[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් දරුවන්ට : ගුණසම්පන්න අයට ගරහන්න එපා

ගුණසම්පන්න අයට ගරහන්න එපා

පින්වත් දරුවනේ, මේ දිනවල අප කතා කරන්නේ මාතලී දිව්‍ය පුත්‍රයා විසින් නිමි මහරජතුමාට අපායෙහි ස්වභාවය පෙන්වනු ලැබූ ආකාරය පිළිබඳවයි. ඉතින් ඔන්න මාතලී දිව්‍ය පුත්‍රයා තවත් නරකයක් වෙත තමන්ගේ රථය පදවාගෙන ගියා. ඒ නරකාදියේ දුක්විඳින සත්ත්වයන් නිමි රජතුමාට පෙන්වූවා.

භයානක මුහුණු තිබෙන යමපල්ලන් විසින් තල් කඳන් තරම් විශාල, දැවෙන, රත්වෙන යකඩ කඳන්වලින් නිරි සතුන්ගේ පාදවලට පහරදෙනවා. ගිනියම් වූ යම පොළොවේ හෙළා දැල්වෙන යකඩ කඳන්වලින් නිරි සතුන්ගේ ශරීර සුණු විසුණු කර දමනවා. ඒ දුටු නිමි රජතුමා හොඳටම බියටපත් වුණා. මේ තරම් දුක් විඳින්න මේ නිරයේ උපදින්නට මොවුන් කළ අකුසල් මොනවාද? රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් ඇසුවා. දිව්‍ය පුත්‍රයා එහි දී මේ ගාථාව පැවසුවා.

යේ ජීව ලොකස්මිං සූපාය ධම්මිතො
නරඤ්ච නාරිඤ්ච අපාය ධම්මං
හිංසන්ති රෝසෙන්ති සුපාප ධම්මා
තේ ලුද්ද කම්මා පසවෙත්වා පාපං
තේ මේ ජනඛන්ධහතා සයන්ති

මිනිස් ලෝකයේ සිටියදී සිල් පිරුණු සිල්වන්ත, යහපත් පුද්ගලයන්ට, යහපත් ආචාර සමාචාර ඇති, හොඳ ගති පැවතුම් ඇති සද්පුරුෂයන්ට ආක්‍රොශ, පරිභව කළ අය, දොස් කී අය තමයි මේ නරකයේ උපදින්නේ. ඔන්න දරුවනේ, පරෙස්සම් වෙන්න ඕනෑ. යහපත් මිනිසුන්ට, වැරැදි නැති අයට බොරු වැරැදි කියලා දෝෂාරෝපණය කරනවා නම්, සිල්වතුන්ට පරිභව කරනවා නම් හොඳින් ඉගෙන ගන්න පුළුවන් අය පිළිබඳව කේළාම් කියා ගුරුවරු ලවා දඬුවම් කරවනවා නම් ඒ වගේ අය උප්පත්තිය ලබන්නේ මේ නිරයේ තමයි.

ඉන් පසුව දරුවනේ, මාතලී දිව්‍ය පුත්‍රයා විසින් නිමි රජතුමා තවත් නරකයක් වෙත රැගෙන යනු ලැබුවා. එහි දුක් විඳින සත්ත්වයන් පෙන්වූවා. යමපල්ලන් වටකරගෙන, ගිනිගෙන දිලිසෙන ආයුධවලින් නිරිසතුන් කපා දමනවා. ගවයන් එළවා දමනවා වගේ මහා අඟුරු ආකරවලට ඇද දමනවා. යමපල්ලන් විසින් ගිනිගෙන දිලිසෙන ලොකු, කුඩා අඟුරු කැබලි අරගෙන නිරිසතුන්ගේ හිස මත දමනු ලබනවා. ඒ අඟුරු කැබලි අරගෙන තමන්ගේ ම අතින් හිස මත හෙළා ගන්නා ලෙස නිරි සතුන්ට අණ කරනවා. නිරි සතුන් වේදනාවෙන් විලාප තියනවා. සමහරු සිහිසුන් නැතිව ඇද වැටෙනවා. මේ දුටු නිමි මහ රජතුමා තවත් බියට පත් වුණා.

“මේ තරම් දුකක් විඳින්න මොවුන් කළ අකුසලය කුමක්ද?” නිමි රජතුමා මාතලී දිව්‍ය පුත්‍රයාගෙන් අසනවා.

යේ කේචි පූගායතනස්ස හේතු
සක්ඛිං කරිත්වා ඉණං ජාපයන්ති
තේ ජාපයිත්වා ජනනං ජනින්‍ද
තේ ලුද්දකම්මා පසවෙත්යා පාපං
තේ මේ ජනා අංගාර කාසුං ථුනන්ත’තී

අවස්ථාවක් ලද සැණින් අපි මේ ලෙස පූජාවක් පවත්වනවා. විහාරයක් සාදනවා, චෛත්‍යයක් සාදනවා, දුප්පත් කෙනෙකුට නිවසක් සාදනවා, පාරක් හදනවා ආදී ලෙස මහජනතාවට බොරු කියලා, මුදල් එකතු කර තමන්ගේ පරිහරණයට ගන්නා අය උපදින්නේ මේ නරකයේයි. ඒ වගේම අල්ලස් ලබා දී ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මුදල් වංචා කරන අය, මහජන මුදල් නැති නාස්ති කරන දුර්ජන පුද්ගලයන් උපදින්නේත් මේ නරකයේ තමයි. ඉතින් එහිදී මේ නිරි සතුන් තමන් කළ අකුසල් මතක් කර කර තමන්ගේ හිසට තමන්ගේම දෑතින් අඟුරු හලාගන්නවා. පෙනෙනවා නේද දරුවනේ විපාකයන්හි භයානක බව. මව්පියන්ගේ මුදල් වුවත් අනවශ්‍ය ලෙස වියදම් කරන්න හොඳ නෑ. පාසලට, පන්තියට, සමිතියට දෙන බව පවසමින් බොරු කියමින් මුදල් වංචා කරන්න හොඳ නෑ. එහෙම කළොත් යන්නට වෙන්නේ මේ නරකයටයි.

මාතලී දිව්‍ය පුත්‍රයා, නිමි මහරජතුමා රැගෙන තවත් නරකයක් වෙත පිවිසුණා. එහි සිදුවන්නේ මොනවාද? මහා ගිනිදැල් නොනිමී පවතින විශාල ලෝදිය සැළියක් එහි තිබෙනවා. එහි ලෝදිය පිරිලා. යම පල්ලන් විසින් රැගෙන එනු ලබන මෙහි සිටින නිරි සතුන්ගේ හිස පහතට සිටින සේ දෙපයින් අල්ලා ඒ ලෝදිය හැළියට දමනවා. ඉතින්, නිරිසත්ත්වයින් පැහි පැහී මිය යනවා. පුපුර පුපුරා පැහෙනවා. නිමි රජතුමා මේ නරකය දැකීමෙන් ද බොහෝ බියට පත් වුණා.

“මේ අය මොන විදිහේ පව් කළ අයද? රජතුමා ඇසුවා.

යේ සීලවං සමණං බ්‍රාහ්මණං වා
හිංසෙන්ති රෝසෙන්ති සුපාය ධම්මිනෝ
තේ ලුද්දකම්මා පසවෙත්වා පාපං
තේ මේ ජනා (අවංසිරා) ලෝහ කුම්හිංපත්තී

සිල්වත්, ගුණවත්, ආචාර ධර්මයන්ගෙන් යුතු ස්වාමීන් වහන්සේලාට, හිංසා කරනවා නම්, වැරැදි නැතිව දඬුවම් දෙනවා නම්, අපහාස කරනවා නම්, වෙනත් අයලවා හිංසා කරනවා නම්, හිරේ විලංගුවේ දානවා නම්, නිවාස අඩස්සියේ තබනවා නම් ඒ අය උපදින්නේ ලෝකුඹු නිරයේ. දරුවනේ අපේ අම්මලා, තාත්තලා අපට වඩා සිල්වත්බව මතක තබා ගන්න ඕනෑ. හාමුදුරුවන් වහන්සේ අපට වඩා ගුණ සම්පන්නයි. ඒ නිසා වැඩිහිටියන්ට, සිල්වතුන්ට, ස්වාමීන් වහන්සේලාට අපහාස වන දේ කරන්න හොඳ නෑ. අපේ දරුවෝ පුංචි අකුසලයටත් බිය වී හොඳින් ආරක්ෂා වෙන්න ඕනෑ. පෝය දවසේ වැදගත්කම එයයි. වෙන දිනයන්හිදීත් අකුසල් කරන්න හොඳ නෑ. පෝයදාට නම් අකුසල් කරන්න ම එපා. පින්වත් දරුවනේ, ‘බුදුසරණ’ පුවත්පතේ අරමුණු අතර බෝසත් දරු පරපුරක් හැදීමත් ප්‍රධාන වෙනවා. ඒ බවත් මතක තබා ගන්න ඕනෑ.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]