[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෞඛ්‍යයට තර්ජනයකැයි සිතා සතෙක් මැරුවොත් පවක් නැද්ද?

සෞඛ්‍යයට තර්ජනයකැයි සිතා සතෙක් මැරුවොත් පවක් නැද්ද?

සෞඛ්‍යයට තර්ජනයක් ලෙස සලකා කුඩා කුඩා කෘමි සතුන් විනාශ කිරීම බොහෝ දෙනා කරන කටයුත්තකි. මෙය අප සිදු කරන්නේ අපගේ සෞඛ්‍ය ආරක්ෂාව පිණිස යැයි කෙනෙක් තර්ක කරන්නට පුළුවනි. නමුත් කුඩා සතෙක් වේවා, ලොකු සතෙක් වේවා සත්ත්ව ජීවිත විනාශය, සත්ත්ව ඝාතනය අනිවාර්යයෙන්ම විපාක විඳීමට සිදු වන ක්‍රියාවකි.

කුමන හේතුවක් නිසා හෝ සතුන් මරනවා නම් එයින් අනිවාර්යයෙන් ම පවක් සිදු වෙයි. ඒ මරණ චේතනාව පැමිණියේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස විය හැකියි. ඒ චේතනාව තුළ ප්‍රබල ද්වේශයක් නැති වෙන්නත් පුළුවන්. විපතට පත් වූ බොහෝ දෙනා කෙරෙහි ඇති කරුණාව නිසා අන් අයට හානි පමුණුවන සතුන්, ඩෙංගු මදුරුවන් ආදීන් නැසීමට අවස්ථා එන්නත් පුළුවන්. නමුත් එයින් පව් සිදු වන්නේ නැහැයි කියා අදහස් වෙන්නේ නැහැ. පව් සිද්ධ වෙනවා ම යි. එහෙම කියන්නේ ප්‍රාණඝාතයක් සිදුවීමට අවශ්‍ය සියලු අංග එහි සම්පූර්ණ වී ඇති නිසයි.

ප්‍රාණ ඝාතයක් සිදුවීමට නම්. . .

ප්‍රාණඝාතයක් තුළින් අකුසලයක් සිදුවීමට සම්පූර්ණ විය යුතු අංග පහක් බුදුපියාණන් වහන්සේ වදාළා. ඒ

1. මරණ චේතනාව

2.සතෙකු සිටීම

3.ඒ සතාට පණ ඇති බව දැන ගැනීම

4.උපක්‍රම යෙදීම

5.එමඟින් සතා මරණයට පත්කිරීම

දැන් කැරපොත්තන්, මීයන්, ඩෙංගු මදුරුවන් සහ පුටු, මෙට්ට ආදියෙහි සිටින මකුණන් ආදී සතුන් මරණ විට මේ කියන හැඟීම් පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. ඉතින් සෞඛ්‍යයට ඇති තර්ජනයකින් මිදීම පිණිස හෝ යම් සතෙක් මරනවා නම් එය ප්‍රාණඝාතයක් ම බවත්, එහි විපාක අපට විඳින්න සිදු වෙන බවත් මෙහිදී කිව හැකියි. සෞඛ්‍යයට ඇති තර්ජන නිසා සතුන් මරණවා වගේම සෞඛ්‍යය රැක ගැනීම පිණිසත් සතුන් මරණ අවස්ථා තියෙනවා. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පරීක්ෂණ කටයුතු වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ ආදිය සඳහා ද ගෙම්බන් ,මීයන් ආදි සතුන් මැරීමට සිදු වෙනවා. මගේ ඉගෙන ගැනීම සඳහායි මේ සතා මැරුවේ. මට පව් සිද්ධ වෙන්නේ නැහැයි කියලා හිතන්න එපා. මැරුණු සතෙක් කැපුවාට නම් පව් සිද්ධ වෙන්නේ නැහැ තමයි. නමුත් මරන්නේ පණ ඇති සතෙක් නම් එයින් අනිවාර්යයෙන්ම පව් සිදු වෙනවා. ඒ අර මුලින් කියූ මරණ චේතනාව ඒ තුළ තිබෙන නිස යි. නමුත් මෙහෙම එකක් තියෙනවා. සතා මරණ ස්වභාවය අනුව පවෙහි අඩු හෝ වැඩිවීමක් තියෙන්න පුළුවන්. දැන් විශේෂ අමුත්තෙකුට පිළිගැන්වීම සඳහා බොහෝම අමාරුවෙන් හදල තිබුණ කෑම ටික කාපු මීයෙක් මරණ විට ද , අර පරීක්ෂණාගාරයේ ඉන්න මීයා මරණ විට ද අප තුළ වැඩියෙන් ද්වේශය හට ගන්නේ? මීයා විනාශ කළ භාණ්ඩයේ වටිනාකම වැඩි වෙන්න වෙන්න අපට මීයත් එක්ක ඇතිවෙන ද්වේශයත් වැඩි වෙන්න පුළුවන්. පර්යේෂණාගාරයේ සිටින මීයා ගැන එහෙම ද්වේශයක් අපේ සිත් තුළ ඇති වන්නේ නැහැ. යම් ඝාතනයක් සිදු කිරීමට අප විසින් දරන ප්‍රයත්නය, එය කරන කාල සීමාවෙහි තමන්ගේ හිතේ පහළ වෙන සිතිවිලිවල ස්වභාවය අනුව ඒ පවෙහි අඩු වැඩි වීමක් සිදු වෙන බව අපි සිතෙහි තබා ගත යුතුයි.

පවෙන් වැළකෙමු . . .

එහෙම පව් කළා නම්, දැන් අපි මොකක්ද කරන්න ඕනෑ? මුලින් ම තමා කළේ පවක් ය කියලා වටහා ගත යුතුයි. ඊළඟට ඇතිකර ගත යුත්තේ ආයේ නම් කවදාවත්ම මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා අධිෂ්ඨානයක්. ඊට පස්සේ ඒක හිතෙන් අත හරින්න ඕනෑ.. ඒ වෙනුවට පුළුවන් තරම් කුසල් සිදු කිරීමයි කළ යුත්තේ. තමන්ගේ ගෙදර දොර පරිසරය හොඳින් ආරක්ෂා කරගෙන, අර කියන පීඩාකාරි සතුන්ට ගෙදරට යන්න එන්න තියෙන ඉඩකඩ අහුරාගෙන, පුළුවන් තරම් අභය දානමය පින්කම් කරන්න අපි පෙළඹෙන්න ඕනෑ. අපට පුළුවන් දිනපතාම වතුරේ වැටිලා ඉන්න කූඹි, සීනි බෝතලයට ඇවිත් ඉන්න කළු කූඹි, වැසිකිලි වලේ වැටිලා ඉන්න නොයෙක් කුඩා සතුන් ආදීන් බේරලා දාන්න. ඔබ එතරම් නො හිතුවාට එවන් ක්‍රියා මඟින් සිතේ ලොකු සතුටක් ඇති කරගන්න පුළුවනි. අපේ ගුරුදේවෝත්තම මඩිහේ මහා නායක හාමුදුරුවෝ මහරගම ධර්මායතනයේ වැඩ සිටින අවසාන කාලය තුළ හරිම සතුටින් කළ දෙයක් තිබුණා. මහානායක හාමුදුරුවෝ වැඩ හිටිය කාමරයේ පුංචි කණප්පුවක් තිබුණා. ඒ කණප්පුව උඩට මහා නායක හාමුදුරුවෝ හැමදාම සීනි හැන්දක් දානවා. එහෙම දැම්මාම කළු කූඹි පෝළිමට ඇවිල්ලා අර සීනි ගොඩෙන් කැටෙන් කැටය අරගෙන යනවා. මහානායක හාමුදුරවෝ බොහෝම විවේක පාඩුවෙන් ඒ දිහා බලා සතුටු වෙනවා. බලන්න ඒක කොයි තරම් අහිංසක ක්‍රියාවක් ද කියා. එයින් මොන තරම් සතුටු වෙන්න පුළුවන් ද?

අභය දානයෙන් සතුටු වෙමු. . .

අනුන් වෙනුවෙන් හෝ සතුන් මරපු අයට පුරුද්දක් වශයෙන් දිනපතාම මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඉඩ ලැබෙන හැම අවස්ථාවකම එහෙම දෙයක් කරන්න. ඔබේ ඊළඟ භවය තීරණය කිරීමට මේ පුංචි ක්‍රියාව හේතුවක් විය හැකියි. මෙවන් දෙයක් පුරුද්දක් හැටියට කළොත් ඔබ මරණාසන්න මොහොතේදී එය හිතට අවුත් ඔබේ ආසන්න කර්මය එයම විය හැකි යි. ඒ නිසා ඒවාගේ පුංචි දේ වලින් ඔබේ ජීවිතය පෝෂණය කරගන්න. කරුණාව, මෛත්‍රිය වැඩි දියුණු කර ගන්න. තමා කළ සත්ත්ව ඝාතන ගැන හිතලා පසුතැවිලි නො වී සතුන් මරණින් බේරා ගන්නවා වගේ ම සතුන්ට කරුණාව, අනුකම්පාව දක්වන්න. අන් සතුන් සතුටින් ඉන්නවා දැකලා ඔබත් සතුටු වෙන්න. එහෙම හිතන විට ඔබේ හිතට නො දැනීම විශාල ආශ්වාදයක් ලැබේවි. සැනසිල්ලක් උදාවේවි.

ඉතින් මේ විදියට කටයුතු කරන ගමන් ම තමන්ගේ නිවසට අනවශ්‍ය සතුන් පැමිණෙන හේතු බලා ඒවාට අවශ්‍ය පිළියම් කරන්න ඕනෑ. සතුන් එන්නේ තැන තැන ඉඳුල් ආදිය දමන නිසා නම්, අපිරිසුදුකම නිසා නම් ඒවා අවම කර ගැනීම තුළ සතුන් මරන්නට සිදු වන අවස්ථා ද අවම වී යනවා.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]