන්තය උදාකරමින් පැමිණි සූර්යයා භාග්‍යවන්ත මාසයේ හෙවත් බක් මාසයේ මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වී නව ගමන් වාරය අරඹන සුවිශේෂ දවස සිංහල අලුත් අවුරුද්ද ලෙස සැලකෙයි. සිංහලයන් පමණක් නොව හින්දු භක්තිකයෝ ද මෙම අලුත් අවුරුද්ද ‘හින්දු අවුරුද්දක්’ ලෙස සලකති. හින්දූන්ගේ උත්තරීතර දෙවියෝ වූ “ශිව දෙවියන්” සූර්ය වේශයෙන් සිට ලෝකයාට ආලෝකය බෙදා දෙන බව ඔවුහු විශ්වාස කරති. හින්දූන් ගේ විශ්වාසය වනුයේ මේ ලෝකයේ ජීවි අජීවි සියලුම වස්තූන්ට ම ශක්තිය ලබා දෙනුයේ සූර්ය දේවතාවා බව ය. එබැවින් මේ අවුරුදු සමය සිංහල අලුත් අවුරුද්ද ලෙස සැලකෙයි.

අලුත් අවුරුද්දේ සුවිශේෂ ම වටිනාකම ගැබ් වී ඇත්තේ අවුරුදු සිරිත්, විරිත්වල ය. අවුරුදු සිරිත් විරිත්වලින් පුද්ගලයා දෙයාකාරයකින් අලුත් වෙයි. ඇඳුමෙන් පැළඳුමෙන් අලුත් වෙයි. එමෙන් ම මානසිකවත් අලුත්වෙයි. මානසිකව අලුත් කරන අවුරුදු සිරිත වනුයේ නොනගතයයි. අවුරුදු සිරිත් - විරිත් ආරම්භ වන්නේ ද “නොනගතය” කියන අවස්ථාවෙන් පසුව ය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමට ගතවන අතරතුර කාලය “නොනගතය” හෙවත් නැකතක් නොයෙදුනු අවස්ථාව ලෙස සැලකෙයි. මෙම අවස්ථාව උදාවීමට පෙර සිංහලයෝත්, හින්දු භක්තිකයෝත් සියලු වැඩ කටයුතු නැවතිය යුතු ය.

 “නොනගතය’ උදාවු කල්හි තෙල් මල් හඳුන්කූරු රැගෙන, අලුත් අවුරුද්දේ තමන් විසින් සකස් කරගත් රසකැවිලි ආදී කෑම වර්ගත් රැගෙන සිංහල බෞද්ධයෝ නම් විහාරස්ථානවලට යති. බුදුන් පුදා අවුරුද්ද පුරාවටම ගමේ විහාරස්ථානයේ වැඩ වසමින් ගම් වැසියන්ට අර්ථයෙන් ,ධර්මයෙන් අනුශාසනා කරන භික්ෂූන් වහන්සේට දැහැත් හුරුලු පිළිගන්වා දණ නමස්කාර කරති. නව වසරට ආශිර්වාද ලබා ගනිති. එය අතීතයේ සිටම කොයි කවුරුත් සිදු කළ සිරිතකි. හින්දු භක්තිකයෝ ද තම ආගමික ස්ථානවලට ඒකරාශි වී දෙවියන් පුදා ආශිර්වාද ලබා ගනිති. සාමාන්‍යයෙන් ආගමක් ධර්මයක් අනුව හැඩ ගැසුණු කොයි කවුරුත් දවසේ කටයුතු ආරම්භ කිරීමේ දී, ජීවිතයේ විවිධ කටයුතු අලුතින් ආරම්භ කිරීමේ දී ආගමික ආශිර්වාදය ලබා ගැනීම බොහෝ පෙරදිග වාසීන්ගේ සිරිතක් ලෙස හැඳින්වීමට පුළුවන. එබැවින් අලුත් අවුරුදු සිරිත්විරිත් වල ‘නොනගතයට සුවිශේෂතාවයක් එදා සිටම පැවැතිණි. අවුරුදු උදාවට පෙර පුරුෂ පක්ෂයේ අය හේන් ගොවිතැන් කර අස්වැන්න නෙළා ගෙවල්වලට ගෙනැවිත් අවුරුදු ශ්‍රී භුක්ති විඳීමට සූදානම් වන අතර, ස්ත්‍රී පක්ෂය නිවෙස්වල ගොම මැටි ගා සුද්ධ පවිත්‍ර කරති. “අවුරුදු මාලය” සිංහල මාලා කවි සංග්‍රහයේ මෙසේ කියැවෙයි.

සාදාගෙන කැවිලි සොඳ වතු කැන් ඉදවා
බාදා නැතිව සොඳ කිරි පැණි එක් කරවා
බේදා නොවී හත් – අට දෙන එක් වෙනවා
නෑදෑයන් බලන්නට කවුරුත් යනවා

මේ ආකාරයට අවුරුද්දේ කටයුතු කරන ජනතාව ලිප ගිනි මෙළවීම, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, හිසතෙල් ගෑම, ස්නානය, නවසඳ බැලීම ආදි කටයුතු සියල්ල ම සුබ හෝරාවන්ට ම ඉටු කිරීමට සුවිශේෂ සැලකිල්ලක් දැක්වී ය. එයයි අපේකම ඇතැමුන් වර්තමානයේ මේ යහ සිරිත්වල වටිනාකම් නොදත් තම දරු පැටවුන් සමඟ තරුපහේ හෝටල් වෙන් කරගෙන, නිවාඩු නිකේතනවලට වී කල්ගෙවති. එහි ප්‍රතිඵලය ලෙස නිසි කළමනාකරණයකින් තොර, මානසික ආතතියෙන් පිරුණු, ස්වාමියාට බිරිඳ නොරුස්සන, බිරිඳට ස්වාමියා නොරුස්සන, දරුවන්ට දෙමාපියන් පි‍්‍රය නොවූ, සිරිත් විරිත් නොහඳුනන, වැඩිහිටියන්ට ගරු නොකරන ජාතියක් බවට අප පත්වෙමින් සිටීමේ ඛේදවාචකයට මුහුණ දී සිටිමු. එබැවින් මේ ජාතික සංස්කෘතිකාංගවල ඇති හරය හඳුනාගෙන මේ අලුත් අවුරුද්දේවත් වැරැදුනු තැන් නිවැරැදි කර ගැනීමට අපි සැවොම අදිටන් කරගනිමු. එවිට අප සැමට සැබෑ අවුරුද්ද උදාවෙනු නියත ය.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]