[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යටගම උදයධම්ම නාහිමි

සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබන ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යටගම උදයධම්ම නාහිමි

සෙන්කඩගල ශ්‍රී වර්ධනපුර මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම විහාර ද්වයාධිපති ශ්‍රීමත් මහානායක අනුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව යටගම ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යටගම උදයධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට ‘ධර්මකීර්ති ශ්‍රී ඉන්දවිමල’ යන ගෞරව නාමය සහිතව සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම ගිහි පැවිදි සැමගේ අමන්දානන්දයට කරුණකි.

බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයෙහි වදාළ පරිදි පිදිය යුත්තන් පිදීමේ ශ්‍රේෂ්ඨ මංගල කරුණ එයින් මූර්තිමත් වෙයි. බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම භික්ෂු පිරිස අමතා භික්ෂුව බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස චාරිකාවෙහි යෙදිය යුතුයයි ප්‍රකාශ කළහ. යටගම උදය ධම්ම හිමියන් ද එම බුද්ධ අවවාදය පරිදි ලංකාද්වීපයේ විවිධ ප්‍රදේශවල ජාතික ආගමික හා අධ්‍යාපනික සේවාවන් ඉටුකළ යතිවරයෙකි. ප්‍රවීනාචාර්යවරයෙකි. ව්‍යක්ත ධර්ම කථිකයෙකි. ධර්ම ධරයෙකි. සුපේසල ශික්ෂාකාමී දුටුවන් පහදවන භික්ෂුවරයෙකි. ප්‍රසංසනීය ශාසනික මෙහෙවරක් ඉටුකරන බුද්ධ පුත්‍රයෙකි.

උන්වහන්සේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උතුරු අළුත්කුරු කෝරළයේ දාසිය පත්තුවේ යටගම නම් සුන්දර ගම් පියසෙහි 1957 දෙසැම්බර් 26 වන දින උපත ලැබූහ. දරුවන් සතර දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වූ උන්වහන්සේගේ දෙමාපියන් වූයේ පතිරාජ අප්පුහාමිලාගේ නිරෝලිස් අප්පුහාමි හා කරුණානායක අප්පුහාමිලාගේ ඩේසි කරුණාසේකර මාතාවයි. පතිරාජ අප්පුහාමිලාගේ සුනිල් පේමසිරි පතිරාජ නම් වූ මේ කුලකුමරුවා කුඩා කල සිටම ආගමට දහමට නැඹුරුව කටයුතු කළේ ය. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ඇතුළත් වුයේ යටගම කනිෂ්ට විද්‍යාලයටයි.

පුරාකෘත කුසල බලමහිමයේ ප්‍රතිඵලයක් ලෙස පැවිදිවීමේ බලවත් කැමැත්තෙන් පසු වූ මේ කුලදරුවා එවකට යටගම ශ්‍රී නාගවනාරාමාධිපතිව වැඩවිසූ මංගෙදර ශ්‍රී රතනපාලාභිධාන සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක මාහිමියන්වෙත භාරකෙරුණි. 1966 දෙසැම්බර් 31 වැනි දින උන්වහන්සේගේ ආචාර්යත්වයෙන් හා විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උතුම් ශාසනික පැවිද්ද ලබා ගත්හ. වසර දෙකක් තම ගුරු පා සෙවනේ ශාසනික වත් පිළිවෙත පිළිබඳ මනා පුහුණුවක් ලැබූ යටගම උදය ධම්ම සාමණේරයෝ දොරණාගොඩ සදානන්ද මහ පිරිවෙන, ගම්පහ පහලගම විද්‍යාරවින්ද මහ පිරිවෙන, නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙන යන අධ්‍යාපන ආයතනවලින් ප්‍රාචීන අධ්‍යාපනය ලබා 1979 වර්ෂයෙහි රාජකීය පණ්ඩිත උපාධිය හිමිකරගත්හ. 1978 පොසොන් මස 17 වන දින මහනුවර අස්ගිරි මහා විහාරීය උපෝෂථාගාරයේ දී හාල්යාලේ ශ්‍රී සුමනතිස්සාභිධාන අනුනායක මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා යටගම ශ්‍රී නාගවනාරාමය නයිවල ශ්‍රී උභය ශේඛරාරාමය යන විහාරද්වයාධිපති ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත රස්සාපාන ශ්‍රී සුමතිපාල නාහිමියන්ගේත් විනයාචාර්ය නාලපන ශ්‍රී ඉන්දවිමල නාහිමියන්ගේත් ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ.

1979 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණිය විශ්ව විද්‍යාලයානුබද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා අධ්‍යාපන දර්ශනපති පාඨමාලාව ද හැදෑරූහ. හොරණ විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙනෙන් අධ්‍යාපන සේවයට පිවිසි උන්වහන්සේ පාසල් අධ්‍යාපනයට යොමුව වලපනේ නු/හිඟුරේවෙල විද්‍යාලය, නු/රත්නායක පතන විද්‍යාලය, හැටන් නු/කලවැල්දෙණිය විද්‍යාලය යන අති දුෂ්කර පාසල්වල දරුදැරියන් වෙනුවෙන් තම සේවය කැපකළා පමණක් නොව එම ප්‍රදේශවල ආගමික ජාතික හා සාමාජික කටයුතු ද ඉටු කළහ.

උන්වහන්සේගේ පැවිදි දිවියේ අනුස්මරණීයම කාල පරිච්ඡේදය කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පා සෙවනෙහි උන්වහන්සේගේ ජාතික ආගමික හා සාමාජික සේවාවන්ට උපකාරිව කටයුතු කළ කාල පරිච්ඡේදයයි. ව්‍යක්ත ධර්ම කථිකයෙකු බවට පත්වීමටත් ශාසනික ජාතික ආගමික හා සාමාජික කාර්යයන්හි පටුත්වයක් ලබාගැනීමටත් මේ කාලපරිච්ඡේදය ඉවහල් විය. ඒ සඳහා අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමනා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහනාහිමියන්ගේත්, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාරාභිධාන මහනාහිමියන් ගේත් ගුරුපදේශ අතිශයින් ඉවහල් වූ බව උන්වහන්සේ නිතර ගෞරවයෙන් සිහිපත් කරති.

2000 වර්ෂය වන විට උන්වහන්සේගේ ගුරුදේවෝත්තම යටගම ශ්‍රී නාග වනාරාමාධිපති සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මාහිමියන් වයෝවෘද්ධ ව වැඩසිටි නිසා තම විහාරස්ථානයට වැඩම වූ යටගම උදය ධම්ම හිමියෝ තම ගුරුහිමියන්ගේ සෙවනැල්ල සේ වැඩසිටිමින් අභිනව ආවාස ගෘහය, බෝධි ප්‍රාකාරය, චෛත්‍ය රාජයා, තෙමහල් ධර්ම මන්දිරය, මලසුන්, ප්‍රාකාරය ආදිය ඉදිකිරිමේ දී සක්‍රීයව ක්‍රියා කළහ. දායක පිරිස ඒකරාශිකරගෙන වාර්ෂික පෙරහර, පොසොන් කලාපය වැනි සංස්කෘතිකාංග ඇති කළහ. ප්‍රදේශයේ පෞරාණික දහම් පාසලක් වූ යටගම සිරි සුමතිපාල දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස 1985 වර්ෂයේ සිට අද දක්වාමත් බලවත් කැපවීමෙන් ක්‍රියා කරති. ප්‍රදේශයේ බොහෝ දරුදැරියන් උන්වහන්සේගෙන් දහම් අධ්‍යාපනය ලැබීමට වාසනාවන්ත වූහ. වර්තමානයේ සිසුන් 500 කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන දහම් පාසලක් ලෙස දියුණුවට පත්ව ඇත්තේ ද උන්වහන්සේ ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ කැපවීම නිසාම ය.

මේ සියලු කටයුතු අතර රෝගී වූ තම ගුරු දේවයන්වහන්සේ මැනවින් රැකබලාගත්හ. එය ප්‍රදේශයේ ගිහි පැවිදි සියල්ලෝම බලවත් ගෞරවයෙන් සිහිපත් කරන කරුණකි. මිනුවන්ගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ විවිධ තනතුරු දැරූ උන්වහන්සේ දැනට උපසභාපතීන් වහන්සේ ලෙස ප්‍රදේශයේ ශාසනික කටයුතු සඳහා කැපවීමෙන් ක්‍රියාකරති. මීරිගම උපාලිවංශික සංඝ සභාවේ සාමාජිකයෙකු ලෙස ද ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිති මරණාධාර සමිති ආදියෙහි අනුශාසක වරයෙකු ලෙස ද උන්වහන්සේ ක්‍රියා කරති.

2017 වර්ෂයේ දෙසැම්බර් 17 වන දින තම ගුරුදේවෝත්තම නාලපන ඉන්ද විමල නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ යටගම ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරාධිපති ධූරය තම ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර නයිවල ශ්‍රී උභයශේඛරාරාමාධිපති ශාස්ත්‍රපති මැදගම්පිටියේ විමල ධම්ම හිමියන්ගේ ද, ප්‍රදේශයේ මහා සංඝ රත්නයේ ද අනුමැතියෙන් භාරගත් උන්වහන්සේ තම ශිෂ්‍යවරයන්වහන්සේලා වන හිරිකුළුව විද්‍යාදර්ශී පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති විතානමුල්ල ගුණවර්ධන බෝධිමළු විහාරාධිපති විතානමුල්ලේ කුසල ධම්ම හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශාධිපති මහචාර්ය මැදගම්පිටියේ විජිත ධම්ම හිමි හා යටගම අමිත ධම්ම භික්ෂු නමගේත් සහායයෙන් විහාරස්ථානයේ සිදුකෙරෙන ජාතික, ආගමික, සාමාජික, අධ්‍යාපනික හා සංස්කෘතික සේවාවන් මැනවින් ඉටුකරති.

මේ සියලු සේවාවන් අගයමින් මහනුවර අස්ගිරි මහා විහාරීය ශ්‍රීමත් මහානායක අනුනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝසභාව ගෞරව නාමයක් සහිතව නායක පදවියකින් උපහාර දැක්වීම උන්වහන්සේගේ ලෝක ශාසනික සේවය ඇගයීමක් සේ ම, උන්වහන්සේ ධෛර්යමත් කිරීමට ද හේතුවෙයි. ධර්මකීර්ති ශ්‍රී ඉන්දවිමල යටගම ශ්‍රී උදය ධම්මාභිධාන සීනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක මාහිමියන්ට ඉටුකරන සේවාවන් චිරාත්කාලයක් ඉටුකිරීම සඳහා තෙරුවන් සරණින් නීරෝගී සම්පත්තිය චිරජීවනය සැලසේවා.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]