UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී සද්ධර්මය ලොවට විසුරුවා හරින්නට ...

ශ්‍රී සද්ධර්මය ලොවට විසුරුවා හරින්නට ...

වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධ ගයා වජ්‍රාසනය මත බුද්ධ රත්නය ලෝකයේ පහළ වුණා. නමුත් ධර්ම රත්නය, සංඝ රත්නය පහළ වෙලා තුනුරුවන් සම්පූර්ණ වෙන්නේ ඇසළ පුන් පොහෝ දවසක. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කළේ ධම්මචක්කප්පවත්වන සූත්‍රය යි. මේ සූත්‍රය ධර්මයේ හඳුන්වන්නේ ‘අවිදහිත දේශනාවක්’ ලෙස යි. එනම්, සෑම බුදු කෙනෙක්ම අත් නොහැර සිදු කරන දේශනාවක්. එසේම, ඒ භූමිය අවිදහිත පුණ්‍ය භූමියක්.

සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ අද ඉසිපතන මිගදාය යනුවෙන් හඳුන්වන ඒ භූමිය මත වැඩ සිටිමින්ම යි. එවිට බුදුරජාණන් වහන්සේලා අනුව එදාට ඒ භූමියට කියන නම වෙනස් වෙනවා. එදාට ධර්මය ශ්‍රවණය කරන පිරිස වෙනස් වෙනවා. බුදුවරුන්ගේ නම් වෙනස් වෙනවා. හැබැයි, මේ විශ්වයේ ඒ භූමිය, ස්ථානය වෙනස් වන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ හඳුන්වනවා අවිදහිත යනුවෙන් සෑම බුදුකෙනෙක්ම පරිහරණය කරන ස්ථානයක් වශයෙන්. එසේම අවිදහිත දේශනාවක් යනු සෑම බුදුකෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව සිදු කරන්නේ දම්සක් පැවතුම් සූත්‍රය මුල් කරගෙනම නිස යි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව, සත්සතිය ගත කර, සතියක් පුරාම පා ගමනින් ඉසිපතන මිගදායට වැඩම කළා. ඒ වෙද්දී පස්වග තවුසන්, බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී උපකාර කළත්, දුෂ්කර ක්‍රියාව අත හැරියාට පසුව බෝසතාණන් වහන්සේ අතහැර ගිය මේ පස්දෙනා ඉසිපතන මිගදායේ තවුස් දම් පුරමින් සිටියා. බුදුරජාණන් වහන්සේ ඈතින් දුටු මේ අය ඈතින් වඩින්නේ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ සිද්ධාර්ථයන් වහන්සේ නේද? එකල බොහෝ දෙනෙක් තුළ විශ්වාසයක් තිබුණේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගෙන නොවෙයි, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ උත්තමයෙක් ලෙසයි. පසුවයි, ධර්මය තේරුම් ගත්තේ. එදා ශාක්‍ය කුලයට විශාල ගෞරවයක් සමාජය තුළ තිබුණා.

පස්වග තවුසන් පැවසුවේ, දුෂ්කර ක්‍රියාව අත නොහරින්න කියද්දී එය වැරැදී අප සොයා බෝසතාණන් වහන්සේ එන බව යි. එතැන දී පිරිස කතා වුණේ, ශාක්‍ය කුලයේ උත්තමයෙක් බැවින් අපි ආසනයක් පමණක් පනවමු. ඒ හැර කවුරුත් විශේෂයෙන් ගෞරව සත්කාර කරන්න අවශ්‍ය නැහැ. නමුත් බුදුන් වහන්සේ තමන් ළඟට වඩිද්දී ෙමි කිසිම කෙනෙකුට කතිකා කරගත් දේ කරන්නට බැරි වුණා. එක් අයෙක් පා සිවුරු පිළි ගත්තා. තවත් අයෙක් පැන් බඳුනක් ගෙන ආවා. තවත් අයෙක් පා පිසදාන්න සූදානම් වුණා. තවත් අයෙක් බුදුන් වහන්සේට ආසනයක් පැනෙව්වා. බොහොම ගෞරවයෙන් මේ පස් දෙනාම බුදුන් වහන්සේට ඇප උපස්ථාන ඉබේම වගේ සිද්ධ කළා. නමුත් බුදුන් වහන්සේට කතා කරන්නේ, ‘ආයුෂ්මතුනි, යනුවෙන්. එනම් තමන්ට වඩා ධර්මයෙන් බාල කෙනෙකුට කතා කරන වදනක්. තමන්ට වඩා වැඩිමහල් කෙනාට කථා කරන්නේ භන්තෙ, ස්වාමීනි, යනුවෙනි.

ආයුෂ්මතුනි, ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියාව නවතා අප සොයා පැමිණියාදැ’යි විමසුවා. බුදුන් වහන්සේ මේ අයට පැවසුවේ, තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව වැඩම කළේ. නමුත්, තවුසන් එය පිළිගත්තේ නැහැ. දෙවන වතාවෙත් ‘ආයුෂ්මතුනි, ඔබ වහන්සේ බුද්ධත්වයට පත්වුණා. මෙතරම් වටිනා දුෂ්කර ක්‍රියාවක් අතහැර බුදුවුණා? දෙවන වතාවෙත් බුදුන් වහන්සේ මේ කාරණාව පැහැදුවත් දෙවන වතාවෙත් පිළිගත්තේ නැහැ. නමුත් බුදුන් වහන්සේ තුන්වන වතාවේ අසනවා මීට පෙර මා කවදාවත් සම්බුද්ධත්වයට පත්වුණ බව ප්‍රකාශ කර තිබෙනවා ද? එහි දී ඇත්ත නේදැ’යි, කොණ්ඩඤ්ඤ තාපසයාට පමණක් බුදුරදුන් ගැන විශ්වාසයක් උපන්නා. බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී දින ගණන් සිහිසුන්ව ඇද වැටුණා. නමුත් කවදාවත් බුදු වුණා යැ’යි ප්‍රකාශයක් කළේ නැහැ. එසේනම්, ඒකාන්තයෙන් බුදුවෙන්න ඇති යනුවෙන් මනුලොව පස්දෙනාගෙන් එක් අයෙක් හෝ උන්වහන්සේ ගැන විශ්වාස කළා. හැබැයි පින්වතුනි, දෙවියන්ට සැක නැහැ. ඒ අයගේ සැක දුරු වුණේ, බෝධි මූලයේ දී ම යි. බුදු වූ පළමු සතියේ උන්වහන්සේ අහසට පැන නැඟ දෙව් බඹුන්ගේ සැක දුරු කරන්න යමාමහ පෙළහර පෑවා. ඒ දසුනින් සෑම දෙවි කෙනෙක්ම සැක දුරු කර ගත්තා.

එදා බුදුන් වහන්සේ මේ පස්දෙනා එකතු කරගෙන පෙර බුදුවරු ධම්මචක්කපවත්වන සූත්‍රය දේශනා කර වදාළ, අවිදහිත භූමිය වූ ඉසිපතන මිගදායට වැඩම කර දේශනාව සිදු කළා. භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා. බුදුන් වහන්සේ ධම්මචක්කය දේශනා කරන්න සූදානම් වෙනවා. අපිත් බණ අසන්න යමු යැ’යි සූදානම් වුණා. දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ පිරී ඉතිරී යනවා. හැබැයි, මනු ලොවින් පස් දෙනයි. බොහෝ දෙවිවරු බුදුන් වහන්සේ කාටත් පෙනෙන්න අවශ්‍ය නිසා ඉඳිකටු තුඩක් සේ සියුම් දිව්‍ය ශරීර මවාගත්තා.

එසේනම් පෙනෙනවා, අහසේ කොපමණ දෙවිවරු පිරිසක් දේශනාව අසන්න, අහසේ පිරී ඉතිරී ගියා ද? බුදුන් වහන්සේ ධම්මචක්කපවත්තන දේශනාව සිදු කරද්දී උන්වහන්සේ කවදාවත් නොඇසූ විරූ ධර්මයක් බෝධි මූලයේ දී අවබෝධ වූ ආකාරය , මජ්ක්‍ධිම පටිපදාව තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තා. ‘තථාගතේන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඤාණ කරණී උපසමාය, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති’ මාර්ගයෙන් දහම් ඇස පහළ කර දුන්නා. නිවන පහළ කර දෙනවා, ඤාණය , ප්‍රඥාව පහළ කර දෙනවා, කෙලෙස් සංසිඳවනවා, දහම් ඇස පහළ කරවනවා. මෙසේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කවදාවත් නොඇසූ විරූ ධර්මයක් බෝධි මූලයේ දී අවබෝධ වුණා, යනුවෙන් චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන අවබෝධ කරගන්නා ආකාරය ධම්මචක්කපවත්තන දේශනාවෙන් වදාළා.

දේශනාව අවසානයේ දහ අට කෝටියක් දෙවිවරු මාර්ග ඵල ලැබුවා. හැබැයි, මනුලොව බුදුන් වහන්සේ ගැන විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් සිටිය කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණක් සෝවාන් බවට පත්වුණා. මේ සිදුවීම බුදුන් වහන්සේ බුදු ඇසින් දුටුවා. ‘අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො’ කොණ්ඩඤ්ඤයන් වහන්සේට ධර්මය අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තය දිගු කර මෙහෙ එන්න ‘මහණෙනි, මේ ධර්මය ස්වාක්ඛාත යි. මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න යනුවෙන් ශ්‍රී හස්තය දිගු කරද්දීම ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. එයයි , මේ බුද්ධ ශාසනයේ ප්‍රථම බුද්ධ , ධම්ම, සංඝ කොටසට අයිති වූ ස්වාමීන් වහන්සේ. මෙලෙස ධම්මචක්ක දේශනයත් සමඟම ධර්ම රත්නය පහළ වුණා. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත්ව ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමඟම සංඝ රත්නය පහළ වුණා. මෙලෙස ඇසළ පුන් පොහෝ දවසේ තුනුරුවන් පහළ වුණා.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් ධර්මය දේශනා කිරීමෙන් පසුව පිරිනිවන් පාන මොහොතේ පිරිනිවන් මංචකයේම, මහා පරිනිබ්බාණ අට්ඨ කථාව ගැන සඳහන් සේ සක්‍ර දෙවියන්ට කථා කළා. සක්‍ර දේවේන්ද්‍රය, තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ලංකා භූමිය මුල්කරගෙන මගේ ශාසනය බොහෝ කාලයක් ආරක්ෂා වෙනවා යනුවෙන් වදාළා. බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු හාරසියයක් යද්දී එදා දඹදිව වැඩ සිටිය භික්ෂූන් වහන්සේලාට බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න බැරි වුණා. මෝගල් ආක්‍රමණ ආදිය නිසා එදා දඹදිවින් බුද්ධ ශාසනය අතුරුදන් වුණා.

නමුත්, ලක්දිව මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමත් සමඟම ත්‍රිපිටක ධර්මය ඉගෙන ගත්ත, කටපාඩම් කළ ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගේ බුද්ධ වචනය ආරක්ෂා කර ගත්තා. කෙතරම් උපද්‍රව, කරදර , හානි වගේම ස්වභාවික විපත් ආදිය ඇතිවුණා. බැමිණිතියාසාය වැනි විශාල විපත් වලින් කෙතරම් කරදර බාධා ඇතිවුණත් දිවි හිමියෙන් ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේ, බුදුන් වහන්සේගේ ධර්මය එදා සිටම මේ දක්වා ආරක්ෂා කර ගත්තා.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදාස් පන්සිය හැට තුනක් ගතවන මේ කාලය වෙද්දී රටේ ලෝකයේ ප්‍රභලව බුද්ධ වචනය මතුවෙලා , ධර්මය මතුවන කාලයක් ඇති වුණා.

එයට හේතුව අපේ රට අවුරුදු හාරසිය පනහකට පමණ පෙර පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි විදේශිකයන්ගේ ආක්‍රමණත් සමඟ බැටකාපු ජාතියක් ඇතැම් කාලවල අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම් මත කාලිංග මාඝ , චන්ද්‍ර මාඝ වැනි අය දහස් ගණන් පිරිස පිරිවරාගෙන වෙහෙර විහාර විනාශ කරමින් , පන්සල් ගිනි තබමින්, ධර්මය ආරක්ෂා කරගත් පොත් පත් පවා ගිනිතබා විනාශ කළ බව සඳහන් වෙනවා. එදා පෝය දවසකට රාත්‍රී කාලයේ පමණක් රජයේ ගුවන් විදුලියකින් බණ ටිකක් ඇසුණා. හැබැයි, අද උදේ සිට රාත්‍රිය දක්වා ධර්මය අසන්න ලැබෙන රටක්. ඒ නිසා මිනිස්සු පින්කම් කරන්න පෙළඹුණා. ඒ නිසා අද ධර්මය මිනිසුන් අතරට බහුලව පැමිණි කාලයක්.

බෞද්ධ නාලිකා ඔස්සේ බොහෝ පිරිසක් ලංකාව තුළ, ලෝකය තුළ බණ අසනවා.ඒ අතර ඇසළ පුන් පොහෝ දවසේ අතුරුගිරිය සදහම් සෙනෙසුනේ අනුශාසක ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ අනුශාසකත්වය ඇතිව ලෝකයේ රටවල් එකසිය හැට හතකට ධර්මය විසුරුවා හරින්න පුළුවන් ආකාරයකට ‘කලම්බු ටෙලිවිෂන්’ නමැති රූපවාහිනී නාලිකාව ඔස්සේ ‘මෙත් සදහම් විකාශය’ නම් ආගමික විකාශය ජූලි මස 27වන ඇසළ පුන් පොහෝ දින ආරම්භ කෙරෙනවා.

ඇසළ පුන් පොහෝ දවස යනු ලෝකයට ධර්මය ව්‍යාප්ත කළ, දහම් ගඟ ලෝකයට විසුරුවා හැරිය අසිරිමත් දවසයි. ඒ නිසා සෑම දවසකම ලංකාවේ සිටින ඔබ සෑම දෙනාටම ‘පියෝ ටී. වී.අංක 111 , ඩයලොග් ටී. වී අංක 107’ ඔස්සේ විකාශය වෙනවා. සවස 2.00සිට රාත්‍රී 9.00දක්වා බහුතරයක් නිවසේ වාසය කරන, රූපවාහිනිය නරඹන වේලාවේ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පවත්වනවා. සතියේ දිනවල පැය හතක් පුරාම ධර්ම දේශනාවන් සිදු කෙරෙන ‘මෙත් සදහම්’ විකාශය ඇසළ පුන් පොහෝ දවසේ ආරම්භ කෙරෙනවා. එසේම පොහොය දවසේ දී උදේ සිටම රාත්‍රී දහය දක්වාම දවස පුරාම ආගමික වැඩසටහන් සිදු වෙනවා.

මෙත් සදහම් විකාශය ලංකාව තුළ ධර්ම දේශනා කිරීමේ දක්ෂතාව ඇති බොහෝ ස්වාමීන් වහන්සේලා, විහාරස්ථානවල, ආරණ්‍යවල, ආරාමවල වැඩ සිටිනවා. උන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න අවස්ථාව සලසා දී ඒ දක්ෂ ව්‍යක්ත විශාරද ගමේ පන්සලේ වැඩ සිටින දක්ෂ ස්වාමීන් වහන්සේලාට ලෝකයට ධර්ම ප්‍රචාරය කිරීම පිණිස අවස්ථාව සලසා දීම මූලිකම අරමුණ යි. ඒ නිසා ලක්වාසී සැදැහැවතුන්ට මෙන්ම ලෝකයේ රටවල් එකසිය හතකට සැටලයිට් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හරින, කලම්බු ටෙලිවිෂන් රූපවාහිනී නාලිකාව වන ‘මෙත් සදහම්’ විකාශය ඇසළ පුන් පොහෝ දින ආරම්භ කිරීමත් සමඟම ලක්වාසී ලෝවාසී සැමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පණිවිඩය, ඇසළ පුන් පොහෝ දින විවර වූ දහම් ගඟ , අසූහාරදහසක ධර්මස්ඛන්ධය, ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා දිවි හිමියෙන් රැකගත් උතුම් ධර්මයේ පණිවුඩය ලෝකයට විසුරුවා හරින නාලිකාව ලෙසින් ‘මෙත් සදහම්’ නාලිකාව සදහම් විකාශයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඔබ සැමට අවස්ථාව ලැබෙනවා.

ඔබ සෑම දෙනාටම දහම් ගඟ විවර වුණු ඇසළ පුන් පොහෝ දවසේ මේ ගලන දහම් ගඟෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගෙන ලැබුණු මනුසත් බව අවසන් වීමට පෙර උතුම් ධර්මය ම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා!

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 26 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 11.18 ට ලබයි. 28 වනදා සෙනසුරාදා පූර්ව භාග 01.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 27 වනදා සිකුරාදාය.

 

මීළග පෝය ඇසළ අව අටවක අගෝස්තු මස 04 වනදා සෙනසුරාදා 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11

First Quarterපුර අටවක

අගෝස්තු 18


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]