UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 10:  දානයේ මහානිශංසය

තෙවළා බුදු වදන් අතරින් 10: 

දානයේ මහානිශංසය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි භික්ෂූන් වහන්සේලා අමතා දක්ඛිණාවිසුද්ධි සූත්‍රය දේශනාකොට වදාළහ. එක් දිනක් භික්ෂූන් ඇමතු බුදුරජාණන් වහන්සේ, “මහණෙනි මේ දක්‍ෂිණා විශූද්ධි සතරකි.

මහණෙනි, ප්‍රතිග්‍රාහකයන්ගෙන් නොව දායකයන්ගෙන් පිරිසුදු වන්නා වූ දක්‍ෂිණාවය, දායකයන්ගෙන් නොව ප්‍රතිග්‍රාහකයන්ගෙන් පිරිසුදුවන දක්‍ෂිණාවය, දායකයන්ගෙන්වත් ප්‍රතිග්‍රාහකයන්ගෙන්වත් පිරිසුදු නොවන දක්‍ෂිණාවය, දායකයන්ගෙනුත් ප්‍රතිග්‍රාහකයන්ගෙනුත් පිරිසුදු වන දක්‍ෂිණාවය යනුවෙන් දක්‍ෂිණා සතරකි” යනුවෙන් සිව්වදෑරුම් දක්‍ෂිණාවක් දේශනා කළහ. පිටක හා අටුවා ග්‍රන්ථවල දක්‍ෂිණා යන පදයෙන් දානය, පරිත්‍යාගය හා එයින් ලැබෙන පුණ්‍ය ඵලය ද අදහස් කොට තිබේ. මෙම සූත්‍රයෙහි දක්‍ෂිණා යන්නෙන් අදහස්කොට ඇත්තේ දානයයි. දක්‍ෂිණාව හෙවත් දානය පිරිසුදු වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම සූත්‍රයේ අරමුණ වී තිබේ. දානයේ පාරිශුද්ධතාව කෙරෙහි ප්‍රතිග්‍රාහකයා මෙන්ම දායකයාත් හේතුවේ. යථෝක්ත සූත්‍රය අනුව දානය පිරිනමන දායකයා සිල්වත් ගුණවත් අයෙකු වී ලාමක ගති ඇති දුශ්ශීල ප්‍රතිග්‍රාහකයෙකුට යමක් පරිත්‍යාග කරන්නේ නම්, එම දානය දායකයාගේ ගුණ සම්පත්තිය හා ශීලය නිසා පිරිසුදු එකක් බවට පත් වේ.

ඒ අනුව පළමු දානය පවිත්‍රත්වයට පත්වන්නේ ප්‍රතිග්‍රාහකයා නිසා නොව දායකයා නිසා ය. එය පළමු දක්‍ෂිණා විසුද්ධියයි. දානය පිරිනමන දායකයා ශීලයෙන් හා ගුණ සම්පත්තියෙන් පිරිහුණු අයෙකු වුව ද, ප්‍රතිග්‍රාහකයාගේ ශිලය හා ගුණ සම්පත්තිය නිසා දක්‍ෂිණාව පිරිසුදු වේ. එය දෙවන දක්‍ෂිණා විසුද්ධියයි. දායකය ත් ප්‍රතිග්‍රාහකයාත් යන දෙදෙනාම දුශ්ශීල පාපධර්ම ඇති අය වෙත් නම් එම දක්‍ෂිණාව පවිත්‍ර නොවේ. දායක ප්‍රතිග්‍රාහක යන දෙපක්ෂයම අපිරිසුදු නිසා තුන්වන අවස්ථාවේදී දානය හෙවත් දක්‍ෂිණාව සාකල්‍යයෙන්ම අපිරිසුදු එකක් බවට පත්වේ. එහෙත් දායකයාත්, ප්‍රතිග්‍රාහකයාත් යන දෙදෙනාම සිල්වත් වූයේ වේ ද, කුශල ධර්මයන්ගෙන් යුක්ත වේ ද, ඔවුන් හා සම්බන්ධ දානය සාකල්‍යයෙන් ම පිරිසුදු එකක් බවට පත් වේ.

සිව්වන අවස්ථාවට අනුව පිරිනමනු ලබන දානය දායක ප්‍රතිග්‍රාහක ගුණ සම්පත්තිය නිසා පිරිසුදු එකක් බවට පත් වේ. සූත්‍රගත විවරණය අනුව පළමු හා දෙවන දානය අර්ධ වශයෙන් පවිත්‍ර ය. තුන්වන දානය සම්පූර්ණයෙන් ම අපිරිසුදුය. එබැවින් එය බුදුරදුන්ගේ ඇගයුමකට ලක් නොවේ. අවසන් දානය සර්ව සම්පූර්ණ ය. දෙපසින් ම පිවිතුරු ය. එබැවින් එය උත්තම දක්‍ෂිණාවකි. එය බුදුරදුන්ගේ ඇගයුමට ලක් වේ. බෞද්ධ පිළිවෙත් අතර දානය හා පරිත්‍යාගය උතුම් සද් චාරිත්‍රයක් ලෙස සැලකේ. සන්තානයේ පවතින ලෝභ දෝස මෝහ යන අකුශල මනෝභාවයන් ක්‍රමයෙන් යටපත් කිරීමට අවශ්‍ය පුහුණුව ලබාගැනීම එහි මූලික අරමුණ වේ. දායක - ප්‍රතිග්‍රාහක දෙපක්ෂය ම ගුණ සම්පත්තියෙන් අනූන නම්, එයින් ලැබෙන ප්‍රතිඵලය ද උසස් වේ.

ඔවුනොවුන්ගේ පාරිශුද්ධත්වය හා ගුණ සම්පත්තිය පිළිබඳ වගකීම දරන්නේ ඔවුනොවුන් ය. එබැවින් මෙම දෙපක්ෂයම තම අධ්‍යාත්මික පාරිශුද්ධත්වය ගැන සැලකිලිමත් විය යුතුවේ. දානය හෝ පරිත්‍යාගය පිරිසුදුවන්නේ භෞතික දෑ මත නොවේ. යථෝක්ත සූත්‍ර දේශනාව අනුව අධ්‍යාත්මික යෝග්‍යතාව එයට අවශ්‍ය වේ. දායකයාගේ මෙන් ම ප්‍රතිග්‍රාහකයාගේ අධ්‍යාත්මික පවිත්‍රතාව නිසා දක්‍ෂිණාව පවිත්‍ර වේ. බොහෝ දායකයන් මෙන් ම ප්‍රතිග්‍රාහකයන් ද දානයේ භෞතික අංශය ගැන වැඩි සැලකිල්ලක් හා අවධානයක් යොමුකෙරේ. භෞතික වශයෙන් පිරිනමන දෑ විශේෂයෙන් ම ඇගයුමට ලක් වේ. අධ්‍යාත්මික නිරවද්‍යතාව හා පාරිශුද්ධත්වය කෙරෙහි දක්වන්නේ අල්ප සැලකිල්ලකි. බුදුදහමට අනුව දානය කවරෙක් උදෙසා පිරිනැමුව ද, එය උතුම් චාරිත්‍රයකි. එහෙත් සිල්වතුන් හා ගුණවතුන් උදෙසා කරනු ලබන පරිත්‍යාගය වඩාත් උසස් පරිත්‍යාගය හා දානය ලෙස සලකනු ලැබේ. ඉහත සූත්‍රය අනුව මෙම අධ්‍යාත්මික පවිත්‍රතාව කරුණු දෙකකින් යුක්ත වේ.

එනම් සිල්වත් බව (සීලවන්තො) හා යහපත් ගුණ ධර්මයි (කල්‍යාණධම්මො). අධ්‍යාත්මික අපවිත්‍රතාවය තීරණය කරන්නේ දුසිල්බව හා පාප ධර්ම අනුව ය. දානයක නැතහොත් පරිත්‍යාගයක අධ්‍යාත්මික පාරිශූද්ධත්වය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ ශීලය හා කල්‍යාණ ධර්මය ය. ගිහියෙකුගේ නිත්‍ය ශීලය පංච ශීලයයි. අධි ශීලය උපොසථ ශීලයයි. සාමණේර දස ශීලය හා උපසම්පදා ශීලය පැවිද්දාගේ ශීලයයි. කල්‍යාණ ධර්ම යන්න විවිධ අරුතින් යෙදුන ද එයින් මූලික වශයෙන් අදහස් වන්නේ පුණ්‍ය - කුශල ප්‍රතිපදාවට අයත් යහපත් ආකල්ප හා පිළිවෙත් ය. දානය පිරිනමන දායකයාගේ සිල්වත් බව හා ගුණවත් බව මෙන් ම එය පිළිගන්නා ප්‍රතිග්‍රාහකයාගේ සිල්වත් බව හා ගුණවත් බවත් දානමය පින්කම හෝ කුශලය අර්ථවත් වීමට අවශ්‍ය වේ.

එහෙත් ඇතැම් විට දායකයා තම ගුණ සම්පත්තියට වඩා වෙනත් බාහිර දෑ අරමුණු කරගෙන එය සිදු කරන අවස්ථා දක්නට ලැබේ. කවර අරමුණක් පෙරදැරිකරගෙන වුව දානයක් හෝ පරිත්‍යාගයක් සිදුකිරීම යහපත් ය. එහෙත් එහි උත්තම පරමාර්ථය වන ලෝභ ද්වේෂ මෝහ යන අකුශල චේතනා යටපත්කොට ගෙන, නිවන අරමුණුකරගෙන, නිරපේක්ෂව සිදුකරන්නේ නම් එම දානය නිකැලැල් පිරිසුදු දානයකි. එසේම තමා සන්තක දැය නියම අර්ථයෙන් අත්හැරීමකි. එහෙත් වෙනත් ලෞකික අපේක්ෂා රැසක් ඉදිරියේ තබාගෙන එය සිදුකරන්නේ නම්, එම දානමය චේතනාව කෙලෙස් ධර්මවලින් කිලිටි නිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ශුද්ධ වූ පරිත්‍යාගයක් අත්හැරිමක් බවට පත් නොවේ. එය එක්තරා ආකාරයක ආයෝජනයකි. දෙනු ලබන දෙයට වඩා දෙගුණයක් දෑ බලාපොරොත්තු වන්නකි.

වස්තුව කෙරෙහිත් ප්‍රතිග්‍රාහකයා කෙරෙහිත් ඇලීමක් නොමැතිව අත්හැරීම ඒකායන අරමුණුකරගෙන සිදුවන දානයෙන් ප්‍රාර්ථනා කළත්, නොකළත් යහපත් ප්‍රතිඵල ලැබේ. අනෙක් අතට දායකයා විසින් පිරිනමනු ලබන දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහකයා ද ඔහු ඉදිරියේ පංචකාම ලෝකයට අයත් දෑ ගැන වර්ණනා කරමින් ඒ ගැන උනන්දුකරවීම වෙනත් ආකාරයකින් තෘෂ්ණාව වර්ධනය කිරීමට අනුබල සැපයීමකි. ඇතැම් දායකයන් විසින් තමාගේ ගුණ වර්ණනා කරවා ගැනීමටත්, නම ප්‍රසිද්ධ කරවා ගැනීමටත්, තම ව්‍යාපාරික අරමුණු ඉටුකරවා ගැනීමටත් විවිධ අරමුණු වෙනුවෙනුත් විවිධ දෑ පරිත්‍යාග කරනු ලැබේ. ඔවුන් විසින් කරනු ලබන පරිත්‍යාගය එක් අතකින් යහපත් ක්‍රියාවක් වුව ද, කිලිටි අපේක්ෂා ගොන්නක් ඒ හා සමග බැඳී පවතින නිසා එමගින් දානය පිරිසුදු එකක් බවට පත් නොවේ. අන්‍යයන්ගෙන් සිව්පසය ලබන භික්ෂු - භික්ෂුණී දෙපිරිසට ද ප්‍රතිග්‍රාහකයන් වශයෙන් මෙහිලා විශේෂ වගකීමක් තිබේ. ඔවුන්ගේ පාරිශුද්ධත්වය ද දානය මහත්ඵල මහානිසංස කිරීමට හේතුවන බව කල්පනා කිරීම අවශ්‍ය වේ. සිල්වත් ගුණවත් භික්ෂුව දායකයන්ගේ ශ්‍රද්ධා බීජ වැපීරිමට සුදුසු පින්කෙතක් ලෙස නම්කර තිබේ. එහි රෝපණය කරන ශ්‍රද්ධා බීජ වැඩී වර්ධනය වන්නේ, ඊට අවශ්‍ය සාධක සපුරණ පින්කෙතක පමණි. දායකයා විසින් පිරිනමන දානය කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලීමත්, ද්වේෂයෙන් ගැටීමත් නොකළ යුත්තකි. ලැබෙන දැය කවරක් වුව උපේක්ෂාවෙන් පිළිගැනීම උසස් අධ්‍යාත්මික දියුණුවක් අත්පත්කරගත් පැවිදි උතුමන්ගේ සිරිත ය. මෙය බුද්ධ චරිතයෙන් මෙන් ම ශ්‍රාවක චරිත ඇසුරෙන් ද වටහාගත හැකි ය. සුත්ත නිපාත මුනි සූත්‍රයේ දැක්වෙන්නේ පොකුරු පතෙහි නොඇලෙන දිය මෙන් සිව්පසයෙහි නොඇලී සිහිනුවණින් යුතුව පරිහරණය කළ යුතු බවයි.

සිව්පස ලාභය සඳහා එක්විසි අනෙසන ධර්මයන් අනුව පෙළඹවීම් නොකොට නිරපේක්ෂක විය යුතුවේ. දක්‍ෂිණා විසුද්ධිය ඇතිවන්නේ දායක ප්‍රතිග්‍රාහක දෙපක්ෂය ම යටකී උත්තම ගුණ මත පිහිටා යමක් පරිත්‍යාග කිරීමේදීත්, එය පිළිගැනීමේදීත් ලෝභ දෝස මෝහ යන කෙලෙස් ධර්මයන්ගෙන් කිලිටි නොවී නිරපේක්ෂ ව නිවන් අරමුණු කරගෙන කටයුතු කරන්නේ නම් පමණි.

 

වප්අව අටවක පෝය


වප්අව අටවක පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා පූර්ව භාග 11.11 ට ලබයි. නොවැම්බර් 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 31 වන දා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 7 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]