UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආශ්‍රව ධර්මයන් ප්‍රහීණ කිරීම

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 34

ආශ්‍රව ධර්මයන් ප්‍රහීණ කිරීම

ආශ්‍රව ධර්මයන් සම්පූර්ණයෙන්ම නැතිවෙනවා රහත්වෙන කොට. ඒ කියන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය, කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙනකොටයි. ආශ්‍රවයන් සම්පූර්ණයෙන් ම ප්‍රහීන වෙලා යන්නේ. මේ තමයි ආසවඛ්‍ය ඥානය කියලා කියන්නේ .

මෙතනදී මේ කියන ත්‍රිවිද්‍යා ,අෂ්ඨ විද්‍යා කියන උතුම් විද්‍යාවන්ගෙන් බුදුපියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ වුණේ. චරණ ධර්ම කියා කියන්නේ ගුණධර්ම. නුවණ හා බැඳිච්ච ගුණ,මෙහිදී මේ චරණ කියනකොට පැහැදිලි කරනවා.

ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීල ඊළඟට භෝජනේ මත්තඤ්ඤුතාවය ජාගරියානු යෝගය ඊළඟට ශ්‍රද්ධාව , හිරිය, ඔත්තප්පය, බහුශ්‍රැතබව, වීර්යය, සිහිය, නුවණ ඊළඟට ධ්‍යාන 04 තමයි අපි කියන්නේ චරණ ධර්ම කියලා. අතිශයින් පමෝක්ෂ වු, අතිශයින් උත්තම වූ, අතිශයින් ශ්‍රේෂ්ඨ වූ සික්ෂා පද සමුදායට අපි කියන්නේ ප්‍රාතිමෝක්ෂ සමුදාව කියලා. එහෙමත් නැත්නම් සතර අපා දුකෙන් අත මුදවන්ට ඒ වාගේම දුගති බයෙන් අත මුදවන්ට තියෙන උපාය මාර්ගය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය.

නවදාස් එකසිය අසු කෝටි පනස් ලක්ෂ තිස් හයක් ශික්ෂා පද තියෙනවා. ඔය කියන ශික්ෂා පද එකක් එකක් ගානේ ගත්තොත් පොදුවේ උපසම්පදා භික්ෂුවකට ශික්ෂා පද 227 යි. නමුත් මේක බෙද බෙදා බෙද බෙදා යනකොට කෝටි ප්‍රකෝටි ගණන් ශික්ෂා පද බෙදෙනවා. භික්ෂුණීන්ට, උපසම්පාද භික්ෂුණීන්ට ශික්ෂා පද 311 යි.මෙයත් බෙදි බෙදී යනවා. එතකොට මේ කියන ශික්ෂාපදයන් ආරක්ෂා කිරීම තමයි ප්‍රාතිමෝක්ෂ සීලය.

‘ප්‍රතිමොක්ඛ සංවර සංවුතෝ විහරති
ආචාර ගෝචර සම්පන්නෝ
අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවී සමාදාය
සික්ඛති සික්ඛාපදේසු’

ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වූයේ, ආචාර ගෝචර සම්පන්න වූයේ, කුඩා නමුත් වරදේ භය දකිමින් අප්‍රමාදීව මේ සීලයෙන් යුක්ත වූයේ නම් ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. එතකොට ප්‍රාතිමෝක්ෂ සීලය දරාගෙන ඉන්න කෙනෙකුගේ සීලය වැඩෙන ප්‍රඥාව බලවත් ඒ බව ආකංඛ්‍යෙය සූත්‍රයේ දී බුදුපියාණන් වහන්සේ සීලයේ ආනිසංස වශයෙන් ඔය කියන ධ්‍යාන සමාධි සමාපත්ති, විදර්ශනා ඥාණ අභිඥාවන් ගැන කියනවා. මේ හැම දෙයක්ම වැඩෙන්න ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නිසා කියලා. ඉන්ද්‍රිය සංවර සීලය, ඉන්ද්‍රියයන් දමනය කරගන්නවා.

ඒ කියන්නේ ඇහෙන් නිමිත්තක් දැකලා, මේ නිමිති වශයෙන් ග්‍රහණය කරගෙන, ඒ තුළ හිත පිහිටුවාගෙන අසංවර කර ගන්නවා නම් ඒක වැරදියි. එතකොට ඒකේ ආදීනව දැකලා ඇස සංවර කර ගැනීම තමයි ඉන්ද්‍රිය සංවරය. ඊළඟට කනින් ශබ්දයක් අහලා ඒ තුළ කිඳා බැසගෙන ඉන්නවාට වඩා එහි ආදීනව දැකලා ඉන් නිදහස් වීමයි ඉන්ද්‍රිය සංවරය, ඒ වාගේම නාසය, දිව, ශරීරය ඔය කියන පංච ඉන්ද්‍රීය ධර්මයන්ගේ සංවරය.

ඇස සංවර කරගත්ත, කන සංවර කරගත්ත, නාසය සංවර කරගත්ත, දිව සංවර කරගත්ත, වචනය සංවර කරගත්ත, කය සංවර කරගත්ත, සිත සංවර කරගත්තා සියල්ල සංවර කරගත්ත, භික්ෂුව මේ සියලු දුකෙන් අත මිදෙනවා කියලා.

ශාන්ත වු වචන ඇති, ශාන්ත වු කයක් ඇති, ශාන්ත වූ පැවැත්මක් ඇති භික්ෂුව තමයි මේ ශාසනය බබළවන්නෙ. ශාසනය ආලෝකමත් කරන්නෙ. ඒක නිසා මේ ඉන්ද්‍රිය සංවරය අපට වඩා සියදහස් ගුණයකින් බුදුපියාණන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය දකින කෙනෙකුට නෙතට සැනසිල්ලක්, ගතට සැනසිල්ලක්, සිතට සැනසිල්ලක්, සැමට සැනසිල්ලක්, දෙවියන් සනසවමින් සමස්ථ ලෝකයා සනසමින් උන්වහන්සේ වඩින්නේ. උන්වහන්සේගේ ගමනේ දී කුරාකූඹියෙකුට හිංසාවක් නෑ. තවත් කෙනෙකුට හිංසාවක් නෑ. දකින දකින හැමෝටම පුදුමාකාර ආශිර්වාදයක් තමයි තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය. සුමන මල්කරුවා බුදුපියාණන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය බුද්ධ ලීලාව දැකලා හිතේ ඇතිකරගත්ත පැහැදීම හිතේ ඇතිකරගත්ත ගෞරවය. මෙතුමා බිම්බිසාර රජතුමාගේ රජමාලිගාවට තමයි දෑ සමන් මල් මිටි 08 ක් හැමදාම අරගෙන යන්නේ. මේ අරගෙන යන අතරතුර තමයි බුදුපියාණන් වහන්සේ මුණ ගැහෙන්නෙ. උන්වහන්සේ බුදු රැස් විහිදුවමින් ඍද්ධියෙන් පිණ්ඩපාතෙ වඩින්නෙ. වඩින ගමනේ මෙතුමා හිතනවා වෙනදා බුදුපියාණන් වහන්සේ් වඩිනකොට මගේ අතේ යමක් නෑ පුදන්නට වෙනදා මගේ අතේ යමක් තියෙනකොට පුදන්න බුදුන් වහන්සේ මුණගැසෙන්න නෑ. අද නම් මගේ අතේ යමකුත් තියනවා . බුදුපියාණන් වහන්සේත් මුණ ගැහෙනවා. කමක් නෑ. මෙය රජමාලිගාවට අරගෙන යන්න තියන රාජ නියෝගයක් මට මගේ ජීවිතය නැතිවුණත්, මට මොනවා වුණත් කමක්නෑ. මොන දේ ආවත් මට අද මගේ අතේ තිබෙන දෑ සමන් මල් ටික බුදුපියාණන් වහන්සේට පුජාකරනවා කියලා සිත පහළ කරගත්තා.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]