UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලබන මාතලේ ධම්මකුසල නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලබන මාතලේ ධම්මකුසල නා හිමි

අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය 17වන දා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සංඝ සභාව මඟින් කොළඹ 15 මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මාතලේ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පරිවෙණාධ්‍යක්ෂක සිරි සුමිත්ත සාසනතිලක වංසාවතංස පරියාප්ති සාසනසේවා සද්ධර්මකීර්ති ශ්‍රී විද්‍යා විභූෂණ විද්‍යාභිමානී ශිරෝමණී රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය මැයි මස 17වන බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරන්ධර සිරි සීලවංස වංසාලංකාර අග්ගමහා පණ්ඩිත විනය විශාරද අති පූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන්ගේ මූලාසනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි

"අප අනු නා හිමිපාණෝ බොහෝ අවස්ථාවන්හි ගුවන් විදුලිය හා රූපවාහිනිය, මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සද්ධර්ම කතිකාවත්හි යෙදෙමින් ගැඹුරු ධර්ම කරුණු ඉතා සරල ලෙස විග්‍රහ කරමින් ශ්‍රාවකයන්ගේ ගුණ ධර්ම හා අවබෝධය විචක්ෂණශීලීව වැඩි දියුණු කිරීමට දක්වනුයේ විශිෂ්ට ප්‍රාගුණ්‍යයකි. උන්වහන්සේගේ භාෂා විලාශය සරල ය. සුගම ය. නිවැරැදි ය. එසේම අත්‍යලංකාර ය. ඒ තුළ අර්ථ විරහිත දෑ ඇත්තේ නැත. මේ හේතුව නිසා වෙනත් මත අදහස් මෙන් ම ආගම් අදහන්නෝ ද උන්වහන්සේ වටා නිරතුරුවම රොක් වෙති. ආධාර උපකාර කරති. "

යම් භික්ෂුවක්, මෛත්‍රී සහගත ව කටයුතු කරයි ද , බුද්ධ ශාසනය කෙරෙහි අතිශයින් පැහැදීම් ඇත්තේ ද , උන් වහන්සේ නිවන් සැපතට පැමිණෙන්නේ ය. වසර හැට හයක ගෙවී ගිය, උතුම් පැවිදි දිවියේ මතක සටහන් අවධි කරන විට, ඉහත සඳහන් බුද්ධ වචනය, අතිශයින් ම අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනු නායක ස්වාමීන් වහන්සේගේ චරිතය හා සැසඳෙන්නේ ය. මට්ටක්කුලිය, වැනි විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් ජීවත්වන සංකීර්ණ පරිසරයක පිහිටි ශ්‍රී වික්‍රමාරාම විහාරස්ථානයෙහි අඩ සියවසකට ආසන්න කාලයක් විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කිරීමට නම්, මෛත්‍රී සහගත සිතක් අනිවාර්යයෙන් ම අවශ්‍යය ය.

දුප්පත්, පොහොසත්, උගත්, නූගත් , බාල ,මහලු, ලොකු කුඩා විවිධ ජාතීන් ජීවත්වන සංකීර්ණ පරිසරයක ජීවන ගැටලු එමට ය. දූ දරුවන්ගේ අධ්‍යාපන දක්ෂතා ද බහුල ය. මේ සියල්ල පිළිබඳ ව සංවේදීව මෙත් සිතින් කටයුතු කිරීම උන් වහන්සේගේ සිරිත ය. පැවිදි වූ දා පටන් බුද්ධ වචනයට අනුව ශික්ෂණය ලබා එහි ඇල්මෙන් කටයුතු කිරීම ජීවිතය පුරා දක්නට ලැබෙන විශේෂත්වයකි.

ජන්ම ලාභය

අධිරාජ්‍යවාදීන්ට, එරෙහිව, නිදහස් සටන මෙහෙයවන්නට නායකත්වය දුන් , කන්ද උඩරට මාතලේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම භූමිය විය. ජාතියේ නිදහස වෙනුවෙන් සුදු අධිරාජ්‍යවාදීත්වයේ වෙඩි උණ්ඩයට ළය දුන් කුඩාපොල හිමියන්, ගොංගාලේගොඩ බණ්ඩා ආදී වීරවරයන් පහළ වූයේ ඓතිහාසික මාතලේ පුරවරය ඇසුරෙනි. අනු නායක ස්වාමීන් වහන්සේ ද 1941 වර්ෂයේ අප්‍රේල් මස 13 වන දින සිංහල දෙමළ, අලුත් අවුරුද්ද උදාවෙද්දී මෙලොව එළිය දුටුවහ. පියා මාතලේ, කොහොන්සිය පත්තුවේ වඬිවිට, රන්තැටියාවේ ගෙදර , පුංචි බණ්ඩාර නිළමේ තුමා ය. බණ්ඩාර මැණිකේ පින්බර මෑණියන් වූවා ය. පවුලේ දරුවන් සිව්දෙනෙකුගෙන් තෙවෙනියා වූ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගිහි කල නාමය වූයේ විජයරත්න බණ්ඩාර ය.

මේ කුල කුමරුවා පැවිදි දිවියට එළඹියේ වයස අවුරුදු දහයේ දී ය. ඒ සඳහා මාතලේ කූඹියන්ගොඩ, විද්‍යාශේකර පිරිවෙනේ ප්‍රධාන දායකයෙක් වන තම මුත්තණුවන් මුල් වූහ. එතුමා විහාරාධිපති අතිපූජ්‍ය මාතලේ සිරිධම්මිස්සර නා හිමියන් ළඟින් ම ඇසුරු කළේය. ඔහු විහාරස්ථානයට ගියේ ද විජයරත්න බණ්ඩාර දරුවා ද කැටුව ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විජය බණ්ඩාර කුමරු 1951 වර්ෂයේ දී මාතලේ සිරි ධම්මිස්සර නා හිමියන්ගේ හා විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මාතලේ ශසනාතිලක අනුනායක ස්වාමීන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ‘මාතලේ ධම්මකුසල’ නමින් පැවිදි බිමට පත් වූහ.

1863 වර්ෂයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ විය. එයට මුල් වූයේ, යති සංඝපති, අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්ද්‍රසභවරඤාණසාමි මා හිමියන් වහන්සේ ය. උන්වහන්සේට සහාය වූයේ අති පූජ්‍යය පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමියන් වහන්සේ හා අති පූජ්‍ය වරාපිටියේ සිරි සුමිත්ත මාහිමියන් වහන්සේ ය. වරාපිටියේ මාහිමියන් නියෝජනය කළේ, ඓතිහාසික කන්ද උඩරට මාතලේ ප්‍රදේශය යි. මාතලේ ධම්මකුසල අනුනායක ස්වාමීන් වහන්සේ එම සඟ පරපුරට අයත් ය.

ජාත්‍යන්තර කීර්තියට

මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය 1956 වර්ෂය වන විට රාජකීය පණ්ඩිත. අතිපූජ්‍ය බද්දේගම විමලවංස අනුනායක ස්වාමීන් වහන්සේ යටතේ ඉතා දියුණු විද්‍යාස්ථානයක් ලෙස අතිශයින් ම දියුණුවට පත් විය. විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන් දෙකට අමතරව තුන්වන ගුරු කුලයක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් විය. දෙස් විදෙස් ශිෂ්‍යයෝ දහස් ගණනක් මුල සිට විශ්ව විද්‍යාල උපාධි දක්වා අධ්‍යාපනය ලැබූහ. ශ්‍රී ලංකා විද්‍යාලය විශ්ව විද්‍යාල අනු බද්ධායතනයක් ලෙස පිළි ගැනිණි. මෙහි උප ප්‍රධානාචාර්ය ධූරය දැරුවේ බද්දේගම අනු නා හිමියන්ගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ මාතලේ ශාසනතිලක අනු නා හිමිපාණන් වහන්සේ ය. මේ අවස්ථාවේ ධම්මකුසල සාමණේරයන් වහන්සේට උසස් අධ්‍යාපනය සඳහා හොඳ ම අවස්ථාව අවබෝධ කරගත් ශාසනතිලක මා හිමියන් වහන්සේ 1956 වර්ෂයේ තරුණ ධම්මකුසල භික්ෂුව ශ්‍රී ලංකා විද්‍යාලයට වැඩම කරවීය. ඉන්පසු ව අතිපූජ්‍ය බද්දේගම විමලවංස නා හිමියන්ට භාර කළහ. එහි දී ඉතා කෙටි කලකදී වර්ෂ 1963 දී විශ්ව විද්‍යාල උපාධියත්, ප්‍රාචීන පණ්ඩිත උපාධියත් ලබා ගත්හ. මාතලේ ධම්ම කුසල යථිවරයාණන්ගේ කාර්ය ශූරත්වයත්, සංයමයත් , සහජ කුසලතාවත් නිසා ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට පත්වීමට විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් සිටියදී ම අවස්ථාව එළඹිණි. එසේ ආරම්භ වූ ගුරු සේවය අවසන් වූයේ 1990 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙනේ පරිවෙණාධිපති ධූරයට පත් ව 1998 වර්ෂයේ විශ්‍රාම ලැබීමෙන් පසුව ය.

ගිහි පැවිදි ඕනෑම කෙනෙකුගේ පුද්ගල චරිතය සකස්වීමට ස්වභාව ධර්මයට අයත් ගහ කොළ ඇළ දොළ ආදී පරිසරයත්, ඇසුරු කරන්නට ලැබෙන විවිධාකාර චරිතත් එක එල්ලේ ම දැඩි බලපෑමක් සිදු කරයි. එය ඕනෑම රටක ඕනෑම ජන සමාජයක සිදුවන වැළක් විය නොහැකි සංසිද්ධියකි. මාතලේ ධම්මකුසල තරුණ යථිවරයාණන්ට ද ශ්‍රී ලංකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළ මෙම වාසනාව නොඅඩුව ලැබුණි. 1956 මෙරට සිදු වූ දේශපාලන සංස්කෘතික හා ජාතික මහ පෙරළියෙහි අත්දැකීම් උන්වහන්සේට අත්විඳින්නට අවස්ථාව සැලසුණි.

ජීවමාන බලවේගය

අතිපූජ්‍ය බද්දේගම විමලවංස අනු නා හිමි, රාජකීය පණ්ඩිත, කන්නිමහර සුමංගල නා හිමි, ශාස්ත්‍රපති, බලංගොඩ ප්‍රඥාවංස අනු නා හිමි, රාජකීය පණ්ඩිත කෙරමිණියේ ජිනානන්ද නා හිමි රාජකීය පණ්ඩිත පැණිගෙල සිරිසම්බෝධි නා හිමි, රාජකීය පණ්ඩිත මාපලගම සිරි සෝමිස්සර නා හිමි, රාජකීය පණ්ඩිත ගලපිටියාගම විමලධම්ම අනු නා හිමි ආදීි ප්‍රතාපවත් භික්ෂු චරිත විද්වත් පඬිවරුන්, ගුරුවරුන් ලෙස හා සමකාලීනයන් ලෙස ඇසුරු කරන්නට අවස්ථාව සැලසීම උන්වහන්සේගේ දිවි මඟ එළිය කරන්නට හේතු විය. තමන් වහන්සේගේ ජීවන ගමන් මඟේ ජීවමාන බලවේගය වූයේ ශ්‍රී ලංකා විද්‍යාලය බව, අති පූජ්‍ය ධම්මකුසල අනු නායක ස්වාමීන් වහන්සේ කෘතඥතා පූුර්වකව නිතර සිහිපත් කරති.

1964 වර්ෂයේ දී ගාල්ලේ ගිං ගඟ උදකුඛෙප සීමා මාලකයේ දී මාතලේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේ උතුම් වූ උපසම්පදාව ලැබූහ. මේ වන විට උන් වහන්සේ උපසම්පදාවෙන් වස් පනස් තුනක් සම්පූර්ණකර සිටින මහ තෙර නමකි. එදා මෙදා කාලය තුළ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායටත්, සම්බුද්ධ ශාසනයටත් අමිල සේවයක් ඉටුකර ඇත. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විධිමත් කථිකාවතක් හා ඊට අනුයත පරිපාලනයක් ඇති සංඝ සංවිධානයකි. යථිවරයාණන් වහන්සේ මීට වසර තිස් අටකට පෙර එනම් වර්ෂ 1980 දී මුලින්ම නිකායේ පාලක සංඝ සභාවට පත් වූහ. අනතුරුව පිළිවෙළින් කාරක මහා සංඝ සභාවටත්, නිකාය අධිකරණයේ අනුවිජ්ජක ධූරයටත්, ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක ධූරයටත්, නියෝජ්‍ය මහා ලේකඛාධිකාරී ධූරයටත්, 2017 වර්ෂයේ දී අති පූජ්‍ය අනු නායක ධූරයටත් තේරී පත් වූහ. තමන් වහන්සේට වරින් වර ලැබුණු ඉහත කී තනතුරුවල, වගකීම් හා යුතුකම් මැනවින් ඉටු කළහ. නිකායේ මහා ලේඛකාධිකාරී ධූරය විධායක බලය සහිත පදවියකි. මුලු පරිපාලන වගකීම් සහිත තනතුරකි. උන්වහන්සේ වසර අටකට ආසන්න කාලයක්, දිවයින පුරා වැඩම කරමින් පාලක සංඝ සභා විශේෂාධිකාරී මණ්ඩල, කාරක මහා සංඝ සභා කැඳවමින් මහත් කැපවීමෙන් , දිවා රාත්‍රී නොබලා වගකීම් ඉටු කළහ.

එහි ප්‍රතිපලයක් ලෙස අතිපූජ්‍ය මහා නායක මා හිමියන් ප්‍රධාන කාරක, පාලක මහා සංඝ සභා සමානච්ඡන්දයෙන් අනු නායක පදවිය පිරිනැමීමට තීරණය කිරීම සුවිශේෂී කරුණකි.

විදේශ ධර්ම දූත සේවය

ශ්‍රී ලංකා විද්‍යාලයට සම්බන්ධ මහා මහින්ද ජාත්‍යන්තර ධර්ම දූත සංගමය දශක පහකට ආසන්න කාලයක සිට ලෝකයේ විවිධ රටවල ධර්ම දූත සේවයේ යෙදෙන ආයතනයකි. අති පූජ්‍ය, බද්දේගම ශ්‍රී විමලවංස අනු නායක ස්වාමීන් වහන්සේ ආරම්භ කළ මෙම ධර්ම දූත සංගමය මුල්කරගෙන අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල නා හිමිපාණන් වහන්සේට ද විදේශ ධර්ම දූත සේවයේ යෙදීමට අවස්ථාව සැලසුණි. ඒ අනුව වරින් වර ඉන්දියාව, නේපාලය, මියන්මාරය, තායිලන්තය, ජපානය, චීනය , එංගලන්තය, වියට්නාමය, ඔස්ට්‍රේලියාව ආදී රටවලට වැඩම කරමින් බුද්ධ වචනය ලොව පුරා ප්‍රචාරය කිරීමට දායක වූහ.

සමාජ සේවය, ලාංකික භික්ෂුවට පැවිදි බිමට පත්වූදා සිට උරුම වන්නකි. උන්වහන්සේ සම්බන්ධයෙන් ද එය එසේ ම විය. ශ්‍රී වික්‍රමාරාමය පිහිටි , මට්ටක්කුලිය අවට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට විවිධාකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරති. පෙර පාසල්, දහම් පාසල්, වැඩිහිටි සමිති, සුබ සාධක සංගම් පවත්වාගෙන යන්නේ ජනතා සුබසෙත සඳහා ම ය. තමන්ගේ ඇවෑමෙන් මෙම සේවාවන් ඉදිරියට කරගෙන යාම සඳහා දැන උගත්, ක්‍රියාශීලී, සිසු පරපුරක් බිහි කිරීමට වග බලා ගත්හ. ශාස්ත්‍රපති, පුරිජ්ජල අනෝමදස්සී හිමි, ශාස්ත්‍රපති මා උස්සාවේ අග්ගධම්ම හිමි, ශාස්ත්‍රපති කන්දකැටියේ නන්ද හිමි ආදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ රාශියක් සසුනට දායාද කර ඇත.

මේ උදාර සේවාවන් අගය කරමින් පිරිනමා ඇති අනු නායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදාමෝත්සවය අග්ග මහා පණ්ඩිත විනය විශාරද අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් 2018 මැයි මස 17වන දා ප.ව 3.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් සිදු කිරීමට නියමිත ය. සසුනඹරෙහි දිලෙන සුපුන් සඳක් සේ චිරාත් කාලයක් බැබළෙන්නට අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිගාසිරි ලැබේවා!


මාතලේ අනු නා හිමි

ආගමික සහජීවනය, ජාතීන් අතර ඇති ගැටුම් වළකාලීම සඳහා යොදාගත හැකි පාලන උපක්‍රමයකි. සෑම ආගමකට ම ඇති හර පද්ධතීන් අතර ඔවුනොවුන්ට එකඟ විය හැකි කරුණු බොහෝ ඇත. එමෙන් ම එමඟින් ජන සමාජය තුළ ගොඩනැඟෙන යහපත් ආකල්ප හා චර්යා ධර්මයන් මඟින් අන්‍යොන්‍ය අවබෝධය වැඩි වැඩියෙන් දළු ලා වැඩෙයි . ඒ සඳහා ආගමික නායකයන්ට විශාල වගකීමක් පැවරෙයි.

මෙම කරුණ ප්‍රායෝගිකව ඉටු කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෙස මාතලේ ධම්මකුසල නා හිමියන් කවදත් ආගමිකයන් අතර නමක් දිනාගෙන ඇත. මට්ටක්කුලිය උන්වහන්සේ වැඩ සිටින ගම් ප්‍රදේශය යි. එය අගනුවර පිහිටිය ද තාමත් ගම්බද ස්වරූපයක් උසුලන ප්‍රදේශයකි. මෙහි ජීවත්වන ජනතාව බහු ජාතික, බහු ආගමික සංස්කෘතියකට හිමිකම් කියයි. 1965 වසරේ සිට මෙහි වැඩ වාසය කරන අප කථානායකයන් වහන්සේ අන්තර් ආගමික සහජීවනය සඳහා ඉතා විශාල වැඩ කොටසක් ඉටු කරති. ශ්‍රී වික්‍රම ළදරු පාසල, ශ්‍රී වික්‍රම තරුණ සමිතිය, ශ්‍රී වික්‍රම ශ්‍රමදාන සමිතිය, ණය දෙන සමිතිය ආරම්භ කළ උන්වහන්සේ ජාති ආගම් භේදයෙන් තොරව ප්‍රදේශවාසී සැමට සේවය සලසති. සාක්ෂර මධ්‍යස්ථානය මඟින් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය ලබා සමාජ ගතව උසස් ජීවිත ගත කරන්මෝ බොහෝ වෙති.

මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙහි ගුරුවරයකු ලෙස සේවය ඇරැඹූ උන්වහන්සේ එහි පරිවෙණාධිපති ධූරය ද හොබවමින් විශාල ගිහි පැවිදි පිරිසකට මඟ පෙන් වූහ.

ඉතා දක්ෂ කථිකත්වයත්, ධර්ම ඥානයත් ප්‍රයෝජනයට ගෙන මාධ්‍ය මඟින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, විශේෂ දේශන ආදිය පවත්වමින් කරන ලද සේවය ඉතා අගය කළ යුතු ය. ධර්ම ශාස්ත්‍රීය පොත්පත් ලිපි ලේඛන රාශියක කර්තෘවරයකු වන උන්වහන්සේ විහාරස්ථාන රැසකට නායකත්වය දෙති.

අවශ්‍යතා ඇති අය හඳුනාගෙන ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා නිහඬව සිදු කරන පරිත්‍යාග අපමණ ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු දරමින් නිකායටත්, සම්මා සම්බුද්ධ ශාසනයටත් විශාල සේවාවක් කළ අප නායක ස්වාමීන් වහන්සේට ගෞරවයක් ලෙස අති පූජ්‍ය මහා නායක මාහිමි ප්‍රමුඛ කාරක පාලක සංඝ සභාව විසින් පිරිනමන ලද ‘අනුනායක පදවිය’ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය මේ මස 17වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරේ. අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල අනු නා හිමියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

 

   අධි පොසොන් පුර අටවක පෝය


 ... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 22 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]