UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බාලයන් ඇසුර එපා

බාලයන් ඇසුර එපා

සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ මංගල කරුණු අතරින් බාලයන් ඇසුරු කිරීම හොඳ නැහැ. තමන්ට ආශ්‍රයට නිශ්‍රයට සුදුසු පුද්ගලයන් නොලැබුණොත් හුදකලාව ඉඳීම හොඳයි. බාලයන් ඇසුරු කරනවට වඩා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මොනතරම් වටිනවද? කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්නත් සසරේ පින තියෙන්න ඕනේ.

කල්‍යාණ මිත්‍රයාගේ හොඳ ගතිගුණ කොහොමද? කල්‍යාණ මිත්‍රයෙක් අපේ ආශ්‍රයට ලැබුණම නිතරම සිතට දැනෙන්නේ සහනයක් නේද? නිතරම කල්‍යාණ මිත්‍රයා තමාගේ ළඟින් ඇසුරු කරන ඇත්තට අනතුරක් වුණොත් , කරදරයක් වුණොත් දාලා යන්නේ නැහැනේ.

එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහ මග වඩිනවා මහ පිරිවර සමඟ. ආනන්ද හාමුදුරුවෝ පසු පස වඩිනවා. මහා නාලාගිරි හස්ති රාජයා වේගයෙන් මහ හඬ නගාගෙන අවට දූවිලි අවුස්සගෙන බුදුහාමුදුරුවෝ ඉදිරියට දුවගෙන එනවා. එක පාරම බුදුහාමුදුරුවන් සමඟ පසුපස වඩිමින් සිටින හාමුදුරුවරු හොඳටම බයවෙලා ඒ මේ අත දුවනවා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කියනවා ස්වාමීණි, භාග්‍යවතුන් වහන්ස! ඉවතට යන්න. බුදුහාමුදුරුවනේ, නාලාගිරි ඇතා දුවගෙන එනවා. ඔබ වහන්සේට අනතුරක් කරයි ස්වාමීණි අනේ ඉවතට යන්න. ස්වාමීණි බොහොම නපුරු විදිහටයි නාලාගිරි එන්නේ. වෙනදා විදියට නෙවෙයි. ඒක නිසා ඉවතට යන්න. නැහැ ආන්නද මම ඉවතට යන්නෙ නෑ.

අනේ ආනන්ද හාමුදුරුවෝ මොකද කළේ. මගේ භාග්‍යවතුන් වහන්සේ ඉවතට යන්නේ නැහැනේ. කමක් නෑ මගේ ජීවිතේට අනතුරක් වුණත්, මගේ බුදුහාමුදුරුවන්ට නම් අනතුරක් වෙන්න දෙන්නේ නැහැමයි කියලා හිතාගෙන බුදුහාමුදුරුවන්ට ඉස්සරහින් ආනන්ද හාමුදුරුවෝ වැඩියනේ. බලන්න පින්වතුනේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන වටිනාකම. තමන්ට අනතුරක් උනත් කමක් නැහැ මගේ බුදුහාමුදුරුවන්ට අනතුරක් වෙන්න දෙන්නෙ නැහැ කියලා හිතුවනේ. නපුරු නාලාගිරි බුදුහාමුදුරුවෝ ළගට ආවා. දනින් වැටුණා. හොඬවැල උස්සලා වැඳ නමස්කාර කෙරුවා. හරි පුදුමයි. හොඳටම රා බී, වෙරි මතේ හිටපු නාලාගිරි ඇතා තුන් ලොවක් සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ දමනය වුණා. බුදුහාමුදුරුවෝ නාලාගිරි ඇමතුවා. ඇයි නාලාගිරි වෙනදා තිබුණ ගතිගුණ වලට මොකද වුණේ. කවුද නාලාගිරි ඔබට රා පෙව්වේ. ආනන්ද හාමුදුරුවන්ට හරි පුදුමයි. අනේ මගේ බුදුහාමුදුරුවන් ඉදිරියේ මේ තරම් නපුරු ඇතා දමනය වුණානේ. ඔන්න අනිත් හාමුදුරුවන් වහන්සේලා වැඩියා බුදුහාමුරදුවන් ළඟට. ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස, හරි පුදුමයි මේ තරම් නපුරු නාලාගිරි ඇතා එනකොට අපි සේරම බයවෙලා දිව්වා ඒත්, ආනන්ද හාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරුවනේ දිව්වේ නැත්තේ. මොකක්ද ස්වාමීණි වෙනස ආනන්ද හාමුදුරුවෝ ඔබ වහන්සේගේ නෑදෑයෙක් ද? මෙච්චර බය වෙලාවකදීත් ඔබ වහන්සේ දාලා අපි සේරම දුවද්දී ඔබ වහන්සේගේ ළඟම හිටියේ.

මහණෙනි මේක තමයි සංසාරේ පුරුදු කරගෙන ආ හැටි. අතීතයේ එක ආත්මෙක දී ලස්සන මුව රජ කෙනෙක් හිටියා. මුව රංචුව සමඟ කැළේ මැද්දේ ඇවිදිනකොට ඒ රටේ රජතුමාගේ සේවකයෝ අටවපු උගුලක මේ මුවරජතුමා පැටලුණා.

ඉතින් අනිත් මුව රංචුව මොකද කළේ? එතනින් ඈතට දුවලා ගියා. ඒත් එක මුවෙක් විතරක් ඒ උගුලට අහුවුණා. මුවරජ වටා දුවනවා. කලබලවෙලා කොහොමද මගේ රජතුමා බේරා ගන්නේ කියලා. හිත හිතා අනේ රාජපුරුෂයන් සමඟ රජතුමා මහ වනයට ආවා එක මුවෙක් උගුලට අහුවෙලා. අනිත් මුව රංචුවම නැහැ. ඒත් දෙයියනේ එක මුවෙක් විතරක් කෑගගහා ළඟට වෙලා ඉන්නවා. එක මුවෙක් විතරක් උගුලට අහුවුණා. මුවා දාලා නොගිහින් ඉන්නේ. හරි පුදුමයි. මහණෙනි එදා ඒ කෑගසමින් ළඟට වී සිටි මුවා තමයි අද මේ ඉන්න ආනන්ද හාමුදුරුවෝ. උගුලට අහුවුන මුව රජුනම් මමයි මහණෙනි, බලන්න කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ වටිනාකම . කල්‍යාණ මිත්‍ර මව් දෙමව්පියෝ කොච්චර වටිනවද? එහෙම ලැබෙන්නත් සසරේ පින තියෙන්න ඕන. අනේ අම්මලා තාත්තලා දරුවන්ට මොනතරම් වාසනාවක් ද? ඒත් අද සමාජයේ අසරණ මව්පියන් මහලු මඩම්වල. හදා වඩාගත්තු මව්දෙමව්පියෝ මහලු මඩම්වලට වෙලා හූල්ලනකොට දරුවන්ට සෙතක් ශාන්තියක් ලැබෙනවා ද? අනේ නොකා නොබී හරි කමක් නෑ දරුවනේ, අපි උඹලා එක්ක එකවහලක් යට ඉන්න ඕනෑ. අනේ ඒ හිත් රිදවන එක පව්,ජාති ජාති ගෙවා ගන්න බැරි පව්. මගේ පුතේ මගේ දුවේ මව්දෙමව්පියන්ට හිත් රිදෙන විදිහට කතා කරන්න එපා. මොනදේ නැති උනත් ඔබ හැදුවනේ. බලන්න පින්වතුනේ හොඳට හැදීගෙන එන ගහකට අපි ඇනයක් ගහමු. යකඩ ඇනයක් එතනින් කිරි බේරෙනවා. ඒත් ඊට පස්සේ මොකද වෙන්නේ ඒ විස දිගටම උඩුදුවලා ගහේ කඳටම පැතිරෙනවනේ. ඒ ගහ විනාශ වෙනවා. අන්න ඒවගේ මව්පියන්ටත් සිත් වලට වේදනා දුන්නම ඒ සිතට සතුටක් නැහැනේ. නිතරම මතක් වෙන්නේ දරුවන්ගෙන් සිදුවු වේදනාවනේ. එහෙම කරන්න එප! පව් සිදු වෙනවා.

 

නවම් අව අටවක පෝය


නවම් අව අටවක පෝය පෙබරවාරි 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.46 ට ලබයි. 27 වන දා බදාදා පූර්වභාග 05.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වන දා අඟහරුවාදා ය.

 

 මීළඟ පෝය මාර්තු 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]