UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 

බක් පුර පසළොස්වක 2018.03.31

සමගිය අගයමු

බුදුපියාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූයේ අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනක ය. මිණි පළඟක් අරභයා මාමා සහ බෑණා අතර ඇති වෙන්නට ගිය යුද්ධය නිසා සිදුවන මහා ව්‍යසනය වළක්වනු පිණිස ලක් දනන් වෙත පතළ මහා කරුණාවෙන් මෙහි වැඩම කොට සාමයෙන්, සමගියෙන්, සහයෝගයෙන් ජීවත්වීමේ අගය ලක් වැසියනට අවධාරණය කළ මේ උතුම් පොහොය දිනයේ වටිනාකම අර්ථගන්වන්නට සමස්ත බොදු ජනතාව ම ඇප කැප විය යුතුව තිබේ.

එදා, තථාගතයන් වහන්සේ අවධාරණය කළේ පිරිසක් ලෙස, ජන කණ්ඩායමක් ලෙස ජීවත්වීමට, සාර්ථක පැවැත්මක් ඇති වීමට නම්, ආර්ථික, සමාජයීය, සංස්කෘතික, ආගමික ආදී සියලු අංගයන්හි දියුණුවක්, පැවැත්මක් අපේක්ෂා කරන්නට නම් බෙදී වෙන් නොවී සමගියෙන් ජීවත්විය යුතු බව ය. එහෙත් ඇතැම් අවස්ථාවන්හි ඒ යථාර්ථය ඉක්මවමින් ඔවුනොවුන් විරසකව ප්‍රශ්න ඇති කරගන්නා අවස්ථා, වටිනා ජීවිත, දේපළ පවා විනාශයට පත් කරගන්නා අවස්ථා දුලබ නොවේ. දැහැමි සමාජයක එවැනි දේ අපේක්ෂා නොකළ යුතුය. සාමයත්, දියුණුවත්, පැවැත්මත් රැකෙන්නේ කෙනෙක් තමන් ගැන සේ ම තමන් සමඟ ජීවත්වන අනෙක් අය ගැන ද සිතනා තරමට ය. තමන් උපමා කොට අනුන් ගැන ද සිතනා තරමට ය. එහෙත් සමහර පිරිස් වඩාත් යොමු වී සිටින්නේ තමන්ගේ පැවැත්ම, තමන්ගේ අයගේ පැවැත්ම ගැන පමණක් සිතන්නටය. අනෙක් ජන කොටස් සමඟ අසමගිකම්, හිත් අමනාපකම්, ගැටුම් ඇති වන්නේ එවිට ය. එහි අහිතකර ඵල භුක්ති විඳින්නට වන්නේ ද සියල්ලන්ටම බව අමතක නො කළ යුතුය. වටු වැද්දෙකුගේ දැලට හසු වූ වටු කුරුල්ලන්ට සිදු වූ විපත මෙනි. වටු කුරුල්ලන් අල්ලන්නට වටු වැද්දා කුඹුරේ දැලක් ඇතිරූ මොහොතේ එකදු වටු කුරුල්ලෙක් හෝ එහි හසු නොවුණේ සියලු දෙනා සමගියෙන්, ඔවුනොවුන් ගැන සිතමින් එකාවන් ව දැල ඔසවාගෙන පියඹා ගිය නිසා ය. එහෙත් දෙවැනිවර කුරුල්ලන්ගේ සමඟිය බිදුණි. ඒ අසමගිය නිසා වැද්දාගේ බලාපොරොත්තුව ඉටු වුණි. දැලට හසු වු සියලු කුරුල්ලෝ විනාශ වුණි.

බෙදී වෙන්වුණු තැන ඇත්තේ විනාශය ම පමණි. උසස් මනසක් ඇති මිනිසුන් ලෙස ඒ ධර්මතාවය තේරුම් ගන්නට අපට හැකි විය යුතුම ය.

ගෙවුණු ජීවිතය පිළිබඳ ආවර්ජනයක යෙදෙමු. ඇතැම්විට තමන්ගේම මවුපිය සහෝදර සහෝදරියන් සමඟ ඇතිවූ ප්‍රශ්නයකදී පාලනය කරගත නො හැකි කෝපය, තරහව, නිසා මොන තරම් අසීරුතාවන්ට ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වී ඇති ද? පරාජයන් ම මිස ලැබූ ජයග්‍රහණ තිබේ ද? අනෙක් අතට පවුලක මවුපිය දූ දරුවන්ට, නැන්දම්මා ලේලිවරුන්ට, මාමා බෑණාවරුන්ට සමගිව වෙසෙන්නට නොහැකි නම්, ජීවිතයේ දුක , සතුට බෙදාගත නොහැකි නම් මිනිස් සාමාජිකයන් රාශියකින් සැදුම්ලද රටක සමාජයක එකමුතුකම, දියුණුව, සාමය කෙසේ නම් අපේක්ෂා කරන්න ද? ඒ ගැන සිතන්නට දැන් කාලය පැමිණ තිබේ.

සමගියෙන් මිස බෙදී වෙන්වීමෙන් ලද ජයග්‍රහණ කිසිවක් මේ ලෝකයෙහි නැත. ඒ නිසා බෙදී වෙන් නොවන්නට, අනුන් ගැන හිතන්නට හැකි සංවේදී හදවතක් ඇති කර ගැනීමේ මූලාරම්භය පවුල තුළින් ආරම්භ කළ යුතුව තිබේ. මේ උතුම් පොහොය දිනයේ තම තමන්ගේ සිතෙහි ඒ පරිවර්ථන ඇති කරගනිමු.

වෛරය, තරහව, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදි නරක සිතිවිලි උපදින මොහොතක් පාසා ඒවා පාලනය කරගන්නට හුරු පුරුදු වෙමු. මෛත්‍රිය පුරුදු පුහුණු නොකළ පෘථග්ජන මනසෙහි එවැනි සිතිවිලි ඇතිවීම ස්වභාවිකය. එහෙත් වෛරය දිනිය හැක්කේ වෛරයෙන් නොවේ. අවෛරයෙනි. අයහපත දිනිය හැකි අයහපතින් නොවේ. යහපතිනි. බුදු දහමේ උගන්වන්නේ ජීවිතය අඳුරෙන් අඳුරට නොව අඳුරෙන් ආලෝකයට ගෙන යන්නටය. ඒ සඳහා යහපත් සිතිවිලි ඇති කරගත යුතුවේ. විශේෂයෙන් වෛරය,ක්‍රෝධය, පලිගැනීම ආදි සිතිවිලි පාලනය කරගත යුතු වේ.

මජ්ක්‍ධිම නිකාය අටුවාවෙහි උද්ධුමායති මැඬියෙකු ගැන සඳහන් ය.හේ කුඩා ය. පස් ටිකකින් හෝ තට්ටු කළේ නම් ඌ ඉතා වෑයමින් මහත් ව බෙලිගෙඩියක් සේ උඩුකුරු වන්නේය. ඇවිද ගත නොහී කවුඩු උකුසු ආදින්ට ගොදුරු වන්නේය. සිත උපදින ක්‍රෝධයද මේ පරිදි ය. පළමු ව සිත කළඹයි. මුහුණ හකුළුවයි. පරුෂ වචන කියයි. බොහෝ වෑයම් අවසන අනුන් නසන්නට ගොස් තමන් ම නැසෙයි. කවුඩන්ට ගොදුරු වන උද්ධුමායති මැඩියා මෙනි.

 

  බක් පුර පසළොස්වක පෝය


 බක් පුර පසළොස්වක පෝය මාර්තු 30 වනදා සිකුරාදා අපරභාග 07.39 ට ලබයි. 31 වනදා සෙනසුරාදා අපර භාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 31 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය අපේ‍්‍රල් 08 වන ඉරිදා ය.
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]