UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 18: අනුරාධපුර ජේතවන දාගැබ සහ රන් බණ පොත

අනුරාධපුර ජේතවන දාගැබ සහ රන් බණ පොත

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා MSC පර්යේෂණ

" අනුරාධපුර ජේතවන ආරාම සංකීර්ණය පිහිටි භූමිය මුල් කාලයේ දී හැඳින්වූයේ “නන්දන උද්‍යානය” යන නාමයෙනි. මේ පිළිබඳව පළමුව සඳහන් වී ඇත්තේ දේවානම් පියතිස්ස රාජ සමයේ දී ලංකාවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ සම්බන්ධ කර ගෙන ය. මිහිඳු මහ රහතන් වහන්සේ දින හතක් නොකඩවා ධර්ම දේශනා කර ඉතා විශාල සංඛ්‍යාවක් සැදැහැවතුන් පිරිසක් බුදු දහම කෙරෙහි යොමු වූයේ මෙම උද්‍යානයේ දී ය. ඒනිසා නන්දන උයන නම් වූ මෙම උද්‍යානය ජෝති උයන නමින් හැඳින්වූයේ ය. එහි අර්ථය වූයේ ධර්මාලෝකය විහිදී ගිය ස්ථානය යන අර්ථය යි."

මිහිඳු මහ රහතන් වහන්සේ අපගේ දේශයට පහනක් බඳු වූ සේක. ලංකාද්වීපයේ පහන ලෙසින් මිහිඳු මහරහතන් වහන්සේ හැඳින්වූ ඒ සමයේ දී පමණක් නොව මෙකල ද එසේම සැලකේ. මිහිඳු මහ රහතන් වහන්සේ හා සම්බන්ධ වූ මෙම ස්ථානය මහතෙරුන්ගේ පූජනීය භූමිය යන අදහස සහිතව මේ සඳහා “තේරානන්බන්ධ මාලක” යනුවෙන් ද හැඳින්වුණි. ජේතවනාරාම ආරාම භුමිභාගය නිර්මාණය කිරීමෙහි මුල් වූයේ මහසෙන් රජතුමා ය. එතුමා ක්‍රි.ව. 276 සිට 303 තෙක් අනුරාධපුර රාජධානියෙහි රජකම් කළේ ය. විශාල වැවක් වූ මින්නේරිය වැව නිර්මාණය කරවූයේ ද මේ රජතුමා විසිනි. සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල සහ වංස කතාව “දෙනා වෙහෙර” නමින් හඳුන්වන්නේ මෙම දාගැබ ය. අක්කර 8 ක් වු සමචතුරශ්‍රාකාර සතරැස් වේදිකාවක මෙම දාගැබ නිර්මාණය කර ඇත. සමස්ත ලෝකයේ ම ඇති, ගඩොලින් නිර්මාණය කළ විශාලතම ස්මාරකය මෙය වන්නේ ය. මෙහි උස අඩි 400 වූයේ ය. පේසා වළලු තුනකින් යුක්ත වූ මෙම දැගැබේ සතර දිසාවට මුහුණලා නිර්මාණය කළ වාහල්කඩ සතරකි. (The Cultural Traingle – UNESCO Publishing – JE tavana stupa and Monastery Complex – Dr Hema Ratnayake .P 65 – UNESCO – 1993)
 

සාංචි – භාරුත්, අමරාවතී සහ ඉන්දියාවේ අනෙකුත් ස්ථානවල පිහිටි ස්තූප වටේ දක්නට ඇති ගරාදිවැටවල් (වේදිකා) බෞද්ධ ගෘහ නිර්මාණය පිළිබඳ ඉතා වැදගත් ලක්ෂණයක් වනවා පමණක් නොව, ඒවා අලංකාර කළ මූර්ති කැටයම් වශයෙන් ද වැදගත් වේ. අනුරාධපුර මිහින්තලේ හෝ පොළොන්නරුවේ හෝ කිසිදු ස්තූපයකින් ගල් ගරාදිවැටවල නෂ්ටාවශේෂ සොයා ගෙන නැත. ගල්ගරාදි වැටවලින් වට වූ දාගැබ් ලංකාවේ ඇත්තේ එකකි. මෙය පිහිටා ඇත්තේ මණ්ඩල ගිරි නමින් වංසකතා හඳුන්වන උතුරු මැද පළාත් තමන්කඩුව දිස්ත්‍රික්කයේ පිහිටි මැදිරිගිරියෙහි ය.මේ දාගැබ වටා ඒක කේන්ද්‍රිය ගල් කුලුණු වටයන් ගෙන් සැදි චෛත්‍යාංගය හඳුන්වන්නේ වටදාගෙය යන නාමයෙනි. ගරාදි පිහිටියේ පිට කණු වටය කෙළින් ය. මේ ගරාදි වැට සහ අනුරාධපුරයේ ආරාම ගොඩනැගිල්ලක පිහිටි ගරාදි වැට නිර්මාණය අතින් අප දන්නා ඉන්දියානු ආදර්ශයන්ට වඩා තරමක් වෙනස් ය.

(ලංකාවේ ස්තුපය – ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 56- 57- 1963)

ජේතවන දාගැබ එක් පැත්තක් අඩි 576 ක් වූ චතුරශ්‍රාකාර වේදිකාවක් මත පිහිටියේ ය. ස්තූපයේ මුල් උස අඩි 400 කි. එහි වත්මන් උස අඩි 232 කි. එහි විෂ්කම්භය අඩි 28 ක් වූ පදනමක් මත පිහිටා ඇත. මේ දාගැබ ඉදිකිරීම සඳහා පුළුස්සන ලද ගඩොල් 9300,000 යොදා ඇත.

ජේතවනාරාම දාගැබ

ථූපාරාමයට නැගෙනහිරින් මල්වතු ඔය තෙක් විහිදුණු ජේතවනාරාම ප්‍රදේශයේ මෙම දාගැබ හැරුණුවිට තවත් බොහෝ බෞද්ධ නටබුන් රැසක් ම ඇත. පිළිමගෙය (ප්‍රතිමා ඝරය) බෝධි ඝරය, භික්ෂු ආරාම, දාන ශාලාව, නෙළුම් පතක හැඩය ඇති ගඩොලින් කළ විශාල ළිඳක්, කවාකාර වූ ගොඩනැගිල්ලක්, පුරාණ මංපෙත් ආදිය සංරක්ෂණය කර ඇත.

මෙම මහාදාගැබ නිර්මාණය කර ඇත්තේ (BED Rock)  මාතෘ පාෂාණය මත බව ජේතවනාරාම දාගැබ අසල කැණීම් වලදී පැහැදිලි විය. මහසෙන් රජතුමා විසින් පළමුව මෙම දාගැබ නිර්මාණය කිරීමෙන් පසුව ධාතුසේන , පළමුවන අග්බෝ, දෙවැනි මුගලන්, හා මහා පරාක්‍රමබාහු යන රජවරු කලින් කල මෙම දාගැබ සංරක්ෂණය කර ඇත. මෙම දාගැබට අයත් වන හා මේ දාගැබ් පරිශ්‍රයේ ඇති බොහෝ මූර්ති කැටයම් මේ පරිශ්‍රයේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ජේතවනාරාම කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. දක්ෂිණ භාරතයෙහි ආන්ද්‍රා ප්‍රදේශ් හි අමරාවතී පුදබිමට අයත් මූර්ති කැටයම්වලට සමාන මූර්ති ද මෙහි දී හමුවී ඇත.

ජේතවනාරාම පුදබිමට අයත් පරිශ්‍රයේ පුරාවිද්‍යා කැණිම්වල දී මැටි බඳුන්, විවිධ මැණික් වර්ග හා කාසි රැසක් හමුවී ඇත. විදේශීය රටවල් සමඟ වසර දහස් ගණනක් තිස්සේ පෙරදිග මෙන්ම අපරදිග රටවල් සමඟ පැවති සබඳතා විවිධ වූයේ ය. ඒ සබඳතා සංස්කෘතික, ආගමික හා දේශපාලන මෙන්ම වාණිජ අංශවලට අයත් වන්නේ ය. ජේතවනාරාම පුදබිමෙහි ඇති උපෝසථඝරය පෝය ගෙයට අයත් ගල්කණු අසූ දෙකක් දාගැබට ගිනිකොණ දෙසින් දක්නට ලැබේ. මෙම දාගැබට අයත් මහපිළිම ගෙය ද දාගැබේ බටහිර දොරටුවේ සිට දැක ගත හැකි ය. ප්‍රතිමා ඝරයේ (පිළිමගෙය) අඩි 27 උස දොරටුව අපට කියාපාන්නේ මේ පිළිම ගෙයි පිහිටුවා තිබුණු බුදු පිළිමයේ උස ප්‍රමාණය ගැන නොවේද? මේ සියල්ල අපේ පුරාණ බෞද්ධ කලා ශිල්පවලට අයත් ය. අපේ පැරැණි කලා ශිල්පීන්ගේ දක්ෂතාවයන් මෙයින් පිළිබිඹු වේ. (හෙළ කලා විස්කම් – සිරිසමන් විජේතුංග පි. 124-125 (2010)

ජේතවනාරාම රන් බණපොත

යුනෙස්කෝ – ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ජේතවනාරාම ව්‍යාපෘතින්ට අයත් වූ ජේතවනාරාම දාගැබ සංරක්ෂණ වලදී කළ කැණීමකදී රන් පත් ඉරු හතක් (7) 1982 දෙසැම්බර් මස 18 වැනිදා හමු වූයේ ය.

මෙම රන්පත් ඉරුවල සඳහන් වන්නේ මහායාන සූත්‍රයක් වූ ප්‍රඥා පාරමිතා සූත්‍රයේ කොටස් ය. එය බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ කරනු ලබන ධර්ම සංවාදයක ස්වරූපයෙන් සකස් වූවකි.

මහායාන බෞද්ධ ධර්මයෙහි ප්‍රඥාපාරමිතා යනුවෙන් ශුණ්‍යතා ධර්මය මෙන්ම, බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය ද හැඳින්වේ. එසේම ප්‍රඥාපාරමිතා සූත්‍රයේ පෙළ ද විමුක්තිය සඳහා වූ මාර්ගය ද එයින් අදහස් කරනු ලැබේ.

රන්පත් ඉරුවල ලියා ඇති අක්ෂර (අකුරු) නව වැනි සියවසට අයත් පැරැණි සිංහල අක්ෂර වේ. රන්පත් ඉරුවල සඳහන් සුත්‍රය අසම්පූර්ණ ය. එයට හේතුව අතරින් පතර සමහර පත් ඉරු අඩුව තිබීමයි.රන්පත් ඉරු එකක දිග අඟල් 25 කි. පළල අඟල් 2.3 කි.

මෙම රන්පත් ඉරු ජේතවනාරාම දාගැබ අසල කැණීම් කරමින් සිටි කේ.ජී. සෝමපාල මහතාට සහ බී.ජී. සෝමවතී මහත්මියට හමුවී ඇත. මෙම ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය හේම රත්නායක මහතා සහ එවක පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා විසින් නිකුත් කරන ලද ජේතවනාරාම රන්බණපොත පත්‍රිකාව ඇසුරින් මේ තොරතුරු සකස්කරන ලදී. මෙම ලිපිය ලියන ලේඛකයා ද එවක පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටියේ ය.

ලොව උසම දාගැබ

මෙම ආරාම සංකීර්ණයේ කේන්ද්‍රීය ස්ථානය වන ජේතවන ස්තුපය ඉදිකර ඇත්තේ පුළුස්සන ලද ගඩොල් ස්ථරයන් එකක් මතුපිට එකක් තැබීමෙනි. මෙය අවසානයේ ගඩොල් 8,33000 පමණ අඩංගු දැවැන්ත ඉදිකිරීමක් විය. ක්‍රි.ව. 4 වන සියවසේ රෝමන් අධිරාජ්‍යය බිඳ වැටෙන විට ජේතවන ස්තුපය ලෝකයේ උසම ස්මාරක අතුරින් තුන්වන තැන ගත්තේ ය. ඊට වඩා උස වූයේ මිසරයේ ගීසාහි පිහිටි උසම පිරමීඩ දෙක ය. මීටර් 6 ගැඹුරු අත්තිවාරම පිහිටි පොළවෙහි තිබෙන බව ස්තූපයේ පාදමෙහි උතුරු හා නැගෙනහිර කරන ලද කැණීම් වලින් ස්ථිරවම ඔප්පු වෙයි. (අපේ සංස්කෘතික උරුමය දෙවැනි කාණ්ඩය ජේතවනාරාම ස්තුපය හා ආරාම සංකීර්ණය ආචාර්ය හේම රත්නායක පි. 334 මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශනයකි. 1998)

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]