UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සියවස් සැමරුමට සූදානම් වෙනවා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සියවස් සැමරුමට සූදානම් වෙනවා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට ලබන වසරේ අග වන විට සිය වසරක් සපිරේ. දීර්ඝ කාලයක් පුරා සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් බොදුනුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් වෙසෙස් ආගමික වැඩසටහන් ද, බොදු මග අනුව යමින් සමාජයීය හා සංස්කෘතික වැඩසටහන් ද නිරන්තරයෙන් ඵලදායි ලෙස ක්‍රියාවට නංවමින් මෙතෙක් පැමිණි ගමන් මඟ තුළ බොදු මහ සමුළුව දෙස් විදෙස් හි කීර්තියට පත්ව ඇත.

බුදු සසුන් හි වැඩ සැලසීම, එහි යෙදීම වූ කලී ලොව කවර ආගමිකයෙකු හෝ වාර්ගිකයෙකුට හෝ වේවා නො බියව, සාමයෙන් සැනසීමෙන් ජිවත් විය හැකි පරිසරයක් ගොඩනැගීම, ලොවට සෙත සැලසීම, සේවය කිරීම බුද්ධ පූජාවක් ම වන්නේ ය. ඒ මග යමින් බොදු මහ සමුළුව සාමූහිකව ඉටු කරන එම සේවය තවදුරටත් අර්ථවත් කරමින් සිය සියවස් සැමරුම වෙනුවෙන් උපදේශක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කොට පුළුල් වැඩසටහන් රැසක් ආරම්භ කරන්නට සූදානමින් සිටී. එහිදී නැවත බෞද්ධ පුනරුදයක් ඇති කිරීම සමුළුවේ වෙසෙස් බලාපොරොත්තුව වේ.

කෙනෙකුගේ ආර්ථිකය ගොඩනැංවීම තුළ අධ්‍යාත්මිකපසට යොමුවීමට ඇති හැකියාව ඉහළ ය. ආර්ථික දුෂ්කරතා ඇති බෞද්ධ ජනතාවගේ, ආර්ථිකය නඟා සිටුවීම සඳහා බෞද්ධ මහා සම්මේලනයෙන් 2004 වසරේ සිට බෞද්ධාලෝක පුනරුද වැඩසටහන ක්‍රියාත්මක විය. ඒ එවකට සමුළුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ මිලිනා සුමතිපාල මහත්මියගේ මැදිහත්වීමෙනි. එහිදී තෝරාගත් ගම්බද විහාරස්ථාන මුල්කරගෙන ගමේ දායක කාරකාදීන්ගේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක විය. එම වැඩසටහන තවදුරටත් සක්‍රීය කරමින් දුෂ්කර පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරු, හා භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කර තෝරාගත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර සියවස් සැමරුමත් සමඟ එවැනි ව්‍යාපෘති සියයක් ඊළඟ වසර තුන ඇතුළත ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.

මෙහිදී ආදර්ශ ගම්මානයක් එනම්, බෞද්ධ ප්‍රතිපත්ති මත පිහිටන ගමක් ලෙස තෝරාගෙන දියුණු කරන්නට බලාපොරොත්තු වේ. දුෂ්කර පළාතකින් එම ගම්මාන තෝරා ගැනෙන අතර, මේ වර්ෂයේ සිට එම වැඩපිළිවෙල ආරම්භ කෙරේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඇරඹුණේ බෞද්ධ සංවිධාන ඒකරාශී වී ඒ තුළින් ශක්තිමත් වී බෞද්ධ ජනතාවට හා සමස්ත ජනතාවට සේවය කිරීමට ය. ඒ සංකල්පය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලංකාව පුරා සිටින බෞද්ධ සංවිධාන බොදු මහා සමුළුව සමඟ ඒකරාශී කරගැනීමට ද මේ අවස්ථාවේ බලාපොරොත්තු වන අතර බොදු පුනරුදයක් ඇති කරවීමට, බෞද්ධ ජනතාවට ශක්තියක් වීමට ඒකරාශී වන ලෙස රට පුරා විසිරී තිබෙන බෞද්ධ සංවිධානවලට ආරාධනා කෙරේ.

බෞද්ධ ලේඛකයන් දිරිමත් කිරීම සඳහාත්, ඇගයීම සඳහාත් බෞද්ධ සාහිත්‍යය උත්සවය එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී ද ක්‍රියාත්මක වේ. බෞද්ධාලෝක වෙසක් කලාපය 17 වන වරටත් මෙවරද ජාතික රූපවාහිනිය හා සම්බන්ධ වෙමින් ජනාධිපති කාර්යාලයේ සහාය ද ඇතිව උත්කර්ෂවත් ලෙස බුද්ධාලම්භන පී‍්‍රතිය ඇතිවන ලෙස සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

බෞද්ධ මහා සම්මේලනය මණ්ඩල 10 ක් ක්‍රියාත්මක ය. එම කාර්යාවලියේ දී සාමාජික සමිති ඒකරාශී කොට දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත වැඩ පිළිවලක් කරන්නට ද කටයුතු කෙරේ.

‘පුත්තා වත්ථු මනුස්සානං’ මනුෂ්‍යයාගේ ඉහළම වස්තුව දරුවන් බව බුදුදහමේ ඉගැන්වේ. විවිධ හේතූන් නිසා මව්පිය රැකවරණය අහිමි දරුවන්ද, ආරක්ෂා කර ගැනීම වඩාත් හොඳින් ජීවත් කරවීම සෑම පුරවැසියකුගේ ම යුතුකමකි. බෞද්ධ මහා සම්මේලනය ඒ මඟ යමින් දූ දරුවන් හත්සියයකට ආසන්න ප්‍රමාණයකට ළමා සංවර්ධන මධ්‍යස්ථාන 17 ක රැකවරණය ලබා දේ. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු මේ දරුවන් සමාජගත කළ යුතු අතර, ඒ සඳහා අදාළ වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා වෘත්තීය පුහුණු අධිකාරියත් සමඟ එක්ව ගැහැනු දරුවන් සඳහා නේවාසික පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇත. වසර 4 ක් පුරා එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක ය. ජාති ආගම් භේදයකින් තොරව සියලු ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් හි දරු දැරියන්ට මෙම වෘත්තීය පුහුණව ලබා දීම ද සුවිශේෂී ය. පිරිමි දරුවන් සඳහා ද ඉදිරියේ දී මෙවැනි වෘත්තීය පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

එමෙන් ම බෞද්ධ මහා සම්මේලනයෙහි තොරතුරු මධ්‍යස්ථානය නැවත ආරම්භ කොට ඇත. බෞද්ධ ජනතාවට යම් ගැටලුවක් ප්‍රශ්නයක් වේ නම් ඒ පිළිබඳ එම තොරතුරු මධ්‍යස්ථානයට දැනුම් දිය හැකි ය. එම ගැටලු විසඳාදීමටද බෞද්ධ මහා සම්මේලනය කැපවීමෙන් කටයුතු කරනු ඇත.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]