UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව ගුවනින් මිහින්තලාවට

 

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව ගුවනින් මිහින්තලාවට

දිය බිඳු බිඳු එක් වී කුඩා දිය කඩිත්තක් සෑදෙයි. ඒ දිය කසිත්ත ඇළ, දොළ වී මහ ගංගාවක් බවට පත් වෙයි. අතු ගංගා දක්වා විහිද ඒ මහ ජලකඳ පැතිරී ගොස් ගම් දනව් සරුසාරවත් කරමින් කෙත්වතු අස්වද්දා කරන මෙහෙවර සුළු පටු නොවේ.

එක් පුණ්‍යවන්ත සිතිවිල්ලක් වුවද ගමක්, පළාතක් රටක් සුවඳවත් කරන පින් සිතිවිලි සමුදායක් බවට පත්වනුයේ නිරන්තරයෙනි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනයෙන් වසර 2325 ක් සපිරීමත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාව අඛණ්ඩව 56 වන වසරටත් පැවැත්වීමත් නිමිත්තෙන් සහ ලේක් හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සිහිකිරීම් වස් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ලේක්හවුස් සේවක මහත්ම මහත්මීන්ගේ පූර්ණ දායකත්වයෙන් ඉකුත් 6 වන දා ලේක්හවුස් මන්දිරය අබියස දී පින්කම් මාලාවක් ආරම්භ කෙරුණි.

සම්මා සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ ජනක එදිරිසිංහ මහතා ප්‍රධාන පවුලේ ඥාතීන්ගේ හා හිතවතුන්ගේ දායකත්වයෙන් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ රැගත් තෙදින රිය පෙරහරක් මිහින්තලා පුදබිම දක්වා ගමන් ඇරඹීමේ මහ පින්කම මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයෙහි ආරම්භ විය. එසේ ඇරඹුණු එම රිය පෙරහර කැලණි රජ මහා විහාරයේ දී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ආශීර්වාදයෙන් ද, කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති කථිකාචාර්ය මා කොළ මංගල හිමියන්ගේ ආශීර්වාදයෙන් කිරිබත්ගොඩ නගරයේ දී ද කඩවත ශ්‍රී බිම්බාරාමයේ දී හුරිගස්වැවේ සද්ධාවාස නාහිමියන්ගේ ද, පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරයේ දී තෝරපිටියේ ආනන්ද නාහිමියන්ගේ ද, ගම්පහ ජාත්‍යන්තර සාම විහාරයේ දී තලංගල්ලේ සෝමසිරි නාහිමියන්ගේද, ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් විහාරයේ දී තුම්මෝදර සමිත හිමියන්ගේ ද, බණ්ඩාරවත්ත ඉඳිගොල්ල විද්‍යාවංශ පිරිවෙන් විහාරස්ථානයේ දී ද, යක්කල වීදියවත්ත අරඹේගොඩැල්ල ශ්‍රී සලිල දස්සනාරාමයේ දී රැය පහන්වනතුරා ගවරවෙල ගුණරතන හිමියන්ගේ ද ආශීර්වාදයෙන් මාතර මහින්ද හිමියන්ගේ දහම් දෙසුමක් ද ඇතුළුව ඒ ඒ විහාරස්ථානවල දී දායක පිරිස දහම්පාසල් දරුවන් සහ පාසල් දරුවන් ඇතුළු මග දෙපස රැස්ව සිටි බොහෝ දෙනා ද පූජෝපහාර දැක්වූයේ මහත් ගෞරවයෙනි. ඒ අතර යක්කල අනුර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ සහ අනුර මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේද පූජෝපහාරයට ලක්වීම කෘතවේදීව සිහිකළ යුතු ව ඇත.

අනතුරුව 7 වන දා නිට්ටඹුව නාපාගොඩ ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ ත්‍රිපිටකෝදය මහ පිරිවෙන අසල දී උණවටුණේ සුමන නාහිමියන්ගේ ද , මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරස්ථානයේ දී සීතාඑළියේ චන්දානන්ද නාහිමියන්ගේ අනුශාසනයෙන් ද, මැද්දෙපොල ශ්‍රී බෝධිරාජාරාමයේ දී මිරිහානේ ධම්මපාල නාහිමියන්ගේ ද දඹදෙණිය විවිධ සේවා සමිතියේ ද, දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රාජ මහා විහාරයේ දී නාරංගල සිරිනිවාස නාහිමියන්ගේ ද, බමුණාවෙල පුරාණ ගල් ලෙන් රජමහා විහාරයේ දී බුළුපිටිගම නන්දසාර හිමියන්ගේ ද, කුරුණෑගල යන්තම්පලාව කොහිල පොකුණ විහාරයේ දී කුරුණෑගල ඉන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි උඩුදුම්බර සෝභිත හිමියන්ගේ දහම් දෙසුමක් ද සහිතව එදින රැය පහන්වනතුරා ද දායක සභා කුළඟන සමිති ඇතුළු ආගමික සංවිධානවල පූජෝපහාරයට බඳුන් විය. 8 වන දා උදෑසන වාරියපොල ශ්‍රී විසුද්ධාරාම විහාරය වෙනුවෙන් කඩ්හාරේ පේමරතන නාහිමියන්ගේ අනුශාසනයෙන් වාරියපොල නගරයේ දී ද පාදෙණිය පුරාණ විහාරය අබියසදී කටුමුළුවේ සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ස්වේච්ඡා සංවිධාන රැසක් සහ පාදෙණිය ශ්‍රී සුනන්ද මහ විදුහලේ විදුහල්පතිතුමන් ප්‍රධාන සිසු දරුවන්ගේ ද,

අඹන්පොල උඩංගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ දී නිට්ටඹුවේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි පාසල් දරුවන් ඇතුළු දායක පිරිස ද මහගල්කඩවල මැදගම ශ්‍රී ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන් විහාරස්ථානයේ දී ද, තඹුත්තේගම කලාඔය ශ්‍රී ගංගාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ දී පදියතලාවේ සීවලී හිමියන්ගේ අනුශාසනයෙන් ද නිකුල සුමනතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි තලාව ශ්‍රී අරහන්ත මහා තලාකවාපි පුරාණ විහාරයේ දී ද, අනතුරුව පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනයෙන් රුවන්වැලි මහා සෑ රදුන්ගේ සහ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජය ශ්‍රී මහා බෝසමිඳුගේ ආශීර්වාදය ලැබූහ.

අනුබුදු මිහිඳු ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිමට වැඩම වූ අතර 8 වන දා රාත්‍රී අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත සම්බුදු සිරිපා ශෛලමය අනුරුව වැඩම කරවූහ. ඒ මිහින්තලා පුදබිමේ උඩමළුව වෙත ගුවනින් වැඩම කරවීම සඳහා ය. ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලසන්ත චන්ද්‍රතිලක සහ දින කිහිපය පුරා නේවාසික ආදී පහසුකම් සොයාබලා කටයුතු කළ ප්‍රචාරක හා මහජන සබඳතා කළමනාකාර ශාන්ත ජයමහ, කාර්මික ඉංජිනේරු ඩබ්ලිව්. කේ.එස්. ජේ. විජේසිංහ තෙදින පුරා රිය පෙරහරට එක්වූ ශානක මඩපාත සහ සමින්ද විජේතුංග සහ ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් පි‍්‍රයන්ත කුමුදුසිරි, භාණ්ඩාගාරික පි‍්‍රයන්ත විජේසූරිය ඊට එක්වූහ. එදින කලණ රාප්‍රියද සිල්වා සොයුරා ද කඳවුරට පැමිණ සිටියේ ය. කාර්මික නිලධාරී ඩබ්ලිව්.වී.ටී.එස්.කේ. විජේසිංහ මහතා සමඟ, එස්.එම්. ඩී.සී. ධම්මික, ආර්.හේමසිරි, ජේ.ඒ. ඒ. කේ. ජයසිංහ, එච්.ඩී.එන්.කේ. හුලන්දූව, ඩබ්ලිව්. ඩී. නිහාල් සහ එන්.ඩී. චන්දසිරි යන අය ද ඊට අයත් විය. සිරිපා අනුරුව ගුවනින් වැඩමවන අසිරිය සියැසින් දැකීමට පසු දා හිමිදිරියේ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා ද ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියේ ය.

ලේක්හවුස් ආයතනයේ කාර්මික ශිල්පීන් ඒ සඳහා සූදානම් කරන ලද ලෝහමය ආරක්ෂිත ආවරණයක් තුළ මෙට්ට ආදිය තැන්පත් කර ගුවන් හමුදා නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පැය කිහිපයක් පුරා මනා ලෙස සිරිපා අනුරුව නොසෙල්වෙන සේ තැන්පත් කර එහි ආරක්ෂාවට කටයුතු යෙදූහ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ගුවන් හමුදාව වෙත පිරිනමා ඇති ඉතා ශක්තිමත් දැල් සහිත වූ ආවරණය මඟින් ඉසිලිය හැකි බර ප්‍රමාණය නැවත ශ්‍රී ලංකා වරාය අධිකාරියට යවා පරීක්ෂා කර තිබූ අතර ටොන් එක හමාරකට ආසන්න වූ සිරිපා අනුරුව එම බර උසුලා දැරිය හැකි ආරක්ෂිත දැලෙහි මැද තැන්පත් කළහ. ඒ දැලෙහි සිව් කොන්හි වෘත්තාකාර යකඩ වළලු සවිකර තිබිණි. මෙයට වසර කිහිපයකට පෙර ශ්‍රී පාදස්ථානය වෙත ගුවනින් ශෛලමය පහන සහ ඝණ්ඨාර කුළුණ වැඩමකර තිබුණේද එම ආරක්ෂිත දැල උපයෝගි කරගෙන ය. අනතුරුව හිමිදිරියේ ම සිරිපා අනුරුව වැඩමවීමේ පෙර පුහුණුව රුසියාවේ නිෂ්පාදිත එම් අයි 17 වර්ගයේ ගුවන් යානයකින් ගුවන් හමුදා කඳවුරේ දී සිදු කෙරුණු අතර එම ගුවන් යානය ඒ මොහොතේ ම මිහින්තලා පුදබිම වෙත ගමන් කළේ ස්ථානගත කිරීම විමසා බැලීමට ය.

උතුරු මැද පළාතේ දේශගුණ තත්ත්වයට අනුව සුළඟේ දැඩි බව පැවතියෙන් එදින සවස් කාලයේ දී සුළඟේ තත්ත්වයෙහි වෙනසක් නොවූයෙන් සිරිපතුල් අනුරුව ගුවනින් වැඩමවීම පසුවදාට කල් තැබිණි.

අනතුරුව සම්බුදුසිරිපා ශෛලමය අනුරුව රජරට විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයට වැඩමවූයේ මිහින්තලා පුදබිමට ආසන්නයේ ම එය පවතින හෙයිනි. එදින එහි ආරක්ෂාවට ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබිණි.

පසුදා හිමිදිරියේ අප එහි යන විටත් ගුවන් හමුදා නිලධාරීහු සිරිපා අනුරුව මිහින්තලා උඩමළුවට ගුවනින් වැඩ වීමට ලහි ලහියේ සූදානම් වූහ. අපි උඩමළුව බලා ගමනින් ඇරඹුවෙමු. ඒ වන විට අනපේක්ෂිත අවදානම් සියල්ලට ක්ෂණිකව මුහුණදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීහු යුහුසුළුව ක්‍රියාත්මක වී තිබුණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ මෙහෙයවීමෙන් මෙහෙයුම් අධ්‍යක්ෂතුමා සහ ඉංජිනේරු අංශය, ආරක්ෂක, වෛද්‍ය ආදී අංශ රැසක පනහකට වැඩි පිරිසක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී පෙර පුහුණුවීම් පවත්වන ලදී. සුළං අධික ඉතා දුෂ්කර ස්ථානයකට ගුවන් යානය ගමන් කළ හැකි අයුරු දෙදිනක් පුරා දිවා රාත්‍රී ස්ථාන සුදානම් කිරීම් හා පරීක්ෂා කිරීම් කර ගුවන් හමුදා අණ දෙන නිලධාරීතුමන්ලා, ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, ගුවන්පාලක නිලධාරීන් වෛද්‍ය සහ ගොඩබිම් ආරක්ෂිත නිලධාරීන්ගේ නොමසුරු දායකත්වය ඊට එක් වී තිබුණි. අනපේක්ෂිත වන අනතුරු සියල්ලටම ගිනි නිවීම, ගිලන් රථ වෛද්‍යාධාර ආදී සියල්ලද අදාළ ස්ථානයන්හි යොදා තිබුණි. ස්ථානගත කිරීම්වලට පෙර අදාළ සියලු අංශ දැනුවත් කර ජීවිත හා දේපළවල ආරක්ෂාව සියයට සියයක්ම තහවුරු කර තිබූ ආකාරය සියැසින් දුටුවෙකුට හැර විස්තර කළ නොහැකි තරමට සලසා තිබිණි.

එම් අයි 17 වර්ගයේ ගුවන් යානය නැවත ස්ථානය පරීක්ෂා කර පියාසර කළ පසුව මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඉකුත් 10 වන දා පෙරවරු 6 පසුවනවාත් සමගම අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව මිහින්තලා මහ සෑ රදුන්ටත්, ආරාධනා ගලටත් අතරින් ඓතිහාසික මිහින්තලා පුදබිමේ උඩමළුව වෙත රැස්ව සිටි ගිහි පැවිදි සියලු දෙනාගේ සාධුනාද මධ්‍යයේ ගුවනින් වැඩම කරවූයේ සියලු බලාපොරොත්තු සඵල කරවමිනි.

මිහින්තලා මහ සෑ රදුන් වහන්සේගේ ප්‍රතිසංස්කරණයෙන් පසු ශ්‍රී බුද්ධ වර්ෂ 2525 දී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් නිරාවරණය කරන ලද කොත් වහන්සේ එදා ගුවනින් වැඩම කරවීමෙන් පසු මෙදා සම්බුදු සිරිපා අනුරුව ගුවනින් වැඩම වූ බව වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ ‘බුදුසරණ’ට පැවසූහ.

එම අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව එදිනම ගුවන් හමුදා නිලධාරීන්ගේ ද සහායෙන් මිහින්තලා ධාතු මන්දිරයේ තැන්පත් කරන ලදී. එහි ආරක්ෂිත පිත්තල වැට ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් ඉදි කරවූහ.

තෙදින පුරා රිය පෙරහරෙහි වැඩම කළ මිහින්තලා රාජමහා විහාරයේ වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් ද මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරමු. ලේක්හවුස් මන්දිරය අබියස දී රිය පෙරහරට සෙත් පිරිත් දේශනා කරමින් ආශීර්වාද කළ කොළඹ හුණුපිටිය ගංගාරාමයේ මහ සඟරුවනත්, මිහින්තලා රජ මහා විහාරාධිපති නා හිමියන් ඇතුළු සඟරුවනටද ආශීර්වාද පතමි.

කැලණි රජමහා විහාරය ඇතුළු රිය පෙරහරට පූජෝපහාර දැක්වීමට පෙරහර ගමන් මගෙහි වූ සියලු විහාරස්ථාන හා එහි නාහිමිවරු ප්‍රධාන මහ සඟරුවනටත්, දායක සභා බෞද්ධ සමිති විදුහල්පතිවරුන් හා ස්වේච්ඡා සංවිධාන ඇතුළු විවිධ ආයතන පාසල් දරුවන්ටත් නන් අයුරෙන් සහාය වූ සැමටත් මෙම මහාර්ඝ වූ පින්කම සාර්ථක කර ගැනීමට දැක් වූ සැමටත් අනේකවාරයක් පින් පුදමි. ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත් ලේක්හවුස් සේවක සේවිකාවන්ටත් පින් දෙමි. අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සිය ශ්‍රමය වැය කරමින් මහත් ඕනෑකමින් නිර්මාණය කළ පානදුර, වලාන ගාලු පාරේ අංක 50 හි පදිංචි එම්. උපුල් සමන්ජිත් පෙරේරා මහතාටත් ආශීර්වාද පළ කරමි. නාම පුවරුව ඇතුළු සිරිපා අනුරුව තැන්පත් ආසනය ග්‍රැනයිඩ්වලින් නොමිලයේ නිර්මාණය කළ මිනුවන්ගොඩ ස්ටාර් ග්‍රැනයිට් ආයතනයේ අධිපති එච්.සී. ලීලානන්ද වික්‍රමසිංහ මහතා මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කරමි.

සිරිපා අනුරුව වැඩමවීමට රන්සිව් මණ්ඩපය ඇතුළත් රථය ලබාදුන් පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාමාධිපති පූජනීය මලේගොඩ නන්ද නාහිමියන් වෙත නමස්කාර පූර්වක ආශීර්වාදය පළ කරමි.

රිය පෙරහර ගමන්මග පෙර සූදානම් කළ බෙදාහැරීම් අංශයේ ඩබ්ලිව්.ජී. ශාන්ත පුෂ්පකුමාර සහ සමන් ලියනගේ මහත්වරුන්ටත් සියලු අවස්ථා වීඩියෝ ගත කළ චේනක වික්‍රමාරච්චි සහ ගයාන් රත්නායක හා අචලනෙත්ට රියදුරු දෙපළවන එච්.එල්. පියරත්න සහ එස්.කේ. සී. කේ. සුබසිංහ වෙතත් පින් පුදමි. කොළඹ සිට අනුරාධපුර දක්වා මාර්ග අවහිරතා මඟ හරවා පෙරගමන් රථ මෙන්ම යතුරු පැදි සහායදුන් ශ්‍රී ලංකා පොලිසියටත් ආශීර්වාද පතනෙමි.

ශ්‍රී ලංකා ගුවන්හමුදා මූලස්ථානයේ මෙහෙයවීමෙන් අනුරාධපුර ගුවන්හමුදා කඳවුරේ අංක 6 දරණ බලගණය විසින් සිරිපතුල ගුවනින් මිහින්තලේ වෙත ගෙන යාමේ ක්‍රියාන්විතයේදී ‘සිරිපතුල’ රජරට විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඔසවාගෙන මිහින්තලේ මැදමළුව වෙත ගුවනින් වැඩම කරන ලදී.

මෙහෙවර ඉටුකරන ලද්දේ එම්.අයි. 171 එස්.එච්. හෙලිකොප්ටරයක ආධාරයෙනි. මෙයට හවුල් වූ ගුවන් භට කණ්ඩායම මෙසේය.

කපිතාන් ගුවන් නියමු – බලගණ නායක අයි.එස්.බී. තිබ්බොටුමුනුවෙ ,සහායක ගුවන් නියමු – බලගණ නායක ජේ.ඒ.ආර්. ජයවික්‍රම, පියාසර ඉංජිනේරු – ඩබ්ලිව්. ඕ.කරුණාරත්න , භාණ්ඩ එසවීමේ ක්‍රියාකරු – පියාසර සාජන්ට් රාජපක්ෂ ,ගගන අවිකරු– පියාසර සාජන්ට් මහේෂ්කුමාර, විදුලි හා උපකරණ ක්‍රියාකරු– කෝප්‍රල් පේ‍්‍රමතිලක යන නිළධාරීහු ඇතුළු නිළධාරින් පිරිස ඊට සහභාගි වූහ. ගුවන් හමුදාපතිතුමන් ඇතුළු සියලු නිලධාරීන්ට ආශිර්වාද පතමි.

මෙයට මාස කිහිපයකට පෙර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය පිළිබඳ මූලික සාකච්ඡාවක් සඳහා මිහින්තලා පුදබිමට යන ගමනට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මැතිතුමා, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සුබසාධන ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි, මහජන සම්බන්ධතා හා ප්‍රචාරක කළමනාකාර ශාන්ත ජයමහ යන මහත්වරු සමග ම ද එක්විය. ඒ යන ගමන අතරතුර මෙම පින්සාර සිතිවිල්ල ඉදිරිපත් කළේ සුබසාධන ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි මහතා ය. ඒ මොහොතේ ම ඒ අදහස ක්‍රියාවට නංවමු යැයි තීරණයට එළඹිණි.

ඒ අදහස මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවා හැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වෙත එදින සාකච්ඡාවේ දී ඉදිරිපත් කෙරිණි. උන්වහන්සේ ඊට අනුමැතිය දුන්නේ එහෙනම් අපි එය ධාතු මන්දිරයේ තැන්පත් කරමු යැයි පිළිතුරු සපයමිනි.

යමක් කළ විට, කිසිවිට එහි පැසසුම් ලැබීමට අකැමැති වුවද මෙම පින්සාර සිතිවිල්ල පහළ වූ චන්ද්‍රලාල් සූරියආරච්චි මහතාට අනේකවාරයක් පින් පුදනුයේ කුඩා දිය කඳක් අතු පතර විහිද යන මහ ගංගාවක් බවට පත්වන්නාක් මෙන් පින් සිතිවිල්ල මාස කිහිපයක් පුරා දළුලා වැඩී අපමණ පිරිසකට එයින් සිත් පහන් කර ගැනීමට අවස්ථාව සලසා දීම ගැන කෘතවේදීත්වය පළ කරමිනි.

මඟ දෙපස රැඳී සිටිමින් පූජෝපහාර දැක්වීමටත්, ආගන්තුක සත්කාර කරමින් සහාය දැක්වූ සැමටත් මෙම මහඟු පින්කම දැක බලා සතුටු වී සිත් පහන් කර ගත් සැමටත් තෙරුවන් සරණ පතමි. මෙම ඓතිහාසික පින්කමේ දී ධර්මදානමය පින්කමද සපුරා ගැනීමට එදිනෙදා භාවිත කළ හැකි පිරිත් පොත මුද්‍රණය කර දහස් සංඛ්‍යාත පිරිසකට බෙදාදීම සඳහා සැදැහැති දායකත්වය සැපයූ ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු පවුලේ සැමටත් නිරතුරුව ආශීර්වාද පතමි. පුරා විසි පස් වසරකට අධික ලේක්හවුස්හි මාගේ සේවා කාලය තුළ අප ආයතනයේ සියලු දෙනා ඒකරාශී වී සිදුකළ මෙම ඓතිහාසික පින්කම දිවි ගමනේ මෙන්ම අප ආයතනයේද අනුස්මරණීය සිහිවටනයක් බව වෙසෙසින් සඳහන් කළ යුතු ය.

ලේක්හවුස් බෞද්ධ සංගමය ඇතුළු හැම දෙනාටම තුනුරුවනේ සරණයි.

 

පොසොන් පසළොස්වක පෝය


පොසොන් පසළොස්වක පෝය ජුනි 27 වන දා බදාදා පූර්ව භාග 08.15 ට ලබයි. 28 බ්‍රහස්පතින්දා පූර්වභාග 10.25 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි 27 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජූලි 06 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]