UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

වප් පුර පසළොස්වක 2018.10.24

ආකල්පමය වෙනසකට...

සමාජයක් යහපත් වන්නේ එහි ජීවත්වන්නන්ගේ ආකල්ප යහපත් වූයේ නම් ය. යම් තැනෙක අයහපත රජයනවා නම්, එහි වෙසෙන්නෝ අවිචාරවත් ආකල්ප ඇත්තවුන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. වත්මන්හි අපේ සමාජයට ද ආකල්ප වෙනසක් අවශ්‍ය බව පෙනෙන්නේ එවන් අවිචාරවත් සිතිවිලි ඇත්තෝ නිසා වන අවිචාරවත් ක්‍රියා තැනින් තැන හිස ඔසවන නිසා ය. එක්කෙනෙක් දෙන්නෙක් වුව ඊට පෙළඹෙන්නේ, අයහපත මුළු මහත් සමාජයට ම වන බැවිනි.

ආකල්ප වෙනස් කළ හැකි හොඳම වයස ළමා වයස ය. අප කැමැති හැඩ තල යොදමින් අලංකාරවත් බඳුනක් නිමැවිය හැකි මැටි ගුලියක් වියැළෙන්නට පෙර ය. වියළුණ පසු එවැන්නකට කොපමණ උත්සාහ කළ ද එය ව්‍යර්ථ වන්නේ ය. ළමයා ද එලෙස ය. කුඩා කල සිට සිතූ පැතූ දේ, හුරුපුරුදු කළ දේ නිවැරැදි ව නො සැකසුවේ නම්, වැඩිහිටියන් වූ පසු හදන්නට යාම අශ්වයා ගියාට පසු ස්ථාලය වැසීමක් හා සමාන වන්නේ ය.

අදටත් අපේ ළමා පරපුර තුළ, තරුණ පිරිස් තුළ යහපත් ආකල්ප වෙති. එක් උදාහරණයක් පමණක් අවධානය පිණිස සටහන් කරමු. ගම්පහ බණ්ඩාරනායක විදුහල් සියවස් සමරු උළෙල පසුගිය දා පැවැත්වුණි. රටේ ජනාධිපතිතුමාගේ පවා අවධානයට යොමු වුණු විශිෂ්ට නවෝත්පාදන රැසක් ඒ සිසු දරුවන්ගේ දෑතින් නිමැවී තිබුණි. මේ නිමැවුම් පිටුපස දරුවන්ගේ ආකල්ප තනන්නට ගුරු මවුපියවරුන්ගේ දායකත්වය ද තිබෙන්නට ඇත. උසස් පෙළ තාක්ෂණික අංශයේ එක් දරුවෙක් නිර්මාණය කර තිබුණේ ඔහු පවසන ලෙස කිලෝමීටර් 20 ක් දුර අභ්‍යවකාශ තරණය කරමින් දත්ත ලබා ගත හැකි රොකට්ටුවකි. ඔහුගේ අනාගත බලාපොරොත්තුව ද ලංකාවේ කක්ෂගත කළ හැකි මට්ටමේ රොකට්ටුවක් නිර්මාණය කිරීම ය. අපේ ළමා පරපුර රොකට්ටු තනන්නට තරම් දිරිය ඇති ආකල්පවලින් පොහොසත් වීම රටට ආඩම්බරයකි. අපි ඒ දරුවන්ට සුබ පතමු. රටක් දියුණු වන්නේ එවැනි ආකල්පයන්ගෙන් ළමා පරපුර පෝෂණය වූ තරමට ය. අප උත්සාහ කළ යුතු එක්කෙනෙක් දෙන්නෙක් නොව සමස්ත ළමා පරපුර ම හොඳ ආකල්පයන්ගෙන් සුපෝෂිත කරන්නට ය. විවිධ මං ඔස්සේ ඒ මඟ යා යුතු ය. එහෙත් තබන සෑම පියවරක් ම සමාජ හිතකාමී, පරිසර හිතකාමී ආකල්ප තිබිය යුතු ය. ශ්‍රී සද්ධර්මයේ ඉගැන්වෙන ලෙස තමන්ට හිත පිණිස ද, අනුන් හිත පිණිස ද විය යුතු ය.

අනාදිමත් කලෙක සිට අපූර්ව සංස්කෘතියක් අපේ සමාජයේ ස්ථාපිත වූයේ බුදුදහමින් පෝෂිත වූ ආකල්ප නිසා ය. සාගරය පරයන මහා වැව්, අක්කර සිය දහස් ගණනින් අස්වැද්දෙන කුඹුරු වතුපිටි, අහස උසට විහිදෙන වෙහෙර විහාර ඒ ආකල්පයන්ගේ ඵලයන් ය.

ඇතැම් දරුවෙක් රොකට් තනන්නට තරම් පොහොසත් වන විට තවත් තැනෙක පාසල් වයසේ ම දරුවෙක් නොමග යනවා නම්, ඒ ආකල්පයන් ගේ සෝදා පාළුවකි. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට සේ ම අන්තර් ජාලයේ මුහුණු පොතට ඇබ්බැහි වී තමනුත් විනාශව තමන්ගේ මව්පියන් ද විනාශයට පත් කළ දරුවන් ගැන මෑතක දී ද අසන්නට ලැබුණි.

ඒ යහපත් ආකල්පයන්ට ඒ දරුවන් හුරු පුරුදු නොවු නිසා ය. ළමා වයසේ දී හරි වැරැදි නොතේරේ. මඟ පෙන්විය යුතු වැඩිහිටියන් විසිනි. දිරිය දරුවෙක් පිටුපස දිරිය මවක් වේ. දිරිය පියෙක් වේ. දිරිය ගුරුමව්පියවරු ද වේ. දරුවෙක් වැරැදි ආකල්ප මත ජීවිතය හසුරුවනවා නම්, වග කිව යුත්තෝ ද වැඩිහිටියෝම ය.

වැරැදි දකින විට සංස්කෘතිය සොදාපාළු වී ඇතැයි බොහෝ විට කියැවේ. එහෙත් ඒ විවේචනය අපට තරම් නොවේ. කළ යුතු ඊට හේතු සාධක වූ මුල් සොයා ඒවා මුලින් උදුරා දැමීම ය. අලුත් පැළයක් වැඩෙන්නට ඉඩ සලසා දීම ය. පසුගිය දා බණ්ඩාරනායක විදුහල් බිමේ පෙති, දෙපෙතිලා වැඩුණේ එවන් පැල සමූහයකි. ඒ පැල මතු දිනෙක මහා වනස්පතීන් ව වැඩෙනු ඇත. යහපත් ජීවිතයකට, අනාගතයක් ඇති ජීවිතයකට අනගි සදූපදේශ ශ්‍රී සද්ධර්මයෙහි අන්තර්ගත ය. අපේ දරුවන් හික්මවීමට, නව මාවතකට යොමු කරලීමට කළයුතු කුඩා කල සිටම ඒ දහම් මඟට අවතීර්ණ කිරීම ය. වැඩිහිටියන් ඒ සඳහා වන ආකල්ප හුරු පුරුදු කළ යුතු ය. එවිට දරුවන් නිතැනින් ම ඒ මඟ යනු ඇත.

 

වප් පුර පසළොස්වක පෝය


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 23 වන දා අඟහරුවාදා අපර භාග 10.34 ට ලබයි. 24 වන දා බදාදා අපර භාග 10.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 24 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 31 වන දා බදාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]