UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමාන වත්ථු සහ පේත වත්ථු ඉගැන්වීම්

විමාන වත්ථු සහ පේත වත්ථු ඉගැන්වීම්

" තිරෝකුඩ්ඩ පේත වත්ථුවෙහි මියගිය තැනැත්තා යන අර්ථයෙන් යෙදීි ඇත. ප්‍රේත ආත්මයක් ලබා උපදින්නේ ද මිනිස් ලොවෙහි කරන ලද බලවත් අකුසල කර්ම හේතු කොටගෙනය. ඇතැම් විට ඉතාම බලවත් අකුසල කර්ම හේතු කොට ගෙන ඇතැම් පුද්ගලයන් නිරයෙහි බොහෝ කාලයක් පැසී එයින් චුතව ප්‍රේත ආත්මවල උප්පත්තිය ලබයි."

විමාන වත්ථුව හා පේත වත්ථුව යන කෘති ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ දෙකක් ලෙස සඳහන් කළ හැකි ය. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව දේශනා කළ දේශනාවන් කිහිපයක් ම පේත වත්ථුව සහ විමාන වත්ථුව යන කෘති දෙකට සම්බන්ධ වේ. මිනිසා කරන කියන අයහපත් ක්‍රියා සහ එහි විපාක පිළිබඳව එක කෘතියක සඳහන් වන අතර, මිනිසා කරන පුණ්‍ය ක්‍රියා සහ එහි විපාක අනෙක් කෘතියෙහි සඳහන් වේ.

බුදුදහමෙහි විග්‍රහ වන පව පින සංකල්පය මිනිසුන්ගේ සිත් සතන් තුළ රැඳීමට එම කෘති දෙක හේතු විය. සිංහල සංස්කෘතියට ද, විශාල ආලෝකයක් ලැබිණි.

පේත වත්ථුව කෘතියෙහි සඳහන් වන කතන්දර බණ කථා ලෙස දක්වා ඇත. යහපත කළ යුතුය, අයහපත නොකළ යුතුය. යන අදහස මතු කර ඇත. අයහපත් ක්‍රියා තුළින් අයහපත් විපාක ලබන බවත්, අයහපත් ක්‍රියා හේතු කොට පුද්ගලයා දුක්ඛදායක තත්ත්වයට පත්වනවා යන අදහස එම කතා තුළ අන්තර්ගත වේ. විවිධ ප්‍රේත ආත්මයන්හි උප්පත්තිය ලබා කුසගින්දරෙන් දුක් විඳින මනුෂ්‍යයන් පිළිබඳව සඳහන් වේ. ඒ පුද්ගලයන් සමාජයට කළ අයහපතෙහි විපාක විඳී . අයහපත කළා ය යනු අයහපත සමාජයට දුන්නා ය යන්න ය. දුන් දේ ලැබෙනවා යන්න බුදුදහමේ මූලික ඉගැන්වීම ය. පේත වත්ථුවෙහි ද, එවැනි සිදුවීම් දක්වා ඇත.

ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයට අයත් පස්වන කොටස ඛුද්දක නිකායට අයත් වේ. ඛුද්දක නිකායට අයත් පේත වත්ථු පාළිය කෘතියෙහි කතා වස්තු 51 ක් දක්නට ලැබේ. අයහපත කර අයහපත් විපාක ලබන පිරිස සඳහා සිදුකරනු ලැබූ විස්තරය හෙවත් අටුවාව පරමත්තදීපනී නාම පේත වත්ථු අට්ඨ කථා යනුවෙන් හැඳින් වේ. එහි බණ වර 15 ක් දක්නට ලැබේ. අටුවා කතුවරයාණන් වහන්සේ පුරාණ අටුවා ක්‍රමය ඇසුරු කරමින් මහා විහාර වාසීන්ගේ පිළිගැනීමට එකඟවන ලෙස සකස් කර ඇත. පේත වත්ථු අටුවාව ආරම්භයෙහිදී ම එම ස්වභාවය දක්නට ලැබේ. කිසියම් හේතුවක් නිමිති කරගෙන කරනු ලබන බුද්ධ දේශනාව පච්චුප්පත්ත දේශනා ලෙස සදහන් වේ. පේත වත්ථුවේ බොහෝ දේශනා එබඳු දේශනා ලෙස දක්නට ලැබේ. පිටඨඨී තලික පේත වත්ථුව නිදසුනක් ලෙස දැක්විය හැකි ය. අනේපිඬු සිටාණන්ගේ මිණිබිරියක සතු බෝණික්කකු බිම වැටී කැඩී යාම නිමිති කරගෙන පිටඨඨි තලික පේත වත්ථුව දේශනා කළ සේක.

බුද්ධප්‍රමුඛ මහා සංඝයා විෂයෙහි පිරිනමන ලද මහා දානය අර්ථෝත්පත්ති දේශනාවක් ලෙස දැක්විය හැකි ය. ගොණ පේත වත්ථුව හා සෙට්ඨිපුත්ත පේත වත්ථුව ද එවැනි දේශනාවකි. ප්‍රේතයකු ගේ හෝ පේ‍්‍රතියක ගේ ආත්මභාව පිළිබඳව ප්‍රශ්න කොට ඔවුන් දුන් පිළිතුරු සමඟ අත්දුුටු සිදුවීම් භාග්‍යවතුන් වහන්සේට සැලකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පේත වත්ථුව සකස්ව ඇත. එබඳු කතාවස්තු පුච්චා විස්සජ්ජන ලෙස හැඳින්විය හැකි ය. ගැටලු නිරාකරණය කිරීම ය. අන්‍යයන්ගේ ගැටලු මුලික කරගනිමින් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කළ සේක. පේත වත්ථු ද බුද්ධ භාෂිත වශයෙන් සැලකිය හැකි ය. සූකර මුඛ පේත වත්ථුව, ඛලලාටිය පේත වත්ථුව, ධනපාල පේත වත්ථුව, ආදී කතා මෙයට සාධක ලෙස දැක්වි හැකි ය. පේත වත්ථුවේ සඳහන් සියලුම ප්‍රේ්ත කතා බුද්ධ භාෂිත ලෙසම සැලකීම අපහසු ය. ධාතු විවණ්ණක පේත වත්ථුව භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අජාසත් රජු විසින් පවත්වන ලද ධාතු පූජාවට තම බිරිය, දියණිය හා ලේලිය සහභාගිවීම නොරිස්සූ කෙළඹියකු පේත ආත්මභාවයක ඉපදීම මුල්කරගෙන මහාකාශ්‍යප තෙරුන් විසින් දේශනා කරන ලද්දකි. නන්දක පේ‍්‍රත වත්ථුව ධර්මාශෝක රජු දවස පිංගලක නම් රජුට හමු වූ පේ‍්‍රතයකු පිළිබඳ සිද්ධිය ඇසූ භික්ෂූන් එය සංගීති කාරක තෙරුන්ට සැලකිරීමෙන් පහළ වු එකකි.

බොහෝ ප්‍රේත වස්තූන්හි ප්‍රේත ශබ්දය යෙදී ඇත්තේ ප්‍රේත යෝනියෙහි උපන්නන් සඳහා ය. ප්‍රේත යෝනියෙහි උපන්නන් සඳහා ප්‍රේත යන වචනය අපේ සංස්කෘතියෙහි බහුලව යෙදේ . තිරෝකුඩ්ඩ පේත වත්ථුවෙහි මියගිය තැනැත්තා යන අර්ථයෙන් යෙදීි ඇත. ප්‍රේත ආත්මයක් ලබා උපදින්නේ ද මිනිස් ලොවෙහි කරන ලද බලවත් අකුසල කර්ම හේතු කොටගෙනය. ඇතැම් විට ඉතාම බලවත් අකුසල කර්ම හේතු කොට ගෙන ඇතැම් පුද්ගලයන් නිරයෙහි බොහෝ කාලයක් පැසී එයින් චුතව ප්‍රේත ආත්මවල උප්පත්තිය ලබයි. පූතිමුඛ පේත වස්තුවෙහි සදහන් වන භික්ෂුව ද, සුකර මුඛ පේත වස්තුවෙහි සදහන් වන භික්ෂුව ද, බුද්ධාන්තරයක් පුරා නිරයෙහි පැසී චුතව අවුත් ප්‍රේත යෝනියෙහි උපදිති. සෙට්ඨිකූට සහස්ස ප්‍රේත වස්තුවෙහි සදහන් පුරුෂයා වසර දහස් ගණන් නිරයෙහි පැසී බුද්ධෝත්පාද කාලයෙහි ප්‍රේතයකු වී උපදී. එහි ඇතැම් අකුසල් කර්ම ෙවිදනා හේතුකොටගෙන මිනිසත් බවින් චුතව ප්‍රේත ආත්මයෙහි උපදිති. මහාපේසකාර පේ‍්‍රත ආත්මයෙහි සදහන් වන පේසකාර දෙටුවාගේ බිරිඳ , සංසාරමෝචක මිසදිටුවාගේ ස්ත්‍රිය ආදී මිනිස් අත්බවින් චුතව ප්‍රේත ලෝකයෙහි උපන්නෝ වෙති.

ප්‍රේත ලෝකයෙහි යැයි කිව්ව ද, තිරිසනුන්ට මෙන්ම ප්‍රේතයන්ට ද වෙන්වූ ලෝකයක් නැත. ඔවුහු අරණ්‍ය පර්වත ආදී වූ කිසියම් ස්ථානයක උපදිති. සුකර මුඛ ප්‍රේත වස්තුවෙහි සඳහන් වන භික්ෂුව බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයෙහි පැසී ගෞතම බුදුන්ගේ සමයෙහි රජගහනුවරට නුදුරු ගිජ්ජකූට පර්වතය ආදියෙහි උපදී පඤ්චපුත්තඛාදක පේත වත්ථුවෙහි සඳහන් ස්ත්‍රිය ඇය විසූ ගමට නුදුරු ස්ථානයක පේ‍්‍රත ආත්මයකක් ලබා උපදී .මහා පේසකාර පේ‍්‍රත වස්තුවෙහි සඳහන් වන පේසකාර දෙටුවාගේ බිරිය ප්‍රේතියක්ව උපදින්නේ ඇය විසූ තැනට නුදුරු ස්ථානයක උපදී. ධනපාල සිටු ප්‍රේතයකුව උපදී. සෙරණි වස්තුවෙහි සඳහන් වන සෙරණී නම්,ගණිකාව කලුරිය කොට එක්තරා පිටිසර නුවරක දිය අගලක් මතුපිට උපදී. ගුථඛාදක ප්‍රේත වස්තුවෙහි සඳහන් වන කෙළඹියාත් භික්ෂූන් වහන්සේත් මිය පරලොව ගොස් එම විහාරයෙහි වැසිකිළි යෙහි ප්‍රේතයෙක්ව උපදිති.

පින්දහම් කළ පිරිස දිව්‍ය ලෝකවල දිව්‍ය විමානවල උප්පත්තිය ලබා විවිධ සැප සම්පත් අනුභව කරන ආකාරය විමාන වත්ථුව කෘතියෙහි දක්නට ලැබේ. යහපත් සිතිවිලි වලින් කරනු ලබන යහපත් ක්‍රියා සහ එම ක්‍රියාවන්හි පසුව ඒ පිළිබඳව ලබන සංතෘෂ්ටිය නිසා කරනු ලබන පිනෙහි විපාක මහත් ඵල මහානිසංස වේ. ඒ අනුව විවිධ දිව්‍ය ආත්මවල උප්පත්තිය ලබා විශාල දේව මන්දිරවල සිතේ සැහැල්ලුවෙන් සතුටෙන් අසීමිත ලෙස සැප විඳින පුද්ගලයන් මෙහි දක්නට ලැබේ. අප සමාජය තුළ පින්දහම් කළ එවැනි විපාක පෙරලා ඔවුනට ලැබෙන බව මිනිසා දැන ගත්තේ විමාන වත්ථු බණ කථා මිහ¼ිදු මහරහතන් වහන්සේ විසින් දේශනා කරනු ලැබීමෙන් පසුවය.

විමාන වත්ථු සහ පේත වත්ථු කෘති සිංහල ජන සාහිත්‍යයෙහි සහ ජන ච්න්තනය තුළ සුවිශේෂී වෙනස්කම් කිහිපයක්ම ඇතිකරනු ලැබ ඇති බව පැහැදිලිව දැක ගත හැකි ය.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]