UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

දුරුතු පුර අටවක 2019.01.14

දෙවිවරු වැනි මිනිසුන් ඇත

 

බුද්ධ කාලීන භාරතීය සමාජයේ ජීවත් වූ පිරිස් කණ්ඩායම් සතරකට බෙදා තිබුණි. ඒ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් ය. සමාජයේ ඉහළින් ම වැජඹුණේ බ්‍රාහ්මණ හා ක්ෂත්‍රිය වංශිකයන් ය. ඊළඟට වෛශ්‍යයන් ය. සමාජයේ පහත් ම පිරිස ලෙස අසාධාරණයට පත් වූවෝ ශුද්‍රයෝ ය. ඔවුහු දැකීම පවා අන්‍යයන් විසින් පිළිකුල් කරනු ලැබී ය. කෙනෙක් උපත ලැබුයේ යම් කුලයක ද ඔහුට ඒ නම පට බැඳුණි. මේ අසාධාරණ බෙදීම හෙළා දකිමින් මනුෂ්‍යයා උපතින් උසස් හෝ පහත් නොවන බවත්, කරන ක්‍රියාවෙන්ම උසස් හෝ පහත් වන බවත් තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්හ. ශ්‍රී සද්ධර්මය සොයා සිව් දෙසින් ඇදී ආ සියලු ජන කොටස් සම්බුද්ධ ශාසනය තුළ ඒකරාශි වූයේ භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස ලෙස ය. ඒ තුළ කිසිදු කුල භේදයක් නො වී ය.

පන්සාළිස් වසක් පුරා සකල ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුළ ඇත්තේ නොනැවතී දුවන ඝෝර සසර මඟ නිවීම, නැවතීම සොයා යාමේ පිළිවෙත ය. ඒ පිළිවෙත් මාර්ගයෙහි මිනිසෙක් ලෙස උපත ලබා මනුදම් වැඩිය යුතු ආකාරය අපට උගන්වයි.

ක්‍රි.පූ. තුන්වන සියවසේ සිදු වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සමඟ ඒ අසිරිමත් සම්බුදු දහමින් ලාංකේය සමාජය ද සුපෝෂිත විය. මනුසත්දම් අගයන යුතුකම්, වගකීම් හඳුනන, අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගෙන් සුපෝෂිත දැහැමි සමාජයක් ඒ අනුව නිර්මාණය විය. මව්පිය, දූ දරු, ස්වාමි, භාර්යා, ගුරු සිසු, ස්වාමි, සේවක, ගිහි ,පැවිදි ආදී ලෙස යුතුකම් වගකීම් මත ශක්තිමත් වූ සමාජ කණ්ඩායම් මහා සමාජයේ දී ද අන්‍යොන්‍ය උපකාරී වූහ. අනෙකාගේ විපතේ දී , දුකේ දී, කරදරයේ දී සංවේදී වූහ. ඈත අතීතයේ සිට ම අද දක්වාත් වෙසෙසින් බොදු සමාජය තුළ ඒ වටිනාකම් සුරක්ෂිතව පවතී.

ජාති, ආගම් භේද නොසලකා මිනිස්කම පෙරට ආ එවැනි වෙසෙස් සිදුවීමක් පසුගියදා වාර්තා වූයේ පියවි දෑසින් දුටුවන්ගේ මතු නොව විද්‍යුත් මාධ්‍යයන් ඔස්සේ දැක බලා ගත් අයගේ ද, මුද්‍රිත මාධ්‍යයන්ගෙන් කියවා දැන ගත් අයගේ ද දෑසට කඳුලක් එක් කරමිනි.

එක් පැත්තකින් අඹු දරුවන් කෙරෙහි වූ පියෙකුගේ සෙනෙහස් බැම්මේ ශක්තිමත් බව ය. අනෙක් පසින් ඒ දරු සෙනෙහස දිනා දෙන්නට උර දුන් මිනිසුන්ගේ එකමුතුකම හා අධිෂ්ඨානශීලී බව ය.

මහනුවර ප්‍රදේශයේ මහල් ගොඩනැඟිල්ලක සිදු වූ ගින්නකින් සිය දරු පවුල බේරා ගන්නට ඉහළ මාලයේ සිට පියෙකු විසින් දරුවන් පහතට දමනු ලැබීමත්, එහි රැස් වූ ජනයා පහත සිට ඉතා ආරක්ෂිත සේ ඒ දරුවන් අල්ලා ගනිමින් ජීවත සුරක්ෂිත කිරීමේ සිදුවීමත් ය.

මහනුවර නගරය යනු සිංහල, දෙමළ, මුස්ලිම් ආදී විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් ජීවත්වන නගරයකි. මේ සිදුවීමේ දී දරු පවුලක් බේරා ගන්නට එකාවන්ව ඒකරාශී වූයේ මේ සියලුම ජාතීන් ය. මහනුවර නගරවාසීන් දුන් මේ ආදර්ශය සමස්ත ලෝකයට ම දෙන පණිවුඩය සුළුපටු නොවේ. ජීවිත බේරා ගැනීමෙන් පසු ඒ පියා පවසා තිබුණේ ‘නුවර මිනිසුන්ගේ ජාති භේද නෑ. ආගම් භේද නෑ. කරදරයක් වුණ වෙලාවට හැමෝම එකතු වෙනවා. මිනිස්සු හරි හොඳයි’ යනුවෙනි. රටකට ඇවැසි හොඳ මිනිසුන් ය. සංහිඳියාව, සාමය , සමඟිය සේ ම දියුණුව ද ඇති වන්නේ හොඳ මිනිසුන් ඇති තරමට ය.

එහෙත් ඇතැම් තැනෙක පටු අරමුණු මුදුන් පමුණුවා ගන්නට කරන උත්සාහයේ දී මිනිස්කම අමතක වන්නේ ය. ජාති, ආගම්, භේද ලෙස පෙරට එන්නේ ඒ ආත්මාර්ථකාමීකම් මිස පොදු මිනිස් කණ්ඩායමක් ලෙස බහුතරයකගේ වුවමනාවන් නොවේ. ආගමෙන් ධර්මයෙන් සුපෝෂිත මිනිසුන්ට, ජාති , ආගම් භේද නැත. .සියල්ලන්ට ගරු කරමින්, ඔවුනොවුන්ට උපකාරී වෙමින් ඔවුහු සාමයෙන් ජීවත් වෙති. එය බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවෙන් ද ලබා දෙන උතුම් පණිවුඩය කි. බොදු ජනතාව ලෙස මෙවැනි ගුණ ධර්ම තව තවත් වඩා වර්ධනය කරමින් මනුසත් දම් ප්‍රගුණ කරන්නට අධිටන් කර ගනිමු.

 

දුරුතු පුර අටවක පෝය


දුරුතු පුර අටවක පෝය ජනවාරි 13 වන දා ඉරිදා අපර භාග 11.42 ට ලබයි. 15 වන දා අඟහරුවාදා පූර්වභාග 00.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 14 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ජනවාරි 20 වන ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]