[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 23: ලෞකික ලෝකෝත්තර ඵල ලැබෙන

තෙවළා බුදු වදන් අතරින් 25:

ලෞකික ලෝකෝත්තර ඵල ලැබෙන ඇමදීමේ අනුසස්

විනය පිටකාගත පරිවාර පාලියේ ඇමදීමෙන් කෙනෙකුට අත්පත්කරගත හැකි ආනිසංස හෙවත් ප්‍රයෝජන හතක් සඳහන් වන පාඨ දෙකක් ඇතුළත් වේ. එහි පළමු විනය පාඨය අනුව ගිහි, පැවිදි කවරෙක් වුව ද, තම නිවස, ගෙමිදුල, සෑ මළු, බෝ මළු ආදි තැන් ඇමදීමෙන් හා පවිත්‍ර කිරීමෙන් එම තැනැත්තාට ස්වකීය සිත පහදවා ගත හැකිය ( සකචිත්තං පසිදති) පිරිසුදු කළ, මනා ලෙස ඇමදූ මළුපෙත්මන් ආදිය දැකීමෙන් අන්‍යයන්ගේ සිත පැහැදෙයි.

(පරචිත්තං පසිදති.) එසේම දෙවියෝ ද සතුට ට පත්වෙති (දෙවානං අත්තමනා හොන්ති.) චිත්තප්‍රසාදය හේතුවෙන් පින්රැස් වෙයි. ( පාසාදික සංවත්තනිකං පුඤ්ඤ උපචිනාති) මරණින් පසු සුගති සංඛ්‍යාත දෙව්ලොවක උපදියි ( කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති). දෙවන පාඨයෙහි ඉහත ආනිසංස පහට අතිරේක වශයෙන් ඇමදීම බුදුරදුන්ගේ අනුශාසනය පිළිපැදීමක් ලෙසත්, (සත්ථුසාසනං කතං හොති) ඇමදීමේ වත මතුපරපුරට ආදර්ශයක් වන බවත් දැක්වේ. (පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති)

මෙම ආනිසංස පහෙන් පළමු කරුණින් සිත පිරිසුදු කෙරෙන මානසික අභ්‍යාසයක් ද, දෙවැන්නෙන් ඇමදීමේ සමාජමය වැදගත්කම ද, තෙවැන්නෙන් අදෘෂ්‍යමාන සම්‍යග්දෘෂ්ටික බලවේගවල ප්‍රසාදය දිනාගැනීම ද, සිව්වැන්නෙන් පින් රැස් වීම ද, අවසන් කරුණින් බෞද්ධ අගාරික ප්‍රතිපදාවේ ආගමික නිෂ්ඨාව ද අදහස් වේ. දෙවන විනය පාඨයේ එන අතිරේක කරුණු දෙකින් ශාස්තෘ ගෞරවයත්, අනාගත පරපුරට ආදර්ශයක් සැපයීමත් අදහස් වේ. ඇමදීමේ අනුසස් පැහැදිලි කරන මෙම විනය පාඨ ගැඹුරින් විමර්ශනය කළ විට එහි අන්තර්ගතව පවතින මනෝචිකිත්සක හා භාවනාමය උපයෝගිතාවත්, සමාජිය අගයත්, ආගමික හා සදාචාරමය වැදගත් කමත් මැනවින් ප්‍රකට වේ. ඇමදීම ද දෛනික වතක් පමණක් නොව එය පරමෝත්කෘෂ්ට කායික මානසික අභ්‍යාසයක් බව ද තවදුරටත් එයින් පැහැදිලි වේ. අගාරික මෙන්ම, අනගාරික ජීවිතය හා සම්බන්ධ අනිවාර්ය වගකීමක් වන ඇමදීම මෙවැනි පුළුල් අර්ථයකින් විග්‍රහ කෙරෙන්නේ බුදුසමයේ පමණක් විය හැකි ය. අනාගරික වත් පිළිවෙත් අනුව, ඇමදීමේ කාර්ය සෑම භික්ෂුවක් විසින් කළ යුතු දෛනික කාර්යයකි. ගිලන්ව සිටින භික්ෂූන් හැර අවශේෂ ආරාමික භික්ෂූන් සියලු දෙනම වයස් භේදයකින් තොරව එම පිළිවෙත අනුගමනය කළ යුතු වේ. ආරාමික පුහුණුව යටතේ ඇමදීමේ කාර්ය සම්බන්ධයෙන් සිසුන් ශික්ෂණය කරන්නේ පැවිද්දට ඇතුළත් වීමට පෙර අවදියේ සිට ම ය. එබැවින් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා විසින් තම අන්තේවාසිකයන්ට නිසි පරිදි ඇමදීම පිළිබඳ විධි නියමයන් මැනවින් උගන්වනු ලැබේ. බෞද්ධ ආරාමික අධ්‍යාපනය යටතේ එය ආධුනික යෝගාවචරයාගේ අභ්‍යන්තර ගති ලක්ෂණ මැනවින් හඳුනාගැනීමේ අභ්‍යාසයක් ලෙස ද භාවිතයට ගෙන ඇති බව විසුද්ධිමග්ගයේ එන චරිත විභාගය පිළිබඳ විස්තරයෙන් සනාථ වේ. ඒ අනුව කෙනෙකු අමදින ආකාරයෙන් එම තැනැත්තා කිනම් චරිත ස්වභාවයකට හිමිකම් කියන්නේද? යන්න මැනවින් හඳුනාගත හැකි බව විසුද්ධිමග්ග විස්තරයෙන් පැහැදිලි වේ. ලක්දිව භාවනා ආචාර්යවරුන් කමටහන් ලබාදීමේ දී මෙවැනි ක්‍රම ආශ්‍රයෙන් ආධුනික යෝගාවචරයා භාවනාවේ ශික්ෂණය කරනු ලැබ තිබේ.

ඇමදීමේ පළමු ආනිසංසය නම් ස්වකීය සිත පැහැදීම ය. තමා විසින් කැළි කසල බැහැර කොට විධිමත් අයුරින් ඇමදූ වැලි මළුවක් පෙත් මඟක් හෝ ගෙමිදුලක් දෙස ආපසු හැරී බලන අමදින්නාගේ සිත පැහැදීමට පත්වේ. එවන් මොහොතක සිත මදක් තැන්පත්වන අතර සිත ප්‍රකම්පිත කෙරෙන අකුශල සහගත චිත්තවේග පහළ නොවේ. ඇමදීම භාවනා අරමුණක් බවට පත්වන්නේ මෙවන් අවස්ථාවක දී ය. සෑ මළුවක් හෝ බෝ මළුවක් ඇමදීමෙන් පසුව ඒ දෙස බැලීමෙන් සැනෙකින් පහන් සිතිවිලි පහළ වේ. එවන් මොහොතක තෙරුවන් කෙරෙහි ප්‍රසාදයක්, බුද්ධාලම්භන පී‍්‍රතියක් ඇතිවීමට පුළුවන. එවැනි අවස්ථාවක බුද්ධානුස්සතිය , ධම්මානුස්සති, සංඝානුස්සති යන අනුස්සතිකර්මස්ථාන භාවනා අරමුණ බවට පත්ව සිත තැන්පත් වීම සිදුවේ. තමන් ඇමදූ සෑ මළුව දැකීමෙන් ඇති වූ බුද්ධාලම්භනපී‍්‍රතිය විපස්සනාව බවට පරිවර්තනය කරගෙන විමුක්තිය සාක්ෂාත් කළ භික්ෂූන් පිළිබඳ පුවත් පාලි අට්ඨකථාවල සඳහන් වේ. ලක්දිව විසූ ඵුස්සදේව නම් තෙරුන් වහන්සේ මෙන්ම දත්ත නම් තරුණ භික්ෂුව ද එවැනි පිළිවෙතක් අනුගමනය කිරීමෙන් අර්හත්වය සාක්ෂාත්කර තිබේ.

ඇමදීමේ දෙවන ආනිසංසය ලෙස දැක්වෙන්නේ අන්‍යයන්ගේ සිත් පැහැදීම යි. මනාව පිරිසුදු කළ විධිමත් ලෙස ඇමදූ මළුපෙත්මන් සහිත විහාරස්ථානයකට එන දායක දායිකාවන්ගේ සිත පැහැදීමට පත්වේ. කෙනෙකු විහාරස්ථානයක්, භාවනා මධ්‍යස්ථානයක් හෝ ආරණය්‍යක් සොයා ගමන් කරන්නේ තම සිත සකස්කර ගැනීමට, තැන්පත් කරගැනීමට හෝ මානසික අස්වැසිල්ලක් ලබා ගැනීමට ය. එවන් අරමුණකින් එන තැනැත්තාගේ සිත තවදුරටත් කිලිටිවන, අසහනයට පත්කරන පරිසරයක් එහි තිබේනම්, ඔහුට මානසික සහනයක් ලද නොහැකි ය. එහෙත් විධිමත් ලෙස සැකසූ මළුපෙත්මන් සහිත වෙහෙරක් හෝ අරණක් දකින බැතිමතාගේ සිත තැම්පත්වීමෙන් එම තැනැත්තා හෝ තැනැත්තිය පැමිණෙන විට පැවති කලබලකාරී, අවුල්සහගත සිත වෙනුවට තැන්පත්, නිවුණු සිතක් සහිත ව පිටව යාමට හැකිවේනම් එම වෙහෙර මෙන්ම අරණ නිරායාසයෙන් ම මහජන ප්‍රසාදය දිනාගත් තැනක් බවට පත්වේ. විහාරස්ථානවල හෝ ආරණ්‍ය සේනාසනවල පැවැත්ම රඳා පවතින්නේ මහජන අනුග්‍රහය මත ය. එබැවින් මහජන ප්‍රසාදය සුරැකෙන පරිසරයක් එහි නිර්මාණය වීමේ වැදගත්කම ඇමදීමේ දෙවන ආනිසංසයෙන් ප්‍රකට වේ.

සම්‍යග්දෘෂ්ටික දෙවිවරුන්ගේ ප්‍රසාදය ලැබීම ඇමදීමේ තෙවන ආනිසංස යි. බුදුරදුන් ජීවමාන අවදියේ සිට ම විහාරස්ථාන හා ආරණ්‍ය සේනාසන සම්දිටු දෙවියන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බව පිටකාගත මෙන්ම අටුවාගත වාර්තාවලින් සනාථ වේ. අතීතයේ එක් වනගත විහාරස්ථානයකට පැමිණි භික්ෂුවක් එහි ජරාවාසව තිබූ සෑ මළුව හා බෝ මළුව මැනවින් ඇමද පිරිසුදු කොට ස්නානය සඳහා ගියේ ය. එම වනගත වෙහෙර වැසි දෙවියෝ මනාව ඇමදූ සෑ මළුව හා බෝ මළුව දැක ප්‍රසාදය ට පත්ව මල් රැගෙන උන්වහන්සේ ස්නානය කොට පෙරලා වඩින මග දෙපස රැස්ව සිටියෝ ය. මෙය දුටු භික්ෂූන් වහන්සේ ඔබ කවුරුන්දැයි ඔවුන්ගෙන් විමසී ය. අපි සැවොම වෙහෙර වැසි දෙවි දේවතාවුන් බවත්, මෙතෙක් මෙහි පැමිණි කිසිදු භික්ෂුවක් මෙසේ විධිමත් ලෙස මළුපෙත්මන් ඇමද පිරිසුදු කරනු නොදුටු බවත්, ඔබ වහන්සේ පමණක් මෙලෙස විධිමත් ව ඇමදීම කළ බවත් දැක එයින් ප්‍රසාදයට ද පත්ව මල්ගත් අත් ඇතිව සිටිමු යැයි පැවසුහ.

මෙම කථාවෙන් පැහැදිලි වන්නේ පිරිසුදු වෙහෙරට හෝ අරණට දෙවියන් ආකර්ෂණය වන බවයි.

සිව්වන ආනිශංසයෙන් ඇමදීමෙන් වන සම්මජ්ජනී පුණ්‍ය කර්මය අදහස් වේ. ඇමදීම පුණ්‍ය කර්මයක් වන්නේ එය කර්මය හා කර්මඵල විශ්වාසය පෙරදැරිව සිදුවන හෙයිනි. එසේම එය තෙරුවන් උදෙසා කෙරෙන ගෞරව උපහාරයක් ලෙස සිදුකිරීමෙන් පින් රැස් වේ.

පස්වන ආනිශංසයෙන් අදහස් වන්නේ මරණින් පසුව සුගතිගාමි වීම යි. සම්මජනී පින රැස්කරගත් තැනැත්තාට සුගතියක උපතක් මිස දුගතියක උපතක් සිදු විය නොහැකි ය. දෙවන විනය පාඨයේ අතිරේක ආනිශංස දෙක ද එක් කළ විට ඇමදීම බුදුරදුන්ගේ අනුශාසනය පිළිපැදීමක් වේ. වෙනත් වචනයකින් කියන්නේ නම් එය බුදුරදුන්ට දක්වන උපහාරයක් වේ.

අනාගත පරපුරට ආදර්ශයක් දීම සත්වැන්නෙන් අදහස් වේ. වැඩිහිටියන් විසින් අනුගමනය කරනු ලබන යහපත් සිරිත් විරිත් බාල පරපුර ද අනුගමනය කරනු ඇත. විහාරස්ථානය මෙන් ආරණ්‍යය ද පිරිසුදුව හා පවිත්‍රව තබාගැනීමෙන් අනාගත පරපුරට ආදර්ශයක් වීම ගිහි පැවිදි කාගේත් යුතුකම හා වගකීම වේ. යථෝක්ත ආනිසංස හැරුන කොට ඇමදීමෙන් ලද හැකි තවත් උසස් ප්‍රතිඵලයක් නම් අනාගත භවයේ ප්‍රඥා සම්පත්තිය ලැබීම යි. නාගසේන තෙරුන්ගේ කථාවස්තුව මෙයට නිදසුන් වේ. ඇමදීම නිවැරැදි මෙන්ම උසස් කායික ව්‍යායාමයකි. කායික වශයෙන් නීරෝගිබව ලැබීමට එය ප්‍රබල හේතුවක් වන්නේ ඇමදීමෙන් සමස්ත ශරීරය ම ක්‍රමානුකූල ව ව්‍යායාමයෙහි යෙදවෙන හෙයිනි. ඒ අනුව ඇමදීම ලෞකික හා ලෝකෝත්තර වශයෙන් උසස් ඵල ලැබිය හැකි වතක් මෙන් ම කායික අභ්‍යාසය කි. 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]