UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යුග යුග ජන මන බැඳි දන්තුරේ රජමහා විහාරය

යුග යුග ජන මන බැඳි දන්තුරේ රජමහා විහාරය


බුද්ධ ප්‍රතිමා වහන්සේ

විහාර මන්දිරය

මහනුවර යටිනුවර පිහිටා ඇති දන්තුරේ රජමහා විහාරය දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ඓතිහාසික දන්තුරේ ප්‍රදේශය පෘතුගීසීන්ට එරෙහිව කළ දන්තුරේ සටන නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත.

සුන්දර තේ වතුවලින් ද, නෙරළු උයන්වලින් ද මනස්කාන්ත කෙත්වතු වලින් ද සමලංකෘත දන්තුරේ ප්‍රදේශය අදත් මනස්කාන්ත ස්ථානයකි.

මෙම ප්‍රදේශයේ පෞරාණික සිද්ධස්ථාන අතර දන්තුරේ රජමහා විහාරයට වෙසෙස් තැනක් හිමිවෙයි.

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන දන්තුරේ රජමහා විහාරයේ ඉතිහාස කතාව දේවානම්පියතිස්ස රජ සමයට ගමන්කරයි. විහාරස්ථානයේ ඉහළ මළුවේ සෙල්ලිපියකට අනුව දන්ත කුමරුන් විසින් මෙම ස්ථාන ප්‍රකෘතිමත් කළ බව සඳහන් ව ඇත.

ශ්‍රී දළදා වහන්සේ පරසතුරු උවදුරුවලින් බේරා ගැනීමට දිවයිනේ නා නා ස්ථානවලට වැඩමවා ඇති අතර ඓතිහාසික සාක්ෂිවලට අනුව රජමාවත පිහිටා තිබී ඇත්තේ වත්මන් දන්තුරේ විහාරස්ථානය ඉදිරියෙනි.

මෙම රජමාවතේ ගමන් කරනවුන් සඳහා ගිමන්හල් හා අම්බලන් පිහිටා තිබු බව ඉතිහාසයේ සඳහන්ව පවතී. එම පැරැණි අම්බලම අදත් දක්නට ලැබේ. රජමාවතේ දළදා වහන්සේ වැඩම කරවූ රාජකීය පිරිස එවකට දන්තුරේ විහාරස්ථානය පිහිටි භූමියේ සුවඳවත් සල්මල මත ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳුවා පුද පූජා පැවැත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

එතෙක් දන්තොට වතුර නමින් හැඳින් වූ මෙම ග්‍රාමය ශ්‍රී දළදා වහන්සේ වෘක්ෂයක වැඩ හිඳ වූ නිසා දන්තුරේ වූ බව ජනප්‍රවාදයේ සඳහන් ව ඇත.


විහාරාධිපති මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික ගෞරව ශාස්ත්‍රවේදී
බුළුමුල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත බුද්ධ රක්ඛිත නා හිමි

දළදාවහන්සේ මෙම විහාරස්ථානයේ වැඩහිඳුවීමෙන් පසු ව මෙම ප්‍රදේශය කුඩා රාජධානියක් බවට පත්ව ඇත.

තානායම්වත්ත, ලේකම්වත්ත, මාළිගා ගොඩැල්ල, මාලිගා තැන්න යන නම් ගම් නිසා මාලිගාවක් තිබුණු බවට නිගමනය කළ හැකි ය. ප්‍රසිද්ධ දන්තුරේ සටන සිදුවූ තැන මෙම විහාරස්ථානය ඉදිරිපිට දක්නට ලැබේ. එම ස්ථානයේ ගල්කණුවකින් එය සටහන්ව ඇත.

මෙම විහාරස්ථානය විහාර දෙකකින් යුක්ත වේ. විශාල පැරැණි ගල්කණු හතකින් යුක්ත වූ ටැම්පිට විහාරගෙය ඇතුළත බිත්තිවල සුවිසි විවරණය සිත්තම් කොට තිබේ. ඉහළ සීලිමේ ඇති මහනුවර යුගයට අයත් හංසපූට්ටුව, ලියවැල්, නාරිලතා රූප වැනි චිත්‍ර විනාශවෙමින් පවතී. විහාරයේ දෙපස අපායේ සිතුවම් තිබුණ ද අද ඒවා විනාශ වී ගොසිනි.

ටැම්පිට විහාරය රඳා පවත්නේ විශාල දැව කඳන්මත ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කොට ඇති ඉහළ මාලයේ සිතුවම් ඉතා සියුම් ලෙස නිර්මාණය කොට ඇත.

පහත මාලයේ විහාරයට ඇතුළුවන උළුවස්ස ගලින් නිම වන ලද්දකි. විහාරගෙය ඇතුළත ඇති සැතපෙන බුදුපිළිම වහන්සේ දොළොස් රියනක් පමණ වෙයි.

විහාරගෙය තුළ විෂ්ණු දේවරූපය හා දැඩිමුණ්ඩ දේවරූපයක් දක්නට ලැබෙයි. මතු පරපුරට ආරක්ෂා කොට දිය යුතු සිතුවම් ඇතුළත් දන්තුරේ රජමහා විහාරය මහනුවරට පැමිණෙන කවරකු වුව ද නැරඹිය යුතු රමණීය සිද්ධස්ථානයකි.

දන්තුරේ රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති බුළුමුල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත බුද්ධ රක්ඛිත නාහිමියන් මෙම විහාරස්ථානයේ දියුණුවට විශාල මෙහෙයක් ඉටුකොට ඇත. උන්වහන්සේ මෙම විහාරස්ථානයට නවාංග එකතුකොට විහාරය පසන් භාවයෙන් හා පූජනීය ගුණයෙන් සුපෝෂිත කොට ඇත.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]