[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික නාමල් උයනේ 28 වසරක අතීතය ගැන වනවාසී රාහුල හිමියෝ සතුටු වෙති

ජාතික නාමල් උයනේ 28 වසරක අතීතය ගැන වනවාසී රාහුල හිමියෝ සතුටු වෙති

ජාතික නාමල් උයන කියන්නේ මගේ ජීවිතයයි. කවදාහරි මගේ අවසන් හුස්ම පොදත් මේ නාමල් උයනෙම පා කර හරිනවා කියන සැනසීම හිතේ තියාගෙන මම දැන් බොහොම නිදහස් ව ජීවත් වෙනවා.

ජාතික නාමල් උයන රැකගෙන අනාගත පරපුරට උරුම කර දීමට කැප වූ වනවාසි රාහුල හිමියන් තමන් වහන්සේ විඳින ආත්මීය සතුට පිළිබඳව අදහස් කළේ එලෙස ය. නාමල් උයන යනු අද දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේ ද ඉතා ජනපි‍්‍රය මෙන් ම කාගේත් අවධානය යොමු වු රුක් ගොමුවකි. මහ වනයකි. ඒ උරුමය ජාතියට දායාද කළේ වනවාසි රාහුල හිමියන් ය. උන් වහන්සේ මීට අවුරුදු 28 කට පෙර නාමල් උයන මහා වනයට පිවිසෙන විට නාමල් උයන අරක් ගෙන සිටියේ කැලෑ සතුන්ට වඩා භයානක කැලෑ පාළුවන් ය. ඔවුහු උන් වහන්සේට එරෙහිව අවි අමෝරා ගත් හ. එදා අවි ආයුධ කෙතරම් එස වුණත්, රාහුල හිමියෝ ඒ කිසිවකින් නොසැළුණහ .

රාහුල හිමියන්ට ආවේනික වූ පිළිවෙතක් විය. එය ඇතැමුන්ට රුස්සන්නේ නැතිව තිබිණ. මිනිසුන් දුටුවිට පින්වත, පින්වතිය, ඔබ කොහිසිට පැමිණියේ ද කියා උන් වහන්සේ නොවිමසූ හ. "තොපි මේ කැලෑවට රිංගලා කැලේ ගස් ටික කපලා මේ රට කාන්තාරයක් කරන්න ද බොලව් හදන්නේ. තොපි කා එක්ක සෙල්ලම් කළත් මේ මා එක්ක නම් නටන්න එන්න එපා බොලව්". එදා වන විනාශ කරන්නන්ට උන් වහන්සේගේ ඒ වදන් හීයෙන් අනින්නාක් මෙන් දැනිණ. ක්‍රමයෙන් ඔවුහු වනය හැර දමා යන්නට විය.

1991 මාර්තු 28 වන දින ඇරඹූ ඒ මොරගහ උඩ මහා පෙරළියට දැන් වසර 28 කි. මොරගසක් උඩ පැලක් අටවාගෙන එදා උන් වහන්සේ මේ මහා වනය රැක ගැනීමට කළ කැපවීම වර්තමානයේවත්, අනාගතයේවත්, කිසිවකු විසින් ඉටු කරනවා තියා සිතන්නටවත් බැරි ය. මේ ජාතික මෙහෙවරට මිනිස් සතුන්ගෙන් ම ඇති වු බාධා එමට ය.

නාමල් උයන සිය වාසස්ථානය කර ගත්, වනයෙහි ඇති අලයක්, කොළයක් තම්බා ගෙන බඩ ගින්න නිවා ගත් උන්වහන්සේට අවශ්‍ය වුණේ මෙම වනය ආරක්ෂා කර ගැනීමට ය. ඒ සඳහා ම රාහුල හිමියෝ කැපවූ හ. එහි දී උන් වහන්සේට යෝධ ශක්තියක් වූයේ මාධ්‍ය කලාවේ පතාක යෝධයෙකු වු වත්මන් පුවත්පත් කතුවරුන්ගේ ගුරුවරයා ලෙස සැලකෙන එඩ්මන් රණසිංහ මහතා ය. මුලින් ම නාමල් උයන පිළිබඳව රටට ලොවට හඳුන්වා දුන්නේ එතුමන් ය. එසේ ම මේ රටේ සෑම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයක් ම ජාතික නාමල් උයනට මහා ශක්තියක් ලබා දුන්නේ ද, දෙන්නේ ද රාහුල හිමියන්ගේ කැපවීම අගය කරමිනි. රාහුල හිමියන් එදා සිට කටයුතු කළේ මනා දැක්මකින් යුතුව ය. නාමල් උයනට රිංගා ඔහේ සිටීමට උන් වහන්සේට බාධාවක් නොවී ය. එහෙත් රාහුල හිමියන්ගේ කළමනාකාරිත්වයේ සැලසුම් සහගත බව නිසා ම අද නාමල් උයන ලෝකය පුරා ම ප්‍රසිද්ධ වී තිබෙන බව නොරහසකි.

මට මොනතරම් බාධක ආව ද? ඒ කිසිවකින් මම බියවද්දන්න කාටවත් බැරි වුණා. මේවා මහා වනාන්තර, මම ආවේ නැත්නම්, තවමත් මේ ගම්මාන දියුණු වෙන්නේ නැහැ. මේ ගම්වල ළමයින්ට කිසිම අනාගතයක් නැති වෙන්න තිබ්බා. මම නාමල් උයන රැක ගත්ත නිසා අද මේ පළාත දියුණු වුණා. එදා මට බාධා කළ සමහර මිනිස්සු ම අද මේ නාමල් උයන නිසා දියුණු වෙලා ඉන්නවා. ඒක මගේ හිතට සංතෝෂයක්. මම කිසි කෙනෙක් එක්ක තරහ නෑ. මම පටන් ගත්ත වැඩේ මම ඉවර කළා එච්චරයි. රාහුල හිමියන්ගේ ඒ අභීත හඬ රැව් පිළිරුව් දුන්නේ ය.

මම කවදාවත් මගෙන් පසු මේ උරුමය රැක ගන්න කියලා භික්ෂු පරපුරක් හදන්න හිතුවේ. නැහැ. අද බොහොම සුළු පිරිසකටයි රට ගැන හැඟීම් තියෙන්නේ. ඒ නිසා මගෙන් පස්සේ මේ ජාතික උරුමය ජාතියට ම භාර කරනවා. නාමල් උයනේ අනාගතය ගැන උන් වහන්සේ දැරුවේ එවැනි ආකල්පයකි. උන් වහන්සේ කල්පනා කළේ ඒ උරුමය උරුම කරන්නට පරපුරක් හැදීමට නොව එය ජාතියට උරුම කර දෙන්නටයි.

“මම නීත්‍යනුකූලව මධ්‍යම සංස්කෘතික අරමුදලට නාමල් උයන පැවරුවා. අද ඒ නිසා ම මේ ප්‍රදේශයේ ම බොහෝ දෙනෙකුට පවුල් 60 කට පමණ රැකියා ලැබිලා තියෙනවා. ඒකත් කොච්චර දෙයක් ද බොලං”

මේ සියල්ල ජාතියට උරුම කරදුන් වනවාසි රාහුල හිමියෝ දැන් නිදහස්ව බැඳීම්වලින් තොරව වාසය කරති.

“මම දැන් ලොකු නිදහසකින් ජීවත් වෙන්නේ. අවුරුදු 28 ක් හිසේ තියාගෙන හිටිය මහ බරක් බිමින් තිබ්බා වගේ මට දැනෙනවා. නාමල් උයන රැකගැනීම නිසා මම නින්ද, අපහාස අනන්ත වින්දා. දුක් වින්දා, කැළෑ පත්තර මට විරුද්ධව ගැහුවා. වස විස දුන්නා. වෙඩි තිබ්බා. ඒ මදිවට අලි ගැහුවා. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් මට මේ කැළේ රැක ගැනීම නිසා ජනාධිපති සම්මාන පවා ලැබුණා. සංඝ සභා කිහිපයකින් ම ගෞරව නාම ලැබුණා. නොයෙක් ජාතික සංවිධානවලින් සම්මාන ලැබුණා. එදා කැලෑ පත්තර ගහනකොට, නින්දා කරන කොට මම ඒවා දරාගෙන හිටියා වගේ ම සම්මාන ලබන විටත් මම ඒ කිසිවකින් ඉහ උදුම්මා ගත්තේ නැහැ. සම්මාන ලබනවාට වඩා මට නින්දා ලබලා පුරුදුයි. ඒත් අද නාමල් උයන නිසා මේ ප්‍රදේශයේ ඇතිවෙලා තියෙන දියුණුව ගැන මිනිසුන්ගේ හදවත් තුළින් ම විවෘතව ම කතා කරන කොට එදාට ඉතින් මම මේ ලෝකේ නැහැ. ඔන්න ඕකයි බොලල්ලා ඇත්ත”

රාහුල හිමියන් තමන්ට ම ආවේනික වූ විලාසයෙන් සිය කතාව දිග හැරියේ එසේ ය. “මේ නාමල් උයනට නාපු ලොක්කෙක් නැහැ. හැම නායකයෙක් ම ආවා. උන්දැලා හැම කෙනෙක් ම නාමල් උයන දියුණු කරන්න මම කරන කැපවීමට විශාල සහයක් දුන්නා. මට පක්ෂ පාට නැහැ. මගේ ලකුණ කැලේ. එච්චරයි . රජයේ නිලධාරින් පවා සෑහෙන්න උදව් කළා. ඒ සියලු සහය මෙන් ම බාධක හින්දයි අද මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ. රාහුල හිමියන් දේශපාලකයන් ඉදිරියේ බැගෑපත් නොවූහ. කියන්න තියෙන දේ කොයි ලොක්කටත් එක සේ මූණටම කීහ.

ජපන් රජය ජාතික නාමල් උයනට දක්වන්නේ සුවිශේෂි දායකත්වයකි. අද වන විට ජපානයෙන් නාමල් උයනේ කෝටි 05 කට අධික වියදමකින් ඉදි කළ ගොඩනැගිල්ල විශේෂිත ය. එරට වැසියන් ද රාහුල හිමියන් කෙරෙහි දක්වන්නේ සුවිශේෂී ගෞරවයකි.

අද මට කියලා කිසිම දෙයක් නැහැ. මම නාමල් උයනට අයිති කෝටි ගණන් වටිනා දේපළ මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරුවා. මා මිය ගිය පසු අවසන් කටයුතු කරන අයුරු ගැනත් මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දීලයි තියෙන්නේ. මම මේ ලෝකෙට ඇවිත් මගෙන් රටට වෙන්න තියෙන දේ මම ඉටු කළා. ඒ ගැන මට සතුටුයි. ආපසු මම මිය ගියාට පස්සේ කවුරුවත් ඇවිත් දේහය තියාගෙන බේගල් ඇද බානවාට වඩා හොඳයි ඉකිමනින්ම වහන්වෙලා යන එක.

පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ අවසන් ප්‍රාර්ථනය එයයි. එය අතීත රජ සමයේ සිට වීරෝධාර රජවරුන්ගේ මෙන් ම අභීත භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රාර්ථනාවක් හා සමාන ය.

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 27 වනදා බදාදා අපරභාග 08.55 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා අපරභාග 10.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 28 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 4 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]